IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


ජනක පැන්නීමේ සතිය

ඉකුත් සතියේ දේශපාලන කරළිය ගිනියම් කළ මාතෘකා තුනකි. එකක් මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක ගැන පාර්ලිමේන්තුවට යෝජනාවක් ගෙනැවිත් ඉන් නෙරපා හැරීම ය. දෙවැන්න උත්තරීතර යැයි කියන පාර්ලිමේන්තුවේ මහජන නියෝජිතයකු වන පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්‍රි රහීම් රුපියල් කෝටි හතහමාරක රත්රං සහ ජංගම දුරකතන අනූ එකක් ගුවන් තොටුපොළ ප්‍රභූ පර්යන්තයෙන් හොරෙන් රැගෙන එද්දී  රේගු නිලධාරීන්ගේ අතට හසුවීම ය. තුන්වැන්න හොර පාස්පෝට් එකකින් ආ චීන ජාතිකයෙකු අරුන්දික ප්‍රනාන්දු රාජ්‍ය ඇමතිවරයා දුන් ලිපියක් මත රට තුළට වද්දාගැනීමත්, ඇමති ටිරාන් අලස්ගේ නියෝග මත ඔහු රටින්  පිටුවහල් කිරීමත්ය. පාර්ලිමේන්තුවේත්  ඉන් පිටතත් ගෙවී ගිය සතියේ බයිට් එක බවට පත් වූයේ මේ මාතෘකා තුනය.

ජනකට එරෙහි මෙහෙයුම

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජපාන නිල සංචාරය සඳහා පිටත්ව යාමට පෙර සඳුදා හැන්දෑවේ ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් රැස්විය. මෙවර ආණ්ඩු පක්ෂ රැස්වීමේ  විශේෂත්වයක් තිබුණේ පසු දින පාර්ලිමේන්තුවේ  විවාදයට ගෙන ඡන්දයට යොමු කරන මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක ඉවත් කිරීමේ යෝජනාව හේතුවෙනි. 


මේ  කතාබහ අතරේ ජනාධිපතිවරයා පැමිණි බැවින් ආණ්ඩු පක්ෂ රැස්වීම ආරම්භ විය. මහජන උපයෝගීතා  කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක ඉවත් කිරීම පිළිබඳව පැහැදිලි  කළේ කංචන විජේසේකර ඇමතිවරයාය.”‍ විදුලි ගාස්තු අඩු කිරීමේ යෝජනාව ඉදිරිපත් කර දැන් මාසයක්. කොමිෂන් සභාව  තාමත් රැස්වෙලා නෑ. මේ කොමිසමේ සභාපතිවරයා ගැන  අපට දිගින් දිගටම ප්‍රශ්න තියෙනවා. කොමිසම ආයෙ රැස්වෙන්නෙ  ජූලි පළවෙනිදා. මේ සභාපතිවරයා තියා ගත්තොත් අපිට ඉස්සරහට ලොකු ප්‍රශ්නයක් වෙනවා.


උපයෝගිතා කොමිසම පහුගිය කාලේ එකට රැස් වෙලා නෙවෙයි තීන්දු ගත්තේ. සභාපතිවරයාගේ ඕනෑකමට සංශෝධනය ප්‍රමාද කිරීමෙන් බිලියන 30 ගාණක් පාඩු වුණා යැයි කංචන විජේසේකර කීවේය. ලබන මාසයේ දී සිදුවන ගාස්තු සංශෝධනය ගැන ද කංචන  පැහැදිලි කළ අතර ජනාධිපතිවරයා සියලු‍ මැති ඇමතිවරුන්ට කිව්වේ පසුදින උදෙන්ම පාර්ලිමේන්තුවට එන ලෙසය. අපි  ඔක්කොම පාර්ලිමේන්තුවේ ඉන්නව දැක්කම ජනකට උදව් කරනවා ද නැත්නම් පාරිභෝගිකයාට උදව් කරනව ද කියලා විපක්ෂ නායකතුමාට තීරණයක් ගන්නත් වේවි යැයි ජනාධිපතිවරයා හිනාවෙමින් කීවේය. පාර්ලිමේන්තු  විවාදය සම්බන්ධ කතා බහ අවසන් වීමෙන් පසුව වෙනත් කරුණු කාරණා ගැන ද කතාබහට ලක්විය.


