රටේ වෙළෙඳ මාෆියාවන් ගැන කලින් කලට විවිධ පුවත් මාධ්‍ය ඔස්සේ වාර්තා වෙයි. පසුගිය කාලය පුරාම අප සියලු දෙනා ආවේගශීලීව සාකච්ඡා කළේ සහල් වලින් අධික ලාභ උපයන සහල් මාෆියාවක් ගැනය. දැන් එයට තවත් අතුරුපස ද එක්ව තිබේ. සීනි හා පරිප්පු ඇතුළු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය කිහිපයක් සම්බන්ධයෙන්ද රටේ වෙළෙඳ මාෆියාවන් ක්‍රියාත්මක වෙමින් පවතින බව විද්‍යුත් මාධ්‍ය ඔස්සේ හෙළිදරව් වෙමින් පවතී.
මෙම මාෆියාකරුවන්ගේ කෙරුවාව වී ඇත්තේ ජනතාවට අත්‍යවශ්‍ය මෙම ආහාර ද්‍රව්‍ය සම්බන්ධයෙන් කෘත්‍රිම හිඟයක් මවා පා සතිපතා ඒවායේ මිල ගණන් දරාගත නොහැකි මට්ටමට එසවීමයි. මේ වනවිටත් සහල්, සීනි සහ පරිප්පු ආදියට ඔවුන් නියම කර ඇති මිල ගණන් සසඳන විට මාෆියාවේ රකුසු මුහුණ හඳුනාගත හැක. අප වෙත ලැබී තිබෙන නිල නොවන වාර්තා අනුව ජනතාවට නැතිවම බැරි සහල්, සීනි සහ පරිප්පු වලින් මේ අසාධාරණ ව්‍යාපාරිකයන් ලබන ලාබය රුපියල් සියය (100) ඉක්මවා තිබේ. මේ දිනවල දැඩි සමාජ අවධානයට යොමුව තිබෙන සීනි සම්බන්ධයෙන් ගත් කල ජනතාවට සහන මිලට සීනි ලබාදීම සඳහා පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේ දී ආනයනික සීනි කිලෝවක් සඳහා රජය පනවා තිබූ රුපියල් 50 බද්ද සත 25ක් දක්වා අඩු කළේය. ඒ අවසරයෙන් ප්‍රයෝජන ගත් සීනි ආනයනකරුවෝ සති කිහිපයක් තුළ සීනි මෙට්‍රික් ටොන් 90,000කට වැඩි ගණනක් ආනයනය කළහ. ඒවා වරායට ලැබෙන විට ඔවුන්ට කිලෝවක් සඳහා වියදම් වී තිබුණේ රුපියල් 98-100ත් අතර මුදලකි. අද මෙලෙස රුපියල් 250ක් තරම් අධික මිලකට මෙම කූට දත්ත මසුරු වෙළෙඳුන් ජනතාවට විකුණනන්නේ එම සීනි තොගයයි.
ගමේ ජනතාවගේ භාෂාවෙන් කිවහොත් මෙය අහස පොළොව නුහුලන සහගහන අපරාධයකි. කොරෝනා වසංගතයෙන් ජනතාවගේ ආදායම් අහිමි වී අගාධයට වැටී තිබෙන මොහොතක මෙලෙස හදවතක් නැති ආකාරයට ක්‍රියාකිරීම ගැන සමාජයේ ඇත්තේ අප්‍රමාණ පිළිකුලකි. රජරට සහල් ව්‍යාපාරය ජාවාරමක් කරගත් අය ද පරිප්පු ආනයනය කරන්නන්ද මෙම මාෆියා ජාලයේ සම්මාදන්කරුවන් බව ජන මතයයි.
