IMG-LOGO

2025 මැයි මස 03 වන සෙනසුරාදා


කී දේ වෙනුවට නොකී දේ වරනැගීම

පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට ඇත්තේ තව දින හතරකි. වසර 03කට ආසන්න කාලයක් තිස්සේ කල් දමමින් තිබූ ප්‍රාදේශීය සභා, නගර සභා ඡන්දය පවත්වන්නට තීරණය කිරීම ඉතාම හොඳ වැඩක්ය.

මේ කාලයේ ඡන්දයක් පැවැත්වීමෙන් ජනතාවගේ ජනමතය තිබෙන්නේ කොතැනද යන්න සොයා ගත හැකිවීම මෙවැනි ඡන්දයක් පැවැත්වීමේ පළමු ධනාත්මක කරුණය. පසුගිය ජනාධිපතිවරණය සහ මහ මැතිවරණය යන අවස්ථා දෙකම පෙන්නුම් කළේ රටේ ජනතාවගෙන් බහුතරයක් ජාතික ජනබලවේගය සමග සිටින බවය. ඒ තීරණය තවමත් එසේම පවතීද යන්න නැවත පරීක්ෂා කළ හැකිව ඇත.

තවත් පැත්තකින් ප්‍රාදේශීය සභා සහ නගර සභා ඡන්දය පැවැත්වීම වැදගත්ය. එසේ වන්නේ මෙරට පාලන ව්‍යුහයේ යටම දැති රෝදය වන පළාත් පාලනය සඳහා ජනතාවගේ නියෝජිතයන් පත්වීමේ ක්‍රියාවලිය දේශපාලන වශයෙන් ඉතාමත් අවශ්‍ය ක්‍රියාදාමයක් වන නිසාය. ඒ ඒ ප්‍රදේශවල ප්‍රාදේශීය පාලනය ගෙන යා යුත්තේ කුමන පදනමින්ද යන්න තීරණය කළ යුත්තේ ඒ ඒ ප්‍රදේශවල ජීවත් වන ජනතාවය. ඒවා ජනතාවගෙන් ඉවත් කර නිලධාරීන් අතේ තැබීම හොඳ වැඩක් නොවේ. එනිසා මේ ඡන්දය පැවැත්වීම ඉතාමත් අවශ්‍යය.

 

ආණ්ඩුවේ තර්කය

මෙම පළාත් පාලන මැතිවරණයට ආණ්ඩුව ඉදිරිපත් කර ඇති තර්කය වන්නේ ඒ අය මීට මාස 06කට පෙර බලයට පත්වීමට පෙර ජනතාවට ලබා දුන් පොරොන්දු එකින් එක සාර්ථකව ඉටු කරමින් සිටින බවත්, ඒ නිසා ආණ්ඩුවේ පාර්ශවයට මේ එන ප්‍රාදේශීය සභා ඡන්දයේදී ජනතාවගේ මනාපය ලබා දිය යුතු බවත්ය. මේ තර්කය ටිකක් විමසිලිමත්ව බැලීම ඉතාමත් අවශ්‍යය. එසේ අවශ්‍ය වන්නේ, මෙවර ප්‍රාදේශීය සභා මැතිවරණයට විපක්ෂයේ පැත්තෙන් ඉදිරිපත් වී ඇති ප්‍රධාන විවේචනය වන්නේ ‘‘ආණ්ඩුව ජනතාවට දුන් පොරොන්දු ඉටු නොකරනවා පමණක් නොව ජනතාවට බොරු කියන’’ බව වීමත් සමගය.

පසුගිය ජනාධිපතිවරණය සහ මහ මැතිවරණය යනු අපේ රටේ පැවැති යම් ආකාරයක තීරණාත්මක මැතිවරණ දෙකක් බව ඉතාමත් පැහැදිලිය. රටේ ආර්ථිකය අර්බුදයට යාම හේතුවෙන් ජනතා උද්ඝෝෂණයක් මතුවී එය හරහා රටේ තිබූ ගෝඨාභය පාලනය සම්පූර්ණයෙන්ම වෙනස් වූ බව හැමෝම දන්නා කාරණයක්ය. එසේම 2022 වර්ෂයේ මතුවූ මෙම තත්වය 2024 වන විට යම් ආකාරයකට සමහන් වී රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ මූලිකත්වයෙන් යම් ආකාරයක නව විසඳුමක් ගොඩනැගී තිබුණ බවත් සත්‍යයක්ය.