කුරුණෑගල මන්ත්‍රී සුමිත් උඩුකුඹුර කීවෙ අරගලයේ දී ගිනි තැබූ මන්ත්‍රීවරුන්ගේ ගෙවල්  හදාගැනීමට තවමත් නොහැකි වී ඇති බව ය. ‘‘මන්ත්‍රී වරුන් 78කගේ ගෙවල් ගිනි තිබ්බා.  පළාත් සභා, ප්‍රාදේශීය  සභා සභාපතිවරුන්ගේ මන්ත්‍රීවරුන්ගේ ඒවත් ගත්තහම ගෙවල් පන්සීයක් විතර ගිනි තියලා. අපි දැන් අසරණ වෙලා. අපට ගමට යන්න විදියකුත් නෑ යැයි  මන්ත්‍රීවරයා කීවේය. ඔහුගේ ප්‍රශ්නයට උත්තර දුන්නේ අගමැති දිනේෂ් ගුණවර්ධන ය. මේ සම්බන්ධයෙන්  අපි කැබිනට් මණ්ඩලය තුළත්  සාකච්ඡා කළා.  දැනටමත් ඒකට  වැඩපිළිවෙළ සකස් කර තියෙනවා යැයි  දිනේෂ් කීවේය.

ප්‍රසන්නගේ කාර්යාලයේ වජිරලාගේ මෙහෙයුම

ජනක රත්නායක මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති ධුරයෙන්  නෙරපීමට ගෙනා යෝජනාව බදාදා දිනයේ පාර්ලිමේන්තුවේ විවාදයට ගත් නිසා එදින  පාර්ලිමේන්තුවේ කටයුතු ද දැඩි උණුසුම් ස්වභාවයක් ගෙන තිබිණි. ජනාධිපතිවරයා ජපානයේ සංචාරයක ගොස් ඇති බැවින්  විවාදය හා ඡන්ද විමසීම සම්බන්ධව වැඩි  කොටසක් පැවරුණේ අගමැති දිනේෂ්, ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක ප්‍රසන්න රණතුංග ඇතුළු කිහිප දෙනෙකුගේ කර මතය. ජනාධිපතිවරයා රටින්  යාමට පෙර ප්‍රසන්නට දැනුම්දී තිබුණේ මන්ත්‍රීවරුන්  සියලු‍ දෙනාම පාර්ලිමේන්තුවට  ගෙන්වාගෙන එදින දවස පුරා පාර්ලිමේන්තුවේ රඳවා ගන්නා ලෙසය. ප්‍රසන්න මැතිඇමතිවරුන්ට පෞද්ගලිකවම දුරකතනයෙන් කතා කරමින් පාර්ලිමේන්තුවට ගෙන්වා ගැනීමට දැඩි වෙහෙසක් ගත්තේය. එදින උදේ පාන්දරින් පාර්ලිමේන්තුවට  පැමිණි කංචන විජේසේකර, නිමල් ලන්සා, වජිර අබේවර්ධන ඇතුළු පිරිසක් කැඳවාගෙන මෙහෙයුම් ආරම්භ කළේය. මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවට පිවිසීම හා පිටවීම සම්බන්ධයෙන් වාර්තාවක් ගැනීම බාර දුන්නේ නිමල් ලන්සාට ය. කංචන වරින්වර අගමැතිවරයාටත් මැති ඇමතිවරුන්ටත් කතා කරමින් අවශ්‍ය කටයුතු සොයා බැලීය. ජනාධිපතිවරයාටද පැයකට වරක් කතා කරමින් ඔහු සියලු‍ විස්තර ලබා දුන්නේ ය.