මුදල් අමාත්‍යංශ වාර්තා අනුව ශ්‍රී ලංකාවේ මාසික සීනි පරිභෝජනය මෙට්‍රික් ටොන් 50,000කි. වසරකට නම් මෙට්‍රික් ටොන් ලක්ෂ 6,00,000ක් පමණය. ඒවා ආනයනය සඳහා පවතින දළ මිල ගණන් අනුව රුපියල් කෝටි 3800ක් (බිලියන 38ක්) පමණ වසරකට වැය කළ යුතු බව මුදල් අමාත්‍යංශය කියයි. ශ්‍රී ලංකාවේ දැනට නිපදවන්නේ රටේ වාර්ෂික සීනි අවශ්‍යතාවෙන් සියයට 5ක් පමණය. හිඟුරාන, සෙවණගල හා පැල්වත්ත කම්හල්වල මෙම නිෂ්පාදන සිදු කෙරේ. අතීතයේ ඉතාම සශ්‍රීකව පවත්වාගෙන ගිය කන්තලේ සීනි කම්හල් ව්‍යාපාරය වසා දමා දැනට වසර ගණනාවක් ගතවී ඇත. කන්තලේ සීනි කම්හල ද තිබුණේ නම් අපේ සීනි නිෂ්පාදනය තවත් නංවන්නට ඉඩ තිබුණි.
රටේ අවශ්‍යතාවට සීනි ප්‍රමාණවත් නොවූ නිසා ඒවා ආනයනය කිරීම සාමාන්‍ය ක්‍රමයයි. වසරකට ආනයනය කරන සීනිවලින් සියයට 40ක්ම මිලදී ගන්නේ රස කැවිලි නිෂ්පාදකයෝය. ජනතාවට පෞද්ගලිකව පරිභෝජනය කරන සීනි ප්‍රමාණය ආනයනික තොගයෙන් සියයට 60කි. කෙසේ හෝ පසුගිය කාලයේ රුපියල් 85-120ත් අතර විවිධ මිල ගණන්වලට අලෙවි වූ සීනි කිලෝව රු. 250ක් පමණ වන තෙක් එකවර ඉහළ දැමීම පසුපස සීනි ආනයන මාෆියාව සිටින බව හෙළිදරව් වූයේ පසුගිය දිනවල මේ අය සඟවා තිබූ සීනි මෙට්‍රික් ටොන් 10,000ක් පමණ පාරිභෝගික ආරක්ෂණ අධිකාරිය විසින් අත්අඩංගුවට ගෙන එම ගබඩා සීල් තැබීමත් සමඟය.
මෙලෙස සීනි මාෆියා කරුවන් ද සහල් මාෆියාකරුවන් මෙන් වෙළෙඳ පොළේ කරනම් ගසන තෙක් පාරිභෝගික අධිකාරිය මාස ගණනක් නිහඬව සිටීම ද පුදුම සහගතය. මේ බව රටට හෙළිදරව් කළ පෞද්ගලික විද්‍යුත් මාධ්‍යය නොවන්නට සීනි මාෆියාව අදත් තමන්ගේ ජාවාරම සරුසාර ලෙස ක්‍රියාත්මක කරනවා නොඅනුමානය. ආණ්ඩුවේ බලධරයන් පවා මෙම තත්ත්වය නොදැන සිටියාදැයි අපි නොදනිමු. කෙසේ හෝ අවසන් මොහොතේ රජය සතු අවසාන තුරුම්පුව ලෙස හදිසි නීතියේ විධිවිධාන සක්‍රීය කර වී, සහල්, සීනි ඇතුළු අත්‍යවශ්‍ය පාරිභෝගික ද්‍රව්‍ය හිතු හිතූ මිල ගණන්වලට අලෙවි කිරීමට නොහැකි වන ලෙස නීතිරීති දැඩි කිරීම ගැන ප්‍රශංසා කළ යුතුය. එම හදිසි නීති රෙගුලාසි අනුව රේගු සංඛ්‍යා ලේඛන මගින් අදාළ අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ආනයනය කළ සැබෑ මිල ගණන් හඳුනාගෙන ඊට සාපේක්ෂ සාධාරණ ලාභයක් මත අලෙවියට ඉඩකඩ සලසා ඇත. ඒ සමඟ බැංකුවලින් අදාළ භාණ්ඩ මිලදී ගැනීම පිණිස ලබාදුන් ණය මුදල් විධිමත් ලෙස අයකර ගැනීමට ද හදිසි නීති රෙගුලාසි මගින් බලය පවරා තිබේ. මෙම කටයුතු අධීක්ෂණය සඳහා අත්‍යවශ්‍ය සේවා මහකොමසාරිස්වරයා ලෙස ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරී නිවුන්හැල්ල මහතා පත්කර ඇත.
