අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධව විශාල සාකච්ඡාවක් මේ දිනවල යළිත් මතුවී ඇත. එයට හේතුව වී ඇත්තේ අධ්‍යාපන ඇමැතිතුමිය ආරම්භ කර ඇති නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ මාලාවක් යැයි කියවෙන අදහස් ගණනාවක් සමාජගතවී තිබිමය. මේ අදහස් මාලාව නිශ්චිත කැබිනට් පත්‍රිකාවක් හරහා ඉදිරිපත් වී නැතත් සමාජය පුරා සැරිසරන ‘පවර් ෆොයින්ට් ප්‍රසන්ටේෂන් එකක්’ මේ සාකච්ඡාවල පදනම බවට පත්වී තිබේ.
මෙවර කිවිදා දැක්මෙන් ලියන්නේ මේ කියන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යෝජනා පිළිබඳවය. සැබැවින්ම පළල් අර්ථයෙන් අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල අවශ්‍යතාව පිළිබඳව සාකච්ඡා කිරීම අවශ්‍යය. ඒ නිසා මේ නව යෝජනා මාලාව මත පදනම් වී ඒ පිළිබඳව ලියන්නට අදහස් කරමි.
මෙහිදී පෙනී යන තවත් කාරණයක් තිබේ. ‘පවර් ෆොයින්ට්’ සමාජ ගතවී තිබෙන නමුත් ආණ්ඩුවේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළ කුමක්දැයි ඉදිරිපත් වන පත්‍රිකාවක් තවමත් ඉදිරිපත් වී නැත. මේ සතියේ පාර්ලිමේන්තුවේ මේ පිළිබඳව සිදුවූ සාකච්ඡාවෙන් කියැවුණේ තවමත් එවැනි පත්‍රිකාවක් ඉදිරිපත් වී නැති බවයි. පාර්ලිමේන්තු විවාදයක් පවත්වන්නට යන අතර ඒ සඳහා පදනම් වන්නේත් සමාජයේ සැරිසන ‘presentation එක විය යුතුය.
ප්‍රශ්නය කුමක්ද?
මෙතන මම ප්‍රශ්නය කුමක්දැයි අසන්නේ අධ්‍යාපනයේ දීර්ඝ කාලයක් තිස්සේ පවතින ප්‍රශ්නය කුමක්ද කියා නොවේ. මා මේ අසන්නේ මේ මොහොත් ඇතිවී තිබෙන ප්‍රශ්නය ගැනය. මේ මොහොතේ මේ සංවාදය ඇති වී තිබෙන්නේ ඉතිහාසය විෂය අපොස සා/පෙළ විෂය නිර්දේශයේ අනිවාර්ය විෂය ලැයිස්තුවෙන් ඉවත්වී තෝරා ගන්නා විෂය ලැයිස්තුවට වැටී තිබෙන එකය.
මේ තීරණය පිළිබඳව සමහර පාර්ශ්වවලින් මතු වෙන්නේ බරපතළ විවේචනයක්ය. ඒ අයගේ මතය වී තිබෙන්නේ රටේ අනන්‍යතාව සහ පෞඩත්වය ශිෂ්‍ය මනසින් තුරන් කිරීමේ උත්සාහයයක් ලෙසින් මේ කාරණය සැලකිය හැකි බවයි. මේ අදහසට වඩා වෙනස් තැනකින් උක්ත යෝජනාවට විරුද්ධ වන අයත් සිටින බව පෙනී යයි. ඒ අය කියන්නේ ඉතිහාසය විෂය ඉවත් කිරීම වැනි කාර්යයක් සිදු කළ යුත්තේ රට තුළ සිදු කෙරෙන පළල් සංවාදයකින් පසුව බවයි. ඒ නිසා මේ නව ප්‍රතිසංස්කරණ යෝජනා සංවාදයකට යොමු කිරීම ඉතාමත් අවශ්‍ය බව ඒ අයගේ යෝජනාවය.
මට සිතෙන්නේ මේ මොහොතේ මෙවැනි ප්‍රශ්නයක් මතුවී තිබෙන්නේ ආණ්ඩුව තුළ තිබෙන එක් බරපතළ මුලධාර්මික ප්‍රශ්නයක් නිසා බවයි. ඒ මුලධාර්මික ප්‍රශ්නය වන්නේ වත්මන් ආණ්ඩුව සිතන බව පෙනෙන්නේ ‘මීට පෙර ආණ්ඩු කිසිම ධනාත්මක ප්‍රතිසංස්කරණයක් සිදු කර නැති බවත් මේ සියලු ප්‍රතිසංස්කරණ පටන් ගන්නේ තමන්ගේ ආණ්ඩුව මගින් බවත්’ වැනි කල්පනාවකි. මෙවැනි හැඟීමකින් වැඩ කරන විට පැරණි ප්‍රතිසංස්කරණ යෝජනාවක් වුවත් ඉදිරිපත් කරන්නේ අලුත් එකක් විදිහටය. මේ අවස්ථාවේදීත් සිදු වූයේ එවැනි දෙයක් බව මගේ නිරීක්ෂණය වේ.
මෙවැන්නක් SLIIT ආයතන සම්බන්ධ කෝප් කමිටු සාකච්ඡාව සහ ඒ පිළිබඳව අදාළ ඇමැතිවරයාගේ ඉදිරිපත් කිරීම තුළ පෙන්නුම් කළේය. SLIIT ආයතනය යනු රජයේ වත්කමක් ලෙසින් ගොඩ නැගු ආයතනයක් බවත් එහි පාලනය විසින් බරපතළ අභ්‍යන්තර මෙහෙයුමක් හරහා එම ආයතනය එක් කණ්ඩායමක් අතට පත්වී ඇති බවත් පිටු 500 ක වාර්තාවක් මගින් ඉදිරිපත් කරනු ලැබුවේ 2020- 2022 කාලයේ කෝප් කමිටුව විසින්ය. ඒ වාර්තාව ගැන සිහිපත් නොකරමින් එම වාර්තාවම අතට ගෙන තමන්ගේ සොයා ගැනීමක් මෙන් පෙනී සිටින්නට යන ආකාරයක් ඒ ප්‍රශ්නයේ දී පෙන්නුම් කළේය.
මෙතැනදීත් පෙන්නුම් කරමින් තිබෙන්නේ එවැනි දෙයක් නොවේ දැයි ප්‍රශ්න කළ හැකිය. මා එසේ කියන්නේ මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යෝජනා යනු මීට පෙර ආණ්ඩු කීපයක් පුරා සාකච්ඡා වෙමින් ඉදිරියට පැමිණි එකක් බව අමතක කරන බවක් පෙනී යන නිසාය.
විෂය නිර්දේශ වෙනස් කිරීමේ ඉතිහාසය
මෙවර ඉදිරිපත් වී තිබෙන මේ විෂය නිර්දේශ වෙනස් කිරීමේ ක්‍රියාවලිය ආරම්භ වූයේ මේ ආණ්ඩුව පැමිණීමට හුඟක් කාලයකට පෙර සිටය. මේ ක්‍රියාදාමය මෙරට පැවැති එකම විෂය නිර්දේශ වෙනස් කිරීමේ වැඩසටහන නොවන බව ද මුලින්ම සටහන් කළ යුතුය. නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක් සඳහා ගත් උත්සාහ විශාල ප්‍රමාණයක් ඇති බව පිළිගත යුතු කාරණයක්ය.
මේ ප්‍රතිසංස්කරණ පටන් ගන්නේ 2015 යහපාලන ආණ්ඩුවේ අවසන් කාර්තුවේ සිටය. 2019 වර්ෂයේ මේ නව ප්‍රතිසංස්කරණවල ආරම්භය සිදුවී ඇත. ආසියානු සංවර්ධන බැංකුවේ මූල්‍යකරණය මත මේ වැඩසටහන ගෙන යන්නට අවබෝධතා ගිවිසුම අත්සන් කර ඇත්තේ 2020 වර්ෂයේදීය. ජාතික විෂය මාලා පටිපාටියක් (National Curriculum Framework) සඳහා කණ්ඩායමක් ජාතික අධ්‍යාපන ආයතනයේ (NIE) පිහිටු වන්නේ ඒ අනුව 2019-20 වර්ෂවලදීය. එසේම ඒ සමගම ගුරුවරුන්ගේ ප්‍රමිති පටිපාටියක් (Teachers Standerds Framework) නිර්මාණය කිරීමේ ක්‍රියාවලියක් ආරම්භ වී ඇත.
ඒ අනුව 2021-2022 වර්ෂවල 1 ශ්‍රේණියේ සිට 10 ශ්‍රේණිය දක්වා විෂය මාලා සංවර්ධන කටයුතු නිමා කර ඇති අතර ඒ නව සංශෝධන සඳහා ජාතික අධ්‍යාපන ආයතනයේ පාලක මණ්ඩලයේ අනුමැතිය ලැබී ඇත්තේ 2022 වසරේය. එසේම මේ කාර්යය සඳහා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ගත්තේ 2023 වර්ෂයේ සුසිල් ප්‍රේමජයන්ත මහතා ඇමැතිවරයා කාලයේය.
2025 මේ ආණ්ඩුව පැමිණියාට පසුව මේ වැඩසටහන ගැන පසු විපරමක් සිදු කළ බව කියවෙතත් ඒ හරහා අලුතින් එකතු කළේ මොනවාද? අඩු මොනවාද? යන්න තවම රටට පැහැදිලි නැත.
මට සිතෙන්නේ වත්මන් රජය ඉදිරිපත් කර තිබෙන්නේ අඩු වැඩි වශයෙන් මේ ක්‍රියාදමය තුළ සංවර්ධනය කළ විෂය මාලා ප්‍රතිසංස්කරණ වැඩසටහන විය යුතු බවය. මෙය ආණ්ඩු කීපයක සාමූහික වැඩක් ලෙසින් ඇත්තම කීවා නම් මේ අවුල් සහගත තත්වය උදාවන්නේ නැති බව මගේ අදහසය.
වත්මන් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්තුමන් යම් වැඩක් Go getter ආකාරයෙන් සිදු කළ හැකි දක්ෂ නිලධාරියකු බව මගේ නිරීක්ෂණයය. එතුමන්ගේ උත්සාහයෙන් මේ ප්‍රතිසංස්කරණ සිදු කරන්නට අධ්‍යාපන ඇමැතිවරිය ලෙසින් අගමැතිතුමිය ක්‍රියා කිරීම යහපත්ය. එහෙත් ‘මෙතෙක් කාලයක් (පසුගිය 75 වසරම) කිසිවක් කළේ නැත. යන තර්කයෙන් මේ වැඩේට බැසීම සුදුසු නැති බව මගේ යෝජනාවය.
ඉතිහාසය විෂය ප්‍රශ්නය
අර්බුදය මතුවී තිබෙන්නේ 10 වැනි වසරෙන් පසුව අපොස සා/පෙළ විෂය සඳහා ඉදිරිපත්වී ඇති ‘අනිවාර්ය විෂය ලැයිස්තුවෙන්’ ඉතිහාසය විෂය ඉවත්වී’ තෝරා ගන්නට විකල්ප වූ විෂය ලැයිස්තුවට වැටී තිබීමය.
මේ තත්වයට හේතු විය හැක්කේ මේ විෂය මාලා සංවර්ධන කමිටුව විසින් ඒ ඒ විෂයන්ට බර තබා සිදු කරන ලද සාකච්ඡාවල ප්‍රතිඵලයක් අනුව විය හැකිය. එසේත් නොමැති නම් රටේ ඉතිහාසය යනු වාද හරිත විෂයක් නිසා එය අනිවාර්යය විෂයක් බවට පත් කිරීම නුසුදුසු යැයි කවරකු හෝ සිතුවාදැයි මා දන්නේ නැත. එවැනි අදහසක් (ඉතිහාසය වාද හරින නිසා අනිවාර්යය කළ යුතු විෂයයක් නොවේ යන අදහස) මා දරන්නේ නැත. ආණ්ඩුවේ ප්‍රධානීනුත් එම අදහස දරනවා යැයි මා සිතන්නේ ද නැත.
සමහර විට මේ ප්‍රශ්නයට වෙනත් හේතු තිබෙන්නට ද පුළුවන. විෂය ධාරාවේ ප්‍රමාණය කුඩා කිරීමට අවශ්‍ය වූ බව සමහරුන් කියනු අසා ඇත්තෙමි. ඒ කියන්නේ ගණිතය, ඉංග්‍රීසි, මව්බස, විද්‍යාව, ආගම යන විෂයන් පහට මූලික බර තැබීමක් සිදු කරන විට ඉතිහාසය, සෞඛ්‍යය, සමාජ අධ්‍යයනය වැනි විෂයන් තෝරා ගන්නා ගොඩට වැටී තිබෙන බවය.
කළ යුත්තේ කුමක්ද?
මම හිතන්නේ මේ ප්‍රශ්නය විසඳා ගනිමින් මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සිදු කළ යුතුය. එය සාමූහික ප්‍රයත්නයක අවසාන අදියර ලෙසින් සැලකීම ඉතාමත් වැදගත්ය.
මා යෝජනා කරන්නේ මේ ප්‍රශ්නයෙන් එළියට යාම සඳහා ක්ෂණික විශේෂ මැදිහත්වීමක් විෂම මාලා විශේෂඥයන් සහ මේ විෂය පිළිබඳව අත්දැකීමක් ඇති ප්‍රතිපත්ති සම්පාදකයන්ගෙන් සමන්විත කමිටුවක් හරහා මේ සඳහා අවසාන තීරණය ගත යුතු බවයි.
එම ක්‍රියාදාමය සමග එකට ගමන් කරන පළල් සම්මන්ත්‍රණ මාලාවක් හරහා මෙම විෂය මාලා ප්‍රතිසංස්කරණයයේ අභිලාෂ රටට ඉදිරිපත් කිරීමත් ඉතාමත් වැදගත්ය.
අපේ අධ්‍යාපන ක්‍රමයෙන් එළියට එන තරුණයාට එක්කෝ රජයේ රැකියාවක් ලැබෙනතුරු මග බලා සිටීමට හෝ නොඑසේ නම් එකම විකල්පය ලෙසින් ත්‍රිරෝද රියැදුරකු බවට පත්වන්නට හෝ අප ඉඩදිය යුතු නැත. ඒ සඳහා නිපුණතා සහිත දරුවකු බවට ඔහු පත්කර රටට අවශ්‍ය පුරවැසියකු කළ යුතුය. ඒ සඳහා අධ්‍යාපනයේ විෂය නිර්දේශය/ ගුරු පුහුණුව/ පහසුකම් සැපයීම නිසි පරිදි ප්‍රතිසංස්කරණය කිරීම ඉතාමත් අවශ්‍යය.
(*** මහාචාර්ය චරිත හේරත්)
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කොයිබටද?