දැන් ඒ මැතිවරණ දෙක තුළම වත්මන් ආණ්ඩුව කරවන ජ.වි.පෙ. සහ ජා.ජ.බ. කණ්ඩායම් තර්ක කළේ වසර 76 (ඒ කියන්නේ 1948 න් පසු කාලයේ) කාලයේ ගත් ආර්ථික උපායමාර්ග වැරැදි බවය. ඒවා වෙනස් කළ යුතු බවය. දෙවැනුව රටේ ජාතික සම්පත් අතිවිශාල ප්‍රමාණයක් හොරකම් කර ඇති බවත් ඒවා නැවත වහාම රජයට ලබාගත යුතු බවත්ය. තුන්වෙනුව ඒ හොරකම් සඳහා දඬුවම් ලබා දෙන බවත්ය.

ඒ අනුව ඒ ඡන්ද දෙකේදීම ජා.ජ.බ. ආණ්ඩුව ජනතාවට පොරොන්දු වූයේ තමන්ගේ පාලනයක් තුළ පසුගිය වසර 76 ට වඩා වෙනස් සංවර්ධන උපාය මාර්ග ගනිමින් කාර්යක්ෂම සහ නීතිගරුක පදනමකින් පැරැණි වැරැදිකරුවන් අධිකරණයට යොමු කරමින් නව පාලනයක් ඇති කරන බවය.

දැන් මේ මැතිවරණයේදී ආණ්ඩුව ඉතාමත් බරපතළ ආකාරයෙන් කියමින් සිටින්නේ තමන් ඒ පොරොන්දුව ඉටු කරමින් සිටින බවය. එහෙත් පසුගිය මාස 06ක කාලය තුළ එවැනි කිසිම අලුත්වීමක් ආර්ථිකයේ සිදුවී නැති බව විපක්ෂය මතු කරන ප්‍රධානතම විවේචනයය.

මගේ අදහස වන්නේ ඒ විවේචනයට විශාල පදනමක් තිබෙන බවය. ආර්ථික ක්ෂේත්‍රයේ මේ ආණ්ඩුව අලුතින් සිදු කළ කිසිදු දෙයක් නැති ගානය. රනිල් වික්‍රමසිංහ මහතා ගත් සමහර තීරණ ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක කරනවා හැර ඒ ක්ෂේත්‍රයේ අලුත් දෙයක් සිදුවන්නේ නැති තත්වයක් උදාවී ඇත.

 

අලින්ගේ - අපේ වැඩ

‘‘අලින්ගේ අපේ වැඩ’’ කියා පැරැණි කියමනක් තිබේ. එහි අදහස වන්නේ වෙනත් කෙනෙක් කළ වැඩක් අපේ වැඩක් ලෙසින් පෙන්නීමය. මේ ආණ්ඩුවත් කතා කරන්නේ ඒ ආකාරයෙන්ය. මෙතැන වාච්‍ය අර්ථයෙන්ම ‘‘අලින්ගේ අපේ වැඩ යෙදුම’’ ගැළපෙන්නේය. ඒ කියන්නේ රනිල් වික්‍රමසිංහ මහතා විසින් ආර්ථික ක්ෂේත්‍රයේ සිදු කළ සමහර වැඩ කිසිදු ලජ්ජාවකින් තොරව ‘‘අපේ වැඩ’’ ලෙසින් පෙන්නීමය. සරල උදාහරණයක් ගන්න. පසුගිය දිනක සමාජ මාධ්‍යවල ප්‍රචාරණය වූ කතාවක කියැවුණේ ජ.වි.පෙ. ලේකම්වරයා කිව්වා යැයි කියන කතාවකි. එහිදී කියූ බව සඳහන් වන්නේ ‘‘තෙල් පෝලිම් තියෙන රටක් තමන්ට ලැබුණ බවත් තමන්ගේ ආණ්ඩුව තෙල් පෝලිම් නැති කළ බවත්’’ය. මේ කතාව ඇත්තක් නම් එය හරියටම ගැළපෙන්නේ ‘‘අලින්ගේ අපේ වැඩ’’ කතාවටය. මේ රටේ 2022 ඇති වූ තෙල්, ගෑස් පෝලිම් නිමා වූයේ රනිල් විකමසිංහ මහතා පැමිණීමෙන් පසුව මිස 2024 න් පසුව නොවේ. මේ කතාව ‘‘අතේ පැළවෙන’’ බොරුවක් බව ඒවා කියන අයත්, ඒවා අසන අයත් හොඳින් දනිති.