මෙම පියවර ආණ්ඩුව ගෙන ඇත්තේ කළ හැකි වෙන කිසිවක් නැති තැනය. එහෙත් මෙතැන දී අවශ්‍ය වන්නේ නීති පැනවීම මෙන්ම පනවන ලද නීතිරීති නිසි ලෙස ක්‍රියාත්මක කිරීමයි. මෙයට පෙරද වරින් වර විවිධ නීති පමණක් නොව මිල පාලන ගැසට්ටු මගින් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය මිල පාලනයට රජය පියවර ගනු ලැබීය. එහෙත් ඒවා හරිහැටි ක්‍රියාත්මක නොවූ බව බහුතර පාරිභෝගික මතයයි. එබැවින් මෙම මාෆියාවන් මර්දනය කර රටේ සාධාරණ වෙළෙඳ පරිසරයක් ඇති කළ හැක්කේ පවත්නා නීති හරිහැටි අකුරට ක්‍රියාත්මක කිරීමෙනි. මෙයට පෙර සහල් මාෆියාකරුවන් විවිධ බොරු හේතු දක්වමින් සහල් මිල ගණන් අහස උසට නංවන විට ආණ්ඩුව නිසි ලෙස දැඩිව ක්‍රියාකළ යුතුව තිබුණි. සහල් මිල පාලනය සඳහා සහල් ආනයනයට තීන්දු කළේ ද අන්තිම මොහොතේය. එවිට ඉස්තාලයෙන් අශ්වයා පැන ගොසිනි. ඒ නිසා පනවන ලද හදිසි නීති රෙගුලාසි සැහැල්ලුවට ගන්නට ඉඩ නොදී රටේ බහුතර ජනතාවගේ හිතසුව පිණිස ඒවා දැඩිව හා විනිවිධභාවයෙන් යුතුව ක්‍රියාත්මක වනු දැකීම ජනතා අභිලාශයයි.
(***)
පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට ඇත්තේ තව දින හතරකි. වසර 03කට ආසන්න කාලයක් තිස්සේ කල් දමමින් තිබූ ප්‍රාදේශීය සභා, නගර සභා ඡන්දය පවත්වන්නට තීරණය කිරීම ඉතාම
ගෞරවනීය දෙමළ දේශපාලන නායකයකු වන සැමුවෙල් ජේම්ස් වේලුපිල්ලේ (එස්.ජේ.වී.) චෙල්වනායගම්ගේ 48 වැනි අනුස්මරණ සංවත්සරය අප්‍රේල් 28 වැනිදාට යෙදී තිබුණි. එස්.ජේ.වී
හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ වියෝවින් වසර 32ක් අද වනවිට ගෙවී ගොස් තිබේ. 1993 මැයි මස 01 වැනි දින එතුමන් එල්ල කරමින් සිදුවූ ත්‍රස්ත ප්‍රහාරය තවමත්
වසර 16කට පසුව පැවැති දළදා වන්දනාව මහ ජනතාවට දළදා වහන්සේ වැඳ පුදා ගැනීමට ලැබෙන දුර්ලභ අවස්ථාවකි. අවසන් වරට දළදා ප්‍රදර්ශනයක් පැවතියේ 2009 වසරේදීය. ඒ යුද්ධ ස
මැයි මස පළමුවැනිදා කම්කරු දිනය වශයෙන් වසර ගණනාවක සිට මේ දක්වා සම්මතව පවතී. 1886 දී ඇමෙරිකාවේ චිකාගෝ නුවර දී මැයි අරගලය ආරම්භ වූයේ කම්කරුවන් පැය 8ක වැඩ කිරී
ඓතිහාසික ආරවුල් සහ කාශ්මීරයේ මෑතකාලීන ඛේදජනක සිදුවීම් හේතුවෙන් ඉන්දියාව සහ පාකිස්තානය අතර වර්ධනය වන ආතතීන් දකුණු ආසියාව පමණක් නොව පුළුල් ගෝලීය පිළි
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
සීනි හිඟයක් මැවූ සීනි මාෆියාව