ඡන්දය පැවැත්වෙන නිසා සියලු‍ මන්ත්‍රීවරුන්ට සභාවේ රැඳී  සිටින්නැයි කල් තියාම දැනුම් දී තිබිණි. විදේශගතව සිටි  සුරේන් රාඝවන් රාජ්‍ය ඇමතිවරයාට ගුවන් යානය මිස් වීම නිසා, එදින පැමිණීම ප්‍රමාද විය. එබැවින්  ඔහු  කල්තියාම ප්‍රසන්නටත් අගමැතිවරයාටත්  කතා කර  තමාට නියමිත වේලාවට පැමිණීමට නොහැකි බව දන්වා සිටියේය.
කටුනායක ගුවන් තොටුපළේ ප්‍රභූ පර්යන්තයයේ දී හොරෙන් ගෙනා රත්තරන් කිලෝ තුනහමාරක් සහ දුරකතන අනූ එකක් සමඟ කලින් දිනයේ රේගු නිලධාරීන්ට හසුවූ පුත්තලම දිස්ත්‍රික් මන්ත්‍රී පහුවදා උදේම රුපියල් ලක්ෂ75 ක දඩයකුත් ගෙවා නිදහස්ව ගියේය. බොහෝ දෙනා සිතුවේ ඔහු එදින පාර්ලිමේන්තුවට  නොපැමිණෙනු ඇතැයි කියාය. ලජ්ජා නැතිකම මහමුදලිකමටත් වඩා ලොකු යැයි ගමේ තියෙන ප්‍රකට කියමනකි. සමහරුන් කියන්නේ ලජ්ජා නැතිකම මන්ත්‍රීකමටත් වඩා ලොකු බවය. අලි සබ්‍රි මන්ත්‍රීවරයා එදින පස්වරුවේ පාර්ලිමේන්තුවට පැමිණියේ ජනකට එරෙහි විවාදයේ ඡන්ද විමසීමට සහභාගි වීමටය. ඔහු විපක්ෂයේ මන්ත්‍රීවරයකු වුවද  පහුගිය කාලේ ආණ්ඩුවේ අණපනත්වලට සහයෝගය දුන්නේය. ඒ අනුව ඔහු ජනකට එරෙහිව ආණ්ඩුව සමග එක්ව ඡන්දය දෙනු ඇතැයි බොහෝ දෙනා සිතා  සිටියහ. ඔහු සභාවට එද්දී විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් කෑගසන්නට වූයේ රත්තරන් සබ්‍රී එනවෝ රත්තරන්  සබ්රි එනවෝ යැයි කියමිනි. එවිට විපක්ෂයේ  මන්ත්‍රීවරයකු  කීවේ එයාට මුකුත්  කියන්න එපා අපටයි ඡන්දෙ දෙන්නේ යනුවෙනි. ඒ සමගම ඔහුට එරෙහි විපක්ෂයේ විරෝධය ද එතනින් නතර විය. ආණ්ඩුවේ  අණපනත්වලට කලින් සහයෝගය දුන් ඔහු මෙවර ජනකට එරෙහි යෝජනාවේදී, ආණ්ඩුවට එරෙහිව ඡන්දය දුන්නේ ය. ඔහු එළියට ඇවිත් කියා තිබුණේ, මෙම සිද්ධියේදී ආණ්ඩුව තමා බලා නොගත් බවය. එබැවින් ආණ්ඩුවට විරුද්ධව ඡන්දය දුන් බව ඔහු කීවේය. කෙසේ හෝ ජනක රත්නායක එළවීමේ ආණ්ඩුවේ උත්සාහය සාර්ථක විය. යෝජනාවට පක්ෂව වැඩි ඡන්ද හතළිස් හයක් ලැබුණු අතර, ආණ්ඩුවට හිසරදයක් වී තිබූ ජනක රත්නායක එළවීමේ  ක්‍රියාදාමය සාර්ථක කර ගන්නට ආණ්ඩුවට හැකි විය.


මේ අතර එදින ඡන්ද විමසීමේ දී පොහොට්ටුවේ ජ්‍යෙෂ්ඨයින් කිහිප දෙනෙකු  ඡන්දය නොදී කර ඇරීමේ  සූදානමක් තිබුණු බවටද වාර්තා විය. අවසානයේ බැසිල් රාජපක්ෂ, නාමල් රාජපක්ෂ යන දෙදෙනාද  මැදිහත්වී එම අර්බුදය විසඳා ඇති බව දැනගන්නට ඇත.


