IMG-LOGO

2025 සැප්තැම්බර් මස 10 වන බදාදා


කබීර් ‘තක්බීර්’ කළ වැරදි ආරංචිය

පොදු අපේක්ෂක යෝජනාව ඉදිරියෙහි විවිධ යෝජනා හා තර්ක විතර්ක පැමිණියද පොදු අපේක්ෂක යෝජනාව අවසානයේදී සම්මත විය. මෙහිදී තවත් ප්‍රශ්නයක් බවට පත්වූයේ යම් ආකාරයකින් එ.ජා.ප. කෘත්‍යාධිකාරී මණ්ඩලයේ ඡන්දයකදී එහි යම් පිරිසක් පොදු අපේක්ෂකයාට එරෙහිව ