IMG-LOGO

2025 සැප්තැම්බර් මස 08 වන සඳුදා


ජනතාවට විහිළු සපයන ආණ්ඩුව

 

ඉන්ධන මිල ඉහළ දැමීම ආණ්ඩුව ඇතුළේ අර්බුදයක් බවට හඟවන ලකුණු පහළ වෙමින් තිබේ. ආණ්ඩුව මගින් ගනු ලැබූ තීරණය ප්‍රකාශයට පත්කළ විෂය භාර අමාත්‍ය උදය ගම්මන්පිල මහතා ඉල්ලා අස්විය යුතු බව සඳහන් කරමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම් නීතීඥ සාගර කාරියවසම් මහතා විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයත් එයට ප්‍රතිචාර දක්වමින් ගම්මන්පිල ඇමැතිවරයා විසින් මාධ්‍ය සාකච්ඡාවක් කැඳවා ලබාදුන් පිළිතුරත් හේතුවෙන් මේ තත්ත්වය ඇතිව තිබෙන බව බැලූ බැල්මට පෙනී යයි. ඒ අතරට ජනාධිපති මාධ්‍ය ඒකකය මගින් ද ඉන්ධන මිල වැඩි කිරීමට ගත් තීන්දුව සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කර තිබිණි. ඉන්ධන මිල ගණන් වැඩි කිරීම දේශීය ආර්ථිකය ශක්තිමත් කරන පොදු වැඩපිළිවෙළක එක් ප්‍රධාන සාධකයක් බව එහි සඳහන් විය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යනු මෙරට ආණ්ඩුවේ අයිතිකාර ප්‍රධාන දේශපාලන පක්ෂයයි. ගම්මන්පිල ඇමැතිවරයා ද ඇතුළු සෙසු පක්ෂ නායකයෝ ආණ්ඩුවේ හවුල්කාර දේශපාලන පක්ෂවල නායකයෝ වෙති. ආණ්ඩුව මගින් ගන්නා ලද ප්‍රතිපත්තිමය තීන්දුවක් ආණ්ඩුවට සම්බන්ධ මේ සියලු‍ දේශපාලන පක්ෂවල ද ප්‍රතිපත්තිමය තීන්දුව බවට පත්වෙයි. කැබිනට් මණ්ඩලය තුළ ද මේ සියලු‍ දේශපාලන පක්ෂවල නියෝජනයක් පවතී. ජීවන වියදම් කමිටුවට ජ්‍යෙෂ්ඨ ඇමැතිවරුන් ගණනාවක්ම ඇතුළත් වෙයි. මේ සියලු‍දෙනා විසින් ගන්නා ලද තෙල් මිල නැංවීමේ තීන්දුව ප්‍රකාශයට පත් කිරීමේ වගකීම එක් ඇමැතිවරයකු මතට පවරා තිබුණද එම සාමූහික තීන්දුවේ වගකීම පැවරෙන්නේ සමස්ත ආණ්ඩුව මතටමය. එහිදී ප්‍රකාශක ඇමැතිවරයා තනි පුද්ගලයෙක් පමණි. ඔහුට මාධ්‍ය නිවේදන හරහා පහරදීමෙන් පෙනී යන්නේ ආණ්ඩුවේ සාමූහික බවක් නොමැති බවය. මේ නිසා ඉන්ධන මිල වැඩිකිරීම ප්‍රකාශයට පත්කළ විෂය භාර ඇමැතිවරයා මෙයට ඍජුව වගකිවයුතු බව ප්‍රකාශ කරමින් ඒ පිළිබඳ සම්පූර්ණ වගකීම භාරගෙන ඉල්ලා අස්විය යුතු බවට පාලක පක්ෂය මගින් මාධ්‍ය නිවේදන නිකුත් කිරීම ජනතාවට විහිළු සැපයීමක් මිස වෙන කිසිවක් නොවේ.

උදය ගම්මන්පිල ඇමැතිවරයා ඊට ප්‍රතිචාර වශයෙන් මාධ්‍ය සාකච්ඡාවක් කැඳවමින් ප්‍රකාශ කර තිබුණේ මිල වැඩි කිරීමේ තීන්දුව ගත්තේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මුලසුන ගත් ජීවන වියදම් කමිටුව මගින් බවත් ඒ සඳහා මුදල් ඇමැතිවරයා ලෙස අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ එකඟතාව ලැබී ඇති බවත්ය. සාගර කාරියවසම් මහතා මෙම නිවේදනයෙන් පහර දී ඇත්තේ තමාට නොව ඒ මහතාගේ පක්ෂයෙන් බිහි කළ එකම ජනාධිපති වන ගෝඨාභය රාජපක්ෂ සහ එහි නායක මහින්ද රාජපක්ෂ මහත්වරුන්ට බවද ඔහු සඳහන් කර තිබිණි.