එසේම IMF සමග ණය ගෙවීමේ සාකච්ඡාව තවත් එවැනිම උදාහරණයක්ය. IMF එකඟතාවේ බරපතළ ගැටලුකාරීත්වයක් තිබෙන අතර ඒ එකඟතාව තනිකරම රනිල් වික්‍රමසිංහ + ෂෙහාන් සේමසිංහ වැනි අයගේ මැදිහත්වීමෙන් සිදුවූ එකක්ය. එයට එකල ජ.වි.පෙ. කිසිදු මැදිහත්වීමක් සිදු නොකළ බව කියන්නේ ඒ අයට (එකල ජ.වි.පෙ.ට) ස්තුතියක්ද සමගින්ය. ඒ දුර්වල ණය එකඟතාව යළි සාකච්ඡා කරන බව එකල ස.ජ.බ. පක්ෂයේද ස්ථාවරය විය. ජ.වි.පෙ. එදා කිව්වේ මේ IMF එකඟතාවට පාවාදීමක් බවය. ඒත් දැන් කියන්නේ එය ‘‘අලින්ගේ අපේ වැඩක්’’ බවය.

 

ගරු කිරීම නැතිකම

ආණ්ඩුවේ අයගේ කතාවල තිබෙන බරපතළම ගැටලුවක් වන්නේ ‘‘අන් අයට අයිති ක්‍රියාකාරීත්වයක් තුළට ගමන් කරමින් ඒ ක්‍රියාකාරීත්වය තුළ එතෙක් සිටි අයට කිසිදු ගරු කිරීමක් නොකර සිටීම’’ය. මෙයට ඉංග්‍රීසියෙන් කියන්නේ “curtesy” නැතිකම කියාය. ඒ කියන්නේ අපි මෙතෙක් නොපිළිගත් ස්ථාවරයක් පිළිගන්නා විට එම ස්ථාවරය මෙතෙක් දැරූ අයට ‘‘ස්තුති පූර්ව පිළිගැනීමක්’’ සිදු කරමින් ඒ ස්ථාවරයට ඇතුල්වීම නැතිකමය. උදාහරණයකට ඉන්දියාවත් සමග එකඟ වූ සාම්පූර් බලාගාරය සම්බන්ධ ස්ථාවරය ගන්න. හැමදාම ජ.වි.පෙ. සිටියේ සාම්පූර් ව්‍යාපෘතියට විරුද්ධ ස්ථාවරයකය. ජ.වි.පෙ. නොසිටියා නම් සමහර විට සාම්පූර් බලාගාරය මේ වන විට සාදා නිමකරන්නට පුළුවන් විය හැකිව තිබුණා යැයි කීමේ වැරැද්දක් නැත. දැන් ඒ ව්‍යාපෘතියට පසුගිය මාසයේ ජ.වි.පෙ. රජය, ඉන්දියාවත් සමග ගිවිසුමක් අත්සන් කළ බව මාධ්‍යයෙන් වාර්තා විය.