පොහොට්ටුවේ ප්‍රතිසංවිධාන කටයුතු සම්බන්ධයෙන් මේ දිනවල සාකච්ඡා මාලාවක්  බත්තරමුල්ල නෙළුම් මාවත පක්ෂ මූලස්ථානයේ දී පැවැත්වෙන බව දැනගන්නට ඇත. එම සාකච්ඡා සඳහා ඒ ඒ දිස්ත්‍රික්කවල මැතිඇමතිවරුන්, පළාත් සභා සහ පළාත් පාලන ආයතනවල හිටපු නියෝජිතයින් ද දිනවල කැඳවා තිබිණි. එහෙත් එම සාකච්ඡාවලට ඇතැමුන් සහභාගී නොවන බව එම පක්ෂ ආරංචි මාර්ග සඳහන් කරයි. විශේෂයෙන්ම ආණ්ඩුව සමග එක්ව ඇමති හා රාජ්‍ය අමාත්‍ය ධුර හොබවන බොහෝ පිරිසක් එම සාකච්ඡා මගහැරි බවද දැනගන්නට ඇත.

උදය, සරත්, ජනක  අලු‍ත් හවුල

විදුලි බිල අඩු කළ නොහැකි ද යන තේමාවෙන්  විශේෂ සම්මන්ත්‍රණයක් ඉකුත් සිකුරාදා පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩල ශ්‍රවණාගාරයේ දී පැවැත්වූයේ මහජන පවුර නමැති සංවිධානයේ මෙහෙයවීමෙනි. සංවිධාන කටයුතු සඳහා මූලිකත්වය ගෙන තිබුණේ හිටපු විදුලිබල හා බලශක්ති ඇමතිවරයෙකු වන උදය ගම්මන්පිල මහතාය. විශේෂත්වය වූයේ උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති ධුරයෙන් ඉවත් කරනු ලැබූ ජනක  රත්නායක, හිටපු අගවිනිසුරු සරත් එන් සිල්වා යන දෙදෙනා ද ඊට සහභාගි වීම ය.

විමල්ගේ පොත අරන් උත්තර සභාගය රට වටේ යයි

මැයි නව වැනිදා අරගලය සම්බන්ධයෙන් වීරවංශ මන්ත්‍රීවරයා ලියා පළ කළ පොත සම්බන්ධයෙන් පසුගිය කාලයේ දැඩි ආන්දෝලනයක් ඇති විය. ඔහුගේ  තර්කය වී ඇත්තේ අරගල කුමන්ත්‍රණයක් බව ය. විමල්ගේ මේ පොතට ගල් මෙන්ම මල් ද එල්ල වෙමින් තිබේ. උත්තර සභාගයේ විධායක සභාව ඉකුත් සඳුදා කොමියුනිස්ට් පක්ෂ මූලස්ථානයේදී රැස්විය. විමල් වීරවංශ, උදය ගම්මන්පිල, වාසුදේව නානායක්කාර, ඩිව් ගුණසේකර, වීරසුමන වීරසිංහ, ගෙවිඳු කුමාරතුංග ඇතුළු පිරිසක් ඊට  සහභාගී වූ අතර, හදිසි  කටයුත්තක් හේතුවෙන් කොමියුනිස්ට් පක්ෂය ප්‍රධාන ලේකම්  වෛද්‍ය ජී. වීරසිංහ ඊට සහභාගී නොවීය. අතුරලියේ රතන හිමියන් ද  පැමිණ සිටියේ නැත. ඉදිරියේ දී  පැවැත්වෙන ජනාධිපතිවරණය සම්බන්ධයෙන් ද සාකච්ඡා වූ අතර, එය මේ වසරේ නොතියන්නට ද ඉඩ ඇතැයි  එහිදී සාකච්ඡා විය. මේ අතර කතාබහට ලක්වුණේ විමල් වීරවංශගේ පොත සහ විදුලි බිල සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීම සඳහා රට පුරා දිස්ත්‍රික්  මට්ටමෙන් රැස්වීම් මාලාවක් පැවැත්විය යුතු බවය. ලබන මාසයේදී පමණ එය  පවත්වන්නට එහිදී තීරණය විය.