මේ කාරණා සාගර කාරියවසම් මහතා නොදැන සිටියා ද යන්න බරපතළම ගැටලු‍වයි. එය එසේ නම් අපට කිව හැකි වන්නේ ආණ්ඩුව ඇතුළේ සාමූහික තීන්දු ගැනීම සම්බන්ධයෙන් විශාල ගැටලු‍කාරී තත්ත්වයක් පවතින බවය. වම් අත කරන දේ දකුණු අත නොදන්නා තත්ත්වයක් පවතින විට ආණ්ඩුවේ ඒකමතික බව ජනතාවගේ ප්‍රශ්න කිරීමට ලක්වීම වැළැක්විය නොහැක. එසේම රජයකට ගැනීමට සිදුවන අසීරු, ජනප්‍රිය නොවන තීරණවලින් ජනතාවට සිදුවන බලපෑම් අමතක කරවීමට අටවන නාට්‍යමය උගුල් හැටියට මෙවැනි සිදුවීම් ජනගත වීමද වැළැක්විය නොහැකි වනු ඇත. තෙල් මිල වැඩි කිරීම වැනි බරපතළ තීන්දුවක් තනි ඇමැතිවරයකුට ගත නොහැකි බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නොදන්නවා වුණාට මුළු රටම දැන සිටින බැවිනි.

ආණ්ඩුව මගින් ගනු ලබන තීරණ ප්‍රකාශ කිරීම, ආණ්ඩුවෙන් ඉල්ලා අස්විය යුතු වන තරමට බරපතළ වැරැද්දක් නම් ආණ්ඩුවකට මාධ්‍ය ප්‍රකාශකවරුන් කවදාවත් තබාගත නොහැකි වනු ඇත. එසේම ආණ්ඩුවේ වැදගත් තීන්දු තීරණ මාධ්‍ය සාකච්ඡාවකදී ප්‍රකාශ කිරීමට කිසිදු විෂය භාර අමාත්‍යවරයකු ඉදිරිපත් නොවනු ඇත. ආණ්ඩුවේ ප්‍රධාන පක්ෂයේ ලේකම්වරයා මේ යථාර්ථය නොදැන කටයුතු කිරීම අනවශ්‍ය ගැටලු‍වක් නිර්මාණය කර තිබෙන බව මේ අනුව පෙනී යයි. එය අද රටේ දැනටත් පවතින ව්‍යාකූල තත්ත්වය සමනය කිරීමට කිසිම ආකාරයකින් උදව්වක් වන්නේ නැත.

රටේ පවතින තත්ත්වය අනුව දේශපාලනඥයන්ගේ මත ගැටුම් සම්බන්ධයෙන් වද වීමට ජනතාවට කාලයක් නැත. ඔවුන් මත පැටවී තිබෙන පීඩාකාරී ගැටලු‍ හේතුවෙන් මේ සිද්ධිය ඔවුන් දකිනු ඇත්තේ හුදෙක් මාධ්‍ය සංදර්ශනයක් වශයෙන් පමණි. කොරෝනා වසංගතයේ ශීඝ්‍ර ව්‍යාප්තිය, කොරෝනා මරණ, දැඩි සංචරණ සීමා හේතුවෙන් අහිමි වී ගිය ආදායම් මාර්ග, අධික ජීවන බර, රැකියාවල අවිනිශ්චිත බව, ගිනිගත් නැව හේතුවෙන් ඇතිවූ සංකීර්ණ ගැටලු‍, මහවැසි ආපදා ඇතුළු අට අනූවක් දෝෂ භංගකර ගැනීමේ අභියෝගයට ඔවුහු මුහුණ දී සිටිති. ඒ අතරේ ආණ්ඩුව ඇතුළේ මතභේද මහජනතාව හමුවේ ගිනිකෙළි සංදර්ශන බවට පත් කිරීම තරම් ඛේදවාචකයක් තවත් නැත.

තෙල් මිල ඉහළ යාමෙන් පසුව එහි පසුකම්පන පිළිබඳ සංඥා දැන් නිකුත් වෙමින් තිබේ. ගෑස් මිල රුපියල් 700කින් ඉහළ දැමීම, බස්ගාස්තු නැංවීම, පාන් බනිස් මිල ගණන් නැංවීම පිළිබඳ ඉල්ලීම් දැනටම ඉදිරිපත්ව තිබේ. මේ බරපතළ ආර්ථික ගැටලු‍ හමුවේ ආණ්ඩුවේ ඒකාග්‍රතාව පවත්වාගෙන යාමේ වගකීම ඇත්තේ ජනාධිපති සහ අගමැති අත පමණක් නොවේ. ආණ්ඩුවේ ප්‍රධාන සහ හවුල්කාර සියලු‍ දේශපාලන පක්ෂ නායකයන් අත එම වගකීම පැවරී තිබේ. එම වගකීම ඉටුකරනු වෙනුවට ඒවා ගිනිකෙළි බවට පත්කරන්නේ නම් එය නිසැකවම ජනතාවගේ ඉවසීමේ සීමාවන් දැඩිව පරීක්ෂණයට ලක් කිරීමක් බවට පත්වීම වළක්වා ගත නොහැකි වනු ඇත.

(***)



අදහස් (3)

ජනතාවට විහිළු සපයන ආණ්ඩුව

LDK FERNANDO Wednesday, 16 June 2021 02:12 PM

කොහොමත් සේරම විහිලුකාරයෝ තමා

:       0       107

fairoos Wednesday, 16 June 2021 06:59 PM

හැමදාම ලංකාවට වුණේ ඕක තමයි.

:       0       0

rocky Thursday, 17 June 2021 04:21 PM

සංචරණ නීති අස්සේ සතොසක දොරවල් බලෙන් කඩලා අරක්කු බෝතල් 800 කට පිල්ලි ගැහුව එ කේ විහිලුවක් නොවෙයි

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 568 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17377 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 708 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site