( අජන්ත කුමාර අගලකඩ )
රටපුරා රෝහල් හා සෞඛ්‍ය මධ්‍යස්ථානවල වෛද්‍යවරුන් 4,289 දෙනකුගේ හිඟයක් පවතින බව සෞඛ්‍ය අමාත්‍යංශ වාර්තා පෙන්වා දෙයි. රේඛීය අමාත්‍යංශය යටතේ ඇති රෝහල් හා සෞඛ්‍ය මධ්‍යස්ථානවල වෛද්‍යවරුන් 2,249 දෙනකුගේද පළාත් අමාත්‍යංශ යටතේ ඇති රෝහල් හා සෞඛ්‍ය මධ්‍යස්ථානවල වෛද්‍යවරුන් 2,040 ක දෙනකුගේද හිඟයක් පවතින බව එම වාර්තාවල සඳහන් වේ.
වෛද්‍යවරුන්ගේ හිඟය සම්බන්ධයෙන් සවිස්තර වාර්තාවක් සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය විසින් ඉකුත්දා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරනු ලැබීය.
වෛද්‍යවරුන් රජයේ සේවයෙන් විශ්‍රාම ගන්නා වයස අවුරුදු 61 දක්වා දීර්ඝ කිරීමට කැබිනට් මණ්ඩලය ඉකුත්දා තීරණය කළේ ද එම වාර්තාව සැළකිල්ලට ගනිමිනි..
රේඛීය අමාත්‍යංශය යටතේ පාලනය වන රෝහල් හා සෞඛ්‍ය ආයතනවල අනුමත වෛද්‍ය නිලධාරීන්ගේ ගණන 13,768 ක් වුවද ඒවායේ දැනට සිටින්නේ වෛද්‍යවරුන් 11,510 දෙනකු බවද එම වාර්තාවෙන් පෙන්වා දී ඇත.
මේ අතර, පළාත් අමාත්‍යංශ යටතේ පාලනය වන රෝහල් හා සෞඛ්‍ය ආයතනවල අනුමත වෛද්‍ය නිලධාරීන්ගේ ගණන 8,651 ක් වුවද ඒවායේ සිටින්නේ වෛද්‍යවරුන් 6,611 දෙනකු බවද එම වාර්තාවේ සදහන් වේ.
බස්නාහිර පළාතේ වෛද්‍යවරුන් 108 දෙනකුගේද, මධ්‍යම පළාතේ වෛද්‍යවරුන් 259 දෙනකුගේද, දකුණු පළාතේ වෛද්‍යවරුන් 389 දෙනකුගේද, උතුරු පළාතේ වෛද්‍යවරුන් 291 දෙනකුගේද, නැගෙනහිර පළාතේ වෛද්‍යවරුන් 282 දෙනකුගේද, වයඹ පළාතේ වෛද්‍යවරුන් 235 දෙනකුගේද, උතුරු මැද පළාතේ වෛද්‍යවරුන් 107 දෙනකුගේද, ඌව පළාතේ වෛද්‍යවරුන් 166 දෙනකුගේද, සබරගමු පළාතේ වෛද්‍යවරුන් 203 දෙනකුගේද හිඟයක් පවතින බව සෞඛ්‍ය අමාත්‍යංශ වාර්තා පෙන්වා දෙයි.
ඉදිරි වසර 5 තුළ වෛද්‍ය පීඨවලින් බිහිකෙරෙන වෛද්‍යවරුන්ගේ ගණන රටේ අවශ්‍යතාවට ප්‍රමාණවත් නොවනු ඇතැයිද, වසරකට වෛද්‍යවරු 1500ක් පමණ සෞඛ්‍ය සේවයට එක්වුවද විශ්‍රාමයාම, වෛද්‍ය පරිපාලනයට පිවිසීම, විදෙස්ගතවීම් ආදිය සලකනවිට ඉතිරිවන පිරිස ඉන් 800ක් පමණ වනු ඇතැයිද එම වාර්තා පෙන්වා දෙයි.
ගුණාත්මක වෛද්‍ය සේවයක් පවත්වාගෙන යාම සඳහා ඉදිරි වසර 5 තුළ අවම වශයෙන් වෛද්‍යවරුන් 7000 ක් පමණ සෞඛ්‍ය ක්‍ෂේත්‍රයට අලුතින් එක්විය යුතු බවද සෞඛ්‍ය අමාත්‍යංශය සිය වාර්තාවෙන් පෙන්වා දී ඇත.
COMMENTS
රාජිත ඇමති කාලේ සයිටම් එකත් එක්ක කරපු විකාර වල ප්‍රතිඵල තමයි. සීමාවාසිකව ඉන්න දොස්තරලා ඉක්මණින් යොමු කරන්න.. එතකොට ප්‍රශ්නය විසඳේවි..
