IMG-LOGO

“ඩෙල්ටා” අවදානම නොතකා සිටිනු එපා

ජනතාව ආරක්ෂක ක්‍රමවේද අනුගමනය කරමින් පරෙස්සම් නූණොත් තව සති දහයකින් පමණ මේ රට කොරෝනා ව්‍යාප්තියේ භයානකම ප්‍රභේදය වන සැර ඉන්දියානු ඩෙල්ටා ප්‍රභේදයේ ගොදුරක් බවට පත්වනු ඇතැයි සෞඛ්‍ය විශේෂඥයන් විසින් අනතුරු අඟවා තිබේ. මේ බව හෙළිකරමින් කොරෝනා මර්දන කටයුතු භාර රාජ්‍ය අමාත්‍ය, විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය ජනතාවට දැනුම් දී තිබුණේ සෞඛ්‍යාරක්ෂක ක්‍රමවේද භාවිතය අඛණ්ඩව පවත්වාගත යුතු බවය. ජනතාව එම වගකීම පැහැර හරින්නේ නම් එහි භයානක ප්‍රතිඵල ද අත්විඳීමට සූදානම් විය යුතු බවට ප්‍රබල සංඥාවක් එම පණිවිඩයේ අඩංගුය.

වෛද්‍ය විශේෂඥවරුන්ගේ දැනුම්දීම එබඳු වුව ද පසුගිය සතියේ බස්නාහිර පළාතේ විවෘත කිරීම තහනම්ව තිබූ රෙදිපිළි සහ කඩ සාප්පු සංකීර්ණ විවෘතව තිබූ බව ද අපගේ ලංකාදීප පුවත්පතින් හෙළිදරව් කෙරිණි. මේ බව පෙන්වා දී තිබුණේ පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරිය විසිනි. එම සාප්පු සංකීර්ණ පවතින කොරෝනා අවදානම සැලකිල්ලට ගනිමින් විවෘත කිරීමෙන් වැළකී සිටින්නැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නිකුත් කරන ලද විශේෂ මාර්ගෝපදේශ මාලාවේ සඳහන්ය. එම නියෝගවලට අවනත නොවීම කොරෝනා ව්‍යාප්තියේ දැඩි අවදානමක් මතු කරන බව පැහැදිලිය. විවෘතව පවතින සාප්පු සංකීර්ණ තුළට ජනතාව සෞඛ්‍ය නීති රීති නොතකා එක්රැස් වුවහොත් එය ඉන්දීය සැර ඩෙල්ටා ප්‍රභේදයට අත වැනීමකි. එම ප්‍රභේදය සම්ප්‍රේෂණය වීමේ අධික වේගයකින් යුක්ත වීම ඊට හේතුවය.

සංචරණ සීමා ලිහිල් කිරීමෙන් පසුවත් දිගින් දිගටම පවත්වාගෙන ගිය පළාත් අතර සංචරණ සීමා ද ලිහිල් කිරීමට රජය මගින් තීන්දු ගන්නේ මෙවැනි පසුබිමකය. සංචරණ සීමා ලිහිල් කළ ද පළාත් අතර සංචරණ සීමා පවත්වාගෙන යා යුතු බව වෛද්‍ය විශේෂඥයන් පෙන්වා දී තිබිණි. රට සැමදා වසාගෙන සිටීමට හැකියාවක් නොමැති වුව ද ඉන්දීය සැර ඩෙල්ටා ප්‍රභේදය රට ගොදුරු කරගැනීමට තිබෙන ඉඩකඩ පිළිබඳ සිදුකරන එවැනි අනතුරු ඇඟවීම් නොතකා හැරීම ද සිදු නොවිය යුත්තකි. පවතින අවදානම සම්බන්ධයෙන් නිරන්තරයෙන් ජනතාව දැනුම්වත් කිරීම ද මෙහිදී වැදගත් වෙයි. එය බලධාරීන්ගේ අවධානයට යොමු විය යුතුය. සති දහයකින් පසුව සැර ඩෙල්ටා ප්‍රභේදය මගින් වෙළාගත් ජනතාවක් සිටින රටක් බවට ශ්‍රී ලංකාව පත්විය යුතු නැත.