මෙතැනදී වත්මන් රජයේ නායකයන් මේ ව්‍යාපෘතිය සම්බන්ධයෙන් තමන් දැරූ ස්ථාවරයෙන් ඉවතට පැමිණීම සඳහන් කළේවත්, ඒ ව්‍යාපෘතිය මේ දක්වා යෝජනා කරමින් විශාල දේශපාලන වන්දියක් ගෙවූ අයට (පැරණි එ.ජා.ප. ආණ්ඩු, රනිල් වික්‍රමසිංහ මහතා වැනි අයට) තමන්ගේ ස්තුතිය ප්‍රකාශ කළේවත් නැත. මෙතෙක් කල් තමන් දැරූ ස්ථාවරයක් වගේ සාම්පූර් ගැන කතා කළා මිස කිසිදු Courtesy එකක් පෙන්නුවේ නැත. IMF එකඟතාව පිළිබඳව ජ.වි.පෙ. ස්ථාවරයක් පෙන්නුම් කරන්නේ මේ වගේ තත්වයක්ය. IMF එක සමග ආණ්ඩුව ගමන් කිරීමේ මගේ ගැටලුවක් නැත. එහෙත් තමන් එයට විරුද්ධ වූ අවස්ථාවේදීත් එම ස්ථාවරය රැකගෙන දේශපාලන වන්දියක් ගෙවූ අයට යම් ආකාරයක පිළිගැනීමක් ලබාදීම අවශ්‍යය. Courtesy කියන්නේ ඒකටය.

මේ වගේ තවත් උදාහරණ එකින් එක දැන් දැන් කරළියට වැටෙමින් තිබේ. තවම පිළිගන්නේ නැත්තේ ‘‘සයිටම් එක හොඳ වැඩක්’’ වගේ දෙයක් පමණය.

එපමණක්ද නොවේ. මෙසේ අනුන්ගේ ස්ථාවරවලට ආණ්ඩුව ගමන් කරනවා පමණක් නොව ඒ ස්ථාවරයට (තමන්ද සමගින්) විරුද්ධව සිටි අනෙක් අයට ‘‘කෝචොක්’’ කිරීමටද සමහරු පටන්ගෙන තිබේ. IMF එකඟතාව විවේචනය කිරීම ‘‘රටේ අනාගතයට කරන විනාශයක්’’ වගේ හැඟීමක් ඇති කරමින් යන්නේ මේ කාරණය නිසාය.

‘‘උන්ගේ සදාචාරය සහ අපේ සදාචාරය’’ එකක් නොවේ යැයි කියමනක් පැරැණි මාක්ස්වාදයේ තිබූ බව සමහරුන්ට මතක ඇත. එයින් කියන්නේ සදාචාරය යනු පන්ති උපකරණයක් බවත් ධනපති පන්තියේ තිබෙන සදාචාරය නිර්ධන පන්තියේ ආණ්ඩුවක් විප්ලවයකින් පසුව පිළිගන්නේ නැති බවය. මේ සිදුවන විපර්යාස පිළිබඳව මගේ මිතුරෙක් කීවේ මේ අයට සිතන්නේ ගරු කිරීම, ස්තුති කිරීම, පන්ති උපකරණයක් ලෙසද කියා තමන් දන්නේ නැති බවය. මගේ මිතුරාගේ ඒ විහිළු කතාවට බරපතළ පදනමක් තිබෙන තරමට, ගරු කිරීම අමතක කරන යුගයකට අපි ගමන් කරමින් සිටින්නෙමු.

 

හොරකම වෙනුවට බොරුව

මේ මැතිවරණයේදී ආණ්ඩුව මුහුණ දී ඇති බරපතළම අභියෝගය වන්නේ ඒ අය බොරු කියන බවට සමාජයේ වර්ධනය වෙමින් තිබෙන ස්ථාවරයයි. ‘‘මේ දැන් කියූ එකට ප්‍රතිවිරුද්ධ එකක් ඊළඟ පැයේ කියමින් තමන් මුලින් කියූ එක නොදැක්කා වගේ ඉන්නට ගොස්’’ මේ තත්වය උදාවී ඇත.

නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදයේ තිබෙන එක් පදනමක් වන්නේ සමාජයත් සමග තමන් ගොඩ නගන සම්මුතියක් මත දේශපාලන බලය පදනම් වෙන බවයි. සමාජ සම්මුතිවාදය හෙවත් Social contract theory ලෙසින් හඳුන්වන්නේ මේකය. මේ සම්මුතිය පවතින්නේ තමන් දරන ස්ථාවරයත් මත ජනතාව තමන්ට බලය ලබා දුන්නේය යන පිළිගැනීම මතය. ඒ සම්මුතියට හේතු වූ කරුණු දිනපතා වෙනස් කරමින් ඒ වෙනස් කිරීමට හේතුවූ පදනම යළිත් ජනතාවට නොකියා සිටීම හැඳින්විය හැක්කේ ‘‘බොරු කීම’’ ලෙසින්ය.

මේ අභියෝගයෙන් අත්මිදීමට නොහැකි ඕනෑම ආණ්ඩුවක් සමග ජනතාවගේ සම්බන්ධතාව පවතින්නේ නැති බව මගේ නිරීක්ෂණයය.

(***)
මහාචාර්ය
චරිත හේරත්



අදහස් (0)

කී දේ වෙනුවට නොකී දේ වරනැගීම

ඔබේ අදහස් එවන්න

 

 
 

කිවිදා දැක්ම

කී දේ වෙනුවට නොකී දේ වරනැගීම
2025 මැයි මස 02 248 0

පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට ඇත්තේ තව දින හතරකි. වසර 03කට ආසන්න කාලයක් තිස්සේ කල් දමමින් තිබූ ප්‍රාදේශීය සභා, නගර සභා ඡන්දය පවත්වන්නට තීරණය කිරීම ඉතාම


ඉහළින් ගිලිහුණු උළෙල
2025 අප්‍රේල් මස 25 1012 5

මෙවර අලු‍ත් අවුරුදු උළෙල විශේෂයක් ගත්තේ ය. ඒ අන් කවරදාකවත් නොදුටු පරිදි රාජ්‍ය සහ මෙරට මහා සංස්කෘතික මංගල්‍ය අතර සම්බන්ධය ගිලිහී යාම ය. මෑත ඉතිහාසයේ සෑ


භාරත ආසියා මොඩලය
2025 අප්‍රේල් මස 18 254 0

සිංහල හා හින්දු අලුත් අවුරුදු උණුසුම තවමත් පහව ගොස් නැත. කුමන ආර්ථික ගැටලුකාරිත්වයක් තිබුණත් අපේ රටේ ජනතාව අලුත් අවුරුද්දට සූදානම් වූයේ ඒ සියලු අගහිඟ


පොරොන්දුවල අතරමං වූ ආණ්ඩුව
2025 අප්‍රේල් මස 04 955 5

ජනාධිපතිවරයා පළාත් පාලන ඡන්දය ඉලක්කගත කර සිදුකරන ලද කතා කීපයක් අසා සිටි මෙම ලියුම්කරුට හැඟී ගියේ ඔහුගේ හඬ ජවය දැන් දැන් දුර්වල වී ඇති බවයි. එහි විශ්වාස


ජනමතය උරගා බැලීමක්
2025 මාර්තු මස 28 324 0

මෙවර කිවිදා දැක්ම ලියන්නේ පළාත් පාලන මැතිවරණයට නාමයෝජනා භාර දී ඇති කාලයකය. පළාත් පාලන මැතිවරණය අවසාන වරට පැවැත්වුණේ 2018 වර්ෂයේදීය. ඒ පැවැත්වූයේත් නියම


හොරුන් ඇල්ලීමේ නාටක
2025 මාර්තු මස 21 407 1

අත්අඩංගුවට ගැනීම ම දඬුවමක් වන තැනට අද ලංකාවේ නීති පද්ධතිය පහත වැටී තිබීම අප බරපතළ ලෙස සැලකිල්ලට ගත යුතු කරුණකි. පුද්ගලයකු අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනා


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 500 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 131 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1153 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site