බුලත් කොළයේ අවුල

 එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම්වරයා සම්බන්ධයෙන් පසුගිය කාලයේ දැඩි අර්බුදයක් මතු වී තිබිණි. එම අර්බුදය මැතිවරණ කොමිෂන් සභාවට ද ගිහින් ය. සන්ධානයේ  හිටපු මහ ලේකම් මහින්ද අමරවීර ඉවත් කර ඒ වෙනුවට පක්ෂය විසින් පත් කරනු ලැබුවේ තිලංග සුමතිපාල හිටපු මන්ත්‍රීවරයාය. ඔහුගේ පත්කිරීමට එරෙහිව අමරවීර අධිකරණයට ගොස් සිටී. මේ අතරවාරයේ මැතිවරණ කොමිෂන් සභාව එම පක්ෂයට ලිපියකින් දැනුම්දී තිබුණේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම්වරයා ලෙස  මේ දෙදෙනාම නොපිළිගන්නා බවය. උසාවි තීන්දුවෙන් පසුව ඒ සම්බන්ධයෙන් කටයුතු කළ හැකි බවද මැතිවරණ කොමිෂන් සභාව දන්වා තිබිණි.

රත්තරං සමග  මන්ත්‍රී ඇල්ලීම

ජපානයට ගිය ජනපති රනිල් එහි කටයුතු අතරතුර මෙරට හා සම්බන්ධ වෙමින් ආණ්ඩු පක්ෂ සංවිධායක ප්‍රසන්න රණතුංග, පාර්ලිමේන්තු කටයුතු උපදේශක මහාචාර්ය ආශූ මාරසිංහ සම්බන්ධ කර ගත්තේ මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ඉවත් කිරීමේ යෝජනාවට ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන්ගේ සහභාගීත්වය සොයා බැලීමටය.
මේ අතර ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා වෙත දුරකතන ඇමතුමක් ලැබුණේ රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙනි. “සර් ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කෙනෙක් රත්‍රං හා ජංගම දුරකතන තොගයක් එක්ක කටුනායක රේගු නිලධාරීන් අල්ලගෙන තියෙනවා” රේගු අධ්‍යක්ෂ ජනරාල් කීවේය.


“පරීක්ෂණවලින් ස්ථිරවම තහවුරු වුණා ද මන්ත්‍රීවරයා මේකට සම්බන්ධයි කියලා” ජනපති ලේකම් පෙරළා විමසුවේය.
“ඔව් සර් එතුමා ගාව රිසිට්පත් තුනකුත් තියෙනවා” පිළිතුර රේගු අධ්‍යක්ෂ ජනරාල්ගෙනි.


ජනපති ලේකම් සමන් ඒකානයක වහාම ජපානයේ සිටින ජනපති රනිල්ව දුරකතනයෙන් සම්බන්ධ කරගෙන මෙම කාරණය දන්වා සිටියේය.


“නීතියට පිටින් අපට වැඩ කරන්න බෑ. මන්ත්‍රීට විරුද්ධව නීතිය අනුව කටයුතු කරන්න. අගමැතිතුමාවත් මේ ගැන දැනුම්වත් කරන්න.” ලේකම් සමන්ට ජනපති දුන්නේ එවැනි උපදේශයකි.


ජනපතිගේ උපදේශය අනුව කටයුතු කළ ජනපති ලේකම් සමන්, වහාම රේගු අධ්‍යක්ෂ ජනරාල් අමතා අත්අඩංගුවට ගෙන ඇත්තේ මන්ත්‍රීවරයෙකු බැවින් ඊට අදාළ රහස්‍ය වාර්තාවක් කතානායක වෙත යොමු කරන ලෙස ද උපදෙස් දුන්නේය.


ඉන් අනතුරුව රත්‍රං කිලෝ 3 ක් හා ජංගම දුරකතන තොගයක් සමඟ මන්ත්‍රීවරයෙකු අත්අඩංගුවට පත් පුවත රට පුරා පැතිර ගියේය. එදින දහවල් ජනපති ලේකම් මුණ ගැසීමට පැමිණි රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් දිනිත් චින්තක කරුණාරත්න කියා සිටියේ අන්න මන්ත්‍රීව ලක්ෂ 75 ක දඩයක් ගසා මුදා හරලා කියාය.


“මේක රේගු ආඥා පනත යටතේ වරදක්නේ. රේගුව දඩයක් හෝ රජයට අහිමිවූ බද්ද ගෙවන්න නියම කරනවා හැර වෙන දෙයක් කරන්න බෑ. එසේ ගෙව්වේ නැතිනම් නඩු දානවා. මේක තමයි නීතිය. මේ වැරදි කරන ඕනෑම පුරවැසියෙකුට කරන්නේ මේ ටික තමයි.” එහි සිටි ජ්‍යෙෂ්ඨ නීතිඥ දිනේෂ් විදානපතිරණ කීවේය.