හිඟයකට වඩා ඇත්තේ අසමතුලිත ව්‍යාප්තියකි.
බොරදියේ මාලු බෑමක්...
පහුගිය කාලේ පෞද්ගලික වෛද්‍ය පීඨහරහා වෛද්‍යවරු බිහිවෙයි කියලා බියෙන් සලිත වුණු වෛද්‍යවරු ගැන සෞඛ්‍ය අමාත්‍යාංශය දන්නවද දන්නේ නැහැ. මේ වෙද්දී, ලංකාවේ දොස්තරලගේ පිටරටවල වෛද්‍ය විද්‍යාව හදාරන ළමයි වෛද්‍ය උපාධිය ගන්න කාලේ හරි වගෙයි... උසස් පෙළ සුදුසුකම් නොමැතිව පිටරටවල වෛද්‍ය විද්‍යාව හදාරා මෙරටට පැමිණෙන කිසිවෙක් මෙරට වෛද්‍ය වෘත්තියට බඳවා නොගත යුතුයි.
වෛද්‍ය සංගමය මේ තත්වයට සම්පූර්ණයෙන්ම වගකිව යුතුයි. හැම රජයක්ම මේ හිඟයට පිළියමක් විදියට පුද්ගලික වෛද්‍ය විද්‍යාල ගෙනාවා. වෛද්‍ය සංගමයේ කුහකයින් තමන්ගේ සාක්කුවට තට්ටු වෙන නිසා හැමදාම මේකට අකුල් හෙලුවා. ලංකාවේ දක්ෂ ළමයි බංගලිදේශයේ, නේපාලයේ ගවමඩු වගේ වෛද්‍ය විද්‍යාලවලට ගියා... ලංකාවේ අවස්ථා නැති නිසා.
GOMA එකේ අය ඔය තත්වෙට බොහොම කැමතියි. රටේ වෛද්‍යවරු ගාන වැඩිකරගන්න කිසිම ක්‍රමවේදයකට GOMA එකේ එවුන් කැමති වෙන්නේ නැහැ.
එහෙනම් කරන්න තියෙන්නෙ ජීව විද්‍යා විෂයය ධාරාවෙන් උසස් පෙල සමත් වෙලා වෛද්‍ය පීඨවලට ඇතුලත් වෙන්න බැරුව ඩෙන්ටල් වෙට් සහ සයන්ස් ෆැකල්ටි යන දරුවන්ට යන්න තව වෛද්‍යපීඨ කීපයක් හදන එකයි. නැතුව සල්ලි තියන අසමත් දරුවන්ට යන්න සයිටම් වගේ ජාවාරම් අටවන එක නෙවෙයි.
මහජනයාගේ මුදල්වලින් ඉගෙනගෙන රටට සේවයක් නොකර රට හැර යති. මේක වරද නිකන් දෙන එක...
වෛද්‍යවරුන් හිඟනිසා මිනිස්සු මැරෙන රටේ උසස් පෙළ සමතුන්ට පමණක් වෛද්‍යවරුන් වීමට ඉඩදීම විහිලුවකි. අධ්‍යාපනය ලැබීමට සියලුදෙනා හට ඇති අයිතිය සුරකිමු.
රටේ දැනට ඉන්න වෛද්‍යවරුන්ට අවශ්‍ය මෙන්න මේ තත්ත්වය පවත්වාගෙන යන්න. ඒක තද කුහක ආකල්පයක්. ඒ නිසයි කිසිම පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයක් පවත්වන්න නොදෙන්නේ.... උසස් පෙළින් වැඩිපුර ළමයි වෛද්‍ය විද්‍යාලවලට ගැනීමත්, තත්ත්වයෙන් උසස් පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ඇරීමත් කළ යුතුයි.
එ්ත් වෛද්‍ය කවුන්සිලය විභාග ප්‍රමාද කරමින් අලුත් දොස්තරලා ගන්න ඉඩදෙන්නේ නැත්තේ කියන එක තමයි බලන්න ඕනෑ. ගොඩක් අය රට ඉඳන් ඇවිත් බලාගෙන ඉන්නවා සේවයට යන්න. එ්ත් ඉඩක් නැහැ විභාග නැතිනිසා...
අර බයලොජික් උගන්වන සෑර් කියන විදිහට නම්, බටහිර වෛද්‍ය විද්‍යාව වෙනුවට, දේශීය වෛද්‍යවරුයි බිහිකළ යුත්තේ... සුද්දොත් අපෙන්ලුනේ ඔය වෙදකම ඉගෙනගෙන තියනවා කියන්නේ. ඒවගේම පශු වෛද්‍යවරුන්ගේ නම් ලොකු හිඟයක් තියනවා.