මේ කෙසේ වුව ද කොරෝනා වසංගතය විවිධ විකෘති මවමින් දිගින් දිගටම ව්‍යාප්ත වන්නේ නම් ඒ සඳහා කාලීන විසඳුම් සොයා ගැනීමට තවදුරටත් පමා නොවිය යුතුය. ලොව පුරා බොහෝමයක් සෞඛ්‍ය විශේෂඥයන්ගේත් විද්වතුන්ගේත් අදහස වන්නේ කොරෝනා වසංගතය නිමාවක් දකින දිනය කවදාදැයි කිසිවකුටත් කිව නොහැකි බවය. ඇතැම් විට එය සෙම්ප්‍රතිශ්‍යාව මෙන් පොදු බෝවෙන රෝගයක් වශයෙන් සැමදා ලොව පුරා පවතිනු ඇති බවට පුරෝකථනය කරන පිරිසක් ද වෙති. එය කොතරම් දුරකට සැබෑ විය හැකිදැයි අපි නොදනිමු. එහෙත් කොරෝනා වසංගතයට මුහුණදීමේ දීර්ඝ කාලීන විසඳුම්වලට අපේ රට ද හුරු විය යුතු බවට විවාදයක් නැත.

සිංගප්පූරුව පසුගියදා මේ සම්බන්ධයෙන් ගනු ලැබූ තීරණය ලොවේම අවධානයට ලක්වූවාට සැකයක් නැත. ඔවුන් රට සාමාන්‍යකරණයට පත්කර කොරෝනා යනු සාමාන්‍ය සෙම්ප්‍රතිශ්‍යාවක් වශයෙන් සලකා කටයුතු කිරීමට ජනතාවට ඉඩ සලසා දී තිබේ. රට සාමාන්‍ය තත්ත්වයට හැරෙව්වත් එන්නත්කරණය අඛණ්ඩව සිදු කිරීමත්, ආසාදිතයන් හඳුනා ගැනීමට සහ ඔවුන්ට ප්‍රතිකාර ලබාදීමට සියලු‍ පහසුකම් සැපැයීමත් දිගටම සිදුවනු ඇත. ඒ අනුව රටේ දෛනික ආර්ථික කටයුතු බාධාවකින් තොරව සිදුකරගෙන යාමට සිංගප්පූරුව පියවර ගෙන තිබේ.

එවැනි වැඩපිළිවෙළකට යාමට ලොවේ සෙසු රටවල් නම් තවමත් සූදානම් නැත. වරින් වර විවෘත කෙරුණු, රෝගය හොඳින් පාලනය කරගත් ඕස්ට්‍රේලියාව වැනි ඇතැම් රටවල් පවා යළිත් ලොක්ඩවුන් සීමාවලට අනුගත වී තිබේ. ශීඝ්‍ර ලෙස පැතිරෙන ඩෙල්ටා වයිරසයේ බලපෑම හේතුවෙන් එම රටවල්වලට එකී තීන්දුව ගැනීමට සිදුව ඇතැයි ද වාර්තා විය. මේ නිසා අපේ රට ද එකවරම සියලු‍ම සීමා ලිහිල් කිරීමේදී ඒ සමඟ ඩෙල්ටා ප්‍රභේදයේ ශීඝ්‍ර ව්‍යාප්තිය ද අමතක නොකළ යුතුය. සිංගප්පූරුව වැනි ඉතාම සැලසුම්සහගතව ක්‍රියාත්මක වන ක්‍රමානුකූල විනයගරුක රටකට එතරම් පහසුවෙන් සාමාන්‍යකරණය වීමට හැකි වුව ද ශ්‍රී ලංකාවට එවැනි පියවරක් එකවර ගැනීම පහසු නැත. සිංගප්පූරුවට සාපේක්ෂව අපේ රටේ මරණ සංඛ්‍යාව සහ ආසාදිත සංඛ්‍යාව බෙහෙවින් අධික බව ද අමතක නොකළ යුතුය.

ලෝක සෞඛ්‍ය සංවිධානය පසුගියදා යළිත් වරක් අවධාරණය කර තිබුණේ ශීඝ්‍රයෙන් පැතිරෙන ඩෙල්ටා විකෘතියෙන් ගැලවීමට නම් එන්නත් ලබාගැනීම අත්‍යවශ්‍ය බවය. එසේම මුඛ ආවරණ පැලඳීමත්, සමාජ දුරස්ථභාවය පවත්වා ගැනීමත් අතිශයින්ම වැදගත් බව ද ඔවුන් පෙන්වා දී තිබිණි. කොතරම් අපහසුතා තිබුණත් අප ද තවමත් යා යුත්තේ එම මාර්ගයේම බව අපේ වෛද්‍ය විශේෂඥයන්ගේ අනතුරු ඇඟවීම්වලින් පෙන්වා දෙයි. රට සාමාන්‍යකරණය විය යුත්තේ එම වෛද්‍ය උපදෙස්වලට පටහැනි නොවන ආකාරයට බව යථාර්ථයයි.

(***)



අදහස් (0)

“ඩෙල්ටා” අවදානම නොතකා සිටිනු එපා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 343 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 891 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1298 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site