ලෙඩ වූ මන්ත්‍රීලාත් ඡන්දයට එයි 

ජනාධිපති කාර්යාලයත් පාර්ලිමේන්තුවත් සම්බන්ධ වූවේ මන්ත්‍රී වජිරගේ පැමිණීමත් සමඟය. මන්ත්‍රීවරු කිහිපදෙනෙකුට පාර්ලිමේන්තුවට පැමිණීමට නොහැකිව සිටින ආරංචිය පැමිණියේ ඒත් සමඟය. රාජ්‍ය ඇමති ලොහාන් රත්වත්තේ, මන්ත්‍රී ගයාෂාන් නවනන්දන හා රෝගී තත්ත්වයකින් පෙළෙන අනුරාධපුර මන්ත්‍රී එච්. නන්දසේන ද සිටින බව දැනගත් ජනාධිපති ලේකම් සමන් ඒකනායක ඔවුන්ව පාර්ලිමේන්තුවට පැමිණීමට අවශ්‍ය පහසුකම් සලසනු ලැබීය.

සාගල කොළඹට

ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක ගෙවුණු සතියේ ඉරිදා ගාල්ල බලා පිටත්ව ගියේ එක්සත් ජාතික පක්ෂ සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් පුහුණු කිරීමේ වැඩමුළුවේ සහතිකපත් ප්‍රදානය කිරීමේ අවස්ථාවට එක්වීමටය. ඊට එක්ව සිටි කොළඹ දිස්ත්‍රික් ක්‍රියාකාරීන් පක්ෂ ජාතික සංවිධායක සාගලට කොළඹට පැමිණෙන ලෙස ආරාධනා කරද්දී මාතර ක්‍රියාකාරීන් ඊට විරෝධය පළ කිරීමත් සමඟ එය බේරුම් කිරීමට සාගලට දැඩි වෙහෙසක් ගැනීමට සිදුවිණි.


හිටපු නියෝජ්‍ය නගරාධිපති ටයිටස් පෙරේරා ගේ කිරුළපන කාර්යාල භූමියේ ඊට පසුදින පැවැති නැගෙනහිර හා බටහිර කොළඹ ආසන බලමණ්ඩල රැස්වීමේදී බටහිර කොළඹ එක්සත් ජාතික පක්ෂ සංවිධායක ලෙස සාගල පත් කිරීමේ යෝජනාව සම්මත කර ගනු ලැබීය.

රංගේ ගතු කියන්න  බලා සිටියි 

එක්සත් ජාතික පක්ෂ ආසන බල මණ්ඩල පිහිටුවීමේ කටයුතු මේ වන විට මහ ලේකම් රංගේ බණ්ඩාර ගේ සැලසුමට අනුව ක්‍රියාත්මක වන අතර ජනපති දුන් ඉලක්කය ද පසු කරමින් මේ වන විට බල මණ්ඩල පිහිටුවමින් සිටී. එහෙත් මෙම බල මණ්ඩලවලට සහභාගී වන බවට ජනපති ඉදිරියේ පොරොන්දු දුන් අය ඊට සහභාගීවීම මග හැරීම නිසා මහලේකම්වරයා දැඩි අපහසුතාවට පත් සිටින බවට කසු කුසුවක් මතුව තිබේ.


එක්සත් ජාතික පක්ෂ කළමනාකරණ මණ්ඩලය නවීන්, රවි ඇතුළු පක්ෂ ක්‍රියාකාරීන් 14 දෙනෙකුගෙන් සමන්විතය. ජනපති ප්‍රධානත්වයෙන් රැස්වූ කළමනාකරණ කමිටුවේදී බලමණ්ඩලවලට සහභාගී වන බවට පොරොන්දු වූ හිටපු ඇමතිවරුන් ඇතුළු පරිනත දේශපාලනඥයන් ඒවාට සහභාගී නොවී කර අරිමින් සිටින බව නම් ගම් සහිතව දැනුම්දීමට මහලේකම් බලා සිටිනේනේ ජනපති ලංකාවට පැමිණෙන තුරුය.


මහලේකම් රංගේට ගිය සතියේ කාන්තාවක කතාකොට කීවේ රට රැකියා දෙන බව කියා පිරිසක් මුදල් උපයන බවකි.
මහලේකම්ට දෙන්න යැයි කියමින් මෙම මුදල් ඉල්ලන බැවින් එය සත්‍යයක් දැයි මෙම කාන්තාව විමසා සිටියේය. එය ප්‍රතික්ෂේප කළ මහලේකම්වරයා වහාම අදාළ පුද්ගලයන්ට එරෙහිව පොලිසියේ පැමිණිලි කරන ලෙස දන්වා සිටියේය.


එක්සත් ජාතික පක්ෂය විසින් කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානයක්කාර මගින් විදේශ රැකියා නියුක්ති කාර්යාංශය වෙත පුහුණුව ලත් අය යොමු කරන ලද්දේ ස්වේච්ඡා සේවයක් වශයෙනි. එම කාරණය දැනගත් පිරිසක් විසින් මෙම කටයුත්ත මුදලට කිරීමට උත්සාහ කිරීම නිසා මේ ගැන මාධ්‍ය හරහා ජනතාව දැනුම්වත් කිරීමට ද මහලේකම් රංගේ තීරණය කරන ලදි.

සජිත් මිහින්තලා  ප්‍රශ්නය අසයි 


පොසොන් උත්සවය නිමිති කොට මිහින්තලේ පැවැත්වීමට නියමිත ආගමික වැඩ කටයුතුවලට අවශ්‍ය අරමුදල් සම්පාදනය කිරීමට බලධාරීන් අපොහොසත් වීම පිළිබඳව තොරතුරු වාර්තාවීමත් සමඟ විපක්ෂ නායක සජිත් ද ඒ පිළිබඳව සොයා බැලුවේ ය. මිහින්තලා රාජමහා විහාරයේ විහාරාධිපති වළවහැංගුණවැවේ ධම්මරතන නාහිමිපාණන් වහන්සේව ඇමතු සජිත් උන්වහන්සේ සමඟ මේ පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කළේය.


“2019 එවකට ඔබතුමා සංස්කෘතික ඇමති විදිහට කටයුතු කරද්දී මිහින්තලා පූජා භූමිය ජාතික උරුමයක් විදිහට ප්‍රකාශයට පත් කළා. ඒ වගේම පොසොන් පිංකම රාජ්‍ය උත්සවයක් හැටියට ප්‍රකාශයට පත් කළා. ලංකාවේ පළවෙනි පෙරහර හැටියට මිහිඳු පෙරහැරත් අපි ගැසට් කළා. මේ සුවිශේෂී සංස්කෘතික උත්සවයට මිලියන 5ක් වෙන් කරන්නත් ඒ වකවානුවේ කටයුතු කළා. එහෙව් වැදගත් උත්සවය කරන්න ආණ්ඩුව අනුග්‍රහය දක්වන්නේ නෑ”‍ විහාරාධිපති හිමියෝ පැවසූහ.
තමන් මේ පිළිබඳව පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරන බවට සජිත් උන්වහන්සේට පොරොන්දු විය.


ඒ අනුව පාර්ලිමේන්තුවේ දී ඒ පිළිබදව ප්‍රශ්න කරන්නට සජිත් අමතක නොකළේය.

ජනක වෙනුවෙන් එකමුතුව 

 

මහජන උපයෝගිතා කොමිසමේ සසභාපතිවරයා ඉවත් කිරීමට අදාළ විවාදයට දෙදිනකට පෙර විපක්ෂයේ පක්ෂ එකමුතුවේ විධායක කමිටු රැස්වීම පාර්ලිමේන්තුවේදී සිදු විය.
රටේ පවතින තත්ත්වය පිළිබඳව එහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක් කෙරුණු අතර මහජන උපයෝගිතා කොමිසමට මතුව ඇති තර්ජනය පිළිබඳව ද එහිදී අවධානය යොමු කරනු ලැබීය.


”‍අපි මේ වෙලාවේ විරුද්ධ වෙන්නේ පුද්ගලයෙක් මත පදනම්ව නෙවේ. ආණ්ඩුව මේ ඇඟිලි ගහන්නේ ස්වාධීන කොමිෂන් සභාවකට. එනිසා එ්කට විරුද්ධව අපේ ගන්න පුළුවන් ක්‍රියාමාර්ග ගත යුතුමයි” සජිත් කීවේය.


අදාළ විවාදය විපක්ෂය පැත්තෙන් ආරම්භ කළේ විපක්ෂ නායක සජිත් ය. ඔහු වසල සූත්‍රයේ ගාථාවකින් කතාව ආරම්භ කළේය.

සජිත් සම්පන්දන් හමුවෙයි 

මේ අතර බ්‍රහස්පතින්දා සන්ධ්‍යාවේ සජිත් විශේෂ පුද්ගලයකු හමුවීමට ගියේය. ඒ දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්පන්දන් මහතාය.


සජිත් සහ සම්බන්ධන් එකිනෙකාට බෙහෙවින් ගරු කරන දේශපාලනඥයින් වන අතර සජිත් සිය උදාගම් වැඩසටහන්වලදී පවා ඒවා විවෘත කිරීමේ අවස්ථාවන්ට සම්පන්දන්ට ආරාධනා කොට තිබුණි.


දෙදෙනා අතර සාකච්ඡාව බොහෝ වේලාවක් ඇදුණු අතර රටේ පවතින දේශපාලන තත්වය පිළිබඳව එහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක් කෙරුණි. රටේ ප්‍රජාතන්ත්‍රවාදයට එල්ල වී ඇති මරු පහර මෙන්ම ආර්ථික වශයෙන් සිදුව ඇති පරිහානිය පිළිබඳවද මෙහිදී විශේෂ අවධානයක් යොමු විය.

 

 

 

 

 ■ ගජබා

 

  

 

 

 

 

 

 



අදහස් (0)

ජනක පැන්නීමේ සතිය

ඔබේ අදහස් එවන්න

කරලියේ කතාබහ

මෛත්‍රී අලුත් ආයුධ සමග
2024 අප්‍රේල් මස 01 162 0

මහනුවර ඉකුත්දා පැවැති උත්සවයකට සහභාගී වූ හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ගිය සතියේ පුවත් මවන්නෙකු බවට පත්විය. ඒ ඔහු මහනුවරදී කළ ආන්දෝලනාත්මක


එහාට මෙහාට පැනිලි
2024 ජනවාරි මස 08 413 0

නව වසරේ ජනපති රනිල් මුණගැසී සුබපැතීමට මැති ඇමතිවරු රැසක් පැමිණ සිටි අතර, බන්දුල ගුණවර්ධන, ශෙහාන් සේමසිංහ, රංජිත් සියඹලාපිටිය, වජිර අබේවර්ධන එහි පෙරමුණ


හැමතැනම සන්ධාන ගැහෙන්න සාකච්චා
2024 ජනවාරි මස 01 241 0

ජනපති රනිල් වික්‍රමසිංහ ඉකුත් සතියේ රැඳී සිටියේ කොළඹින් එපිට නුවරඑළියේය. සම්ප්‍රදායක් ලෙස සෑම වසරකම අවසාන දින කිහිපය ඔහු ගෙවා දමන්නේ නුවරඑළියේ හෝ දි


අයවැය අස්සේ අයවැය ගැන කතා නැත
2023 නොවැම්බර් මස 25 248 0

එදින සවස එක්සත් ජාතික පක්ෂ කළමනාකරණ කමිටු නියෝජිතයන් මුණගැසුණු ජනපති රනිල් පක්ෂයේ ඉදිරි කටයුතු ගැන සාකච්ඡා කළේය. මහලේකම් රංගේ කීවේ දෙසැම්බර් මාසය තු


සජිත් - අනුර වර්ජනය කළ නායක හමුව
2023 ඔක්තෝබර් මස 23 333 0

පාර්ලිමේන්තු මැතිවරණ ක්‍රමය වෙනස් කිරීමේ කෙටුම්පත මේ වනවිට දැඩි කතාබහට ලක්වෙමින් තිබේ. එය කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරනු ලැබුවේ ආචාර්ය විජේදාස රාජපක


ඡන්ද කල්දාන සාස්තර පොත එලියට
2023 ඔක්තෝබර් මස 16 265 0

රත්නපුර සීවලි මධ්‍ය විද්‍යාලයේ ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ මංගල සැසිවාරය ජනපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 303 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1673 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1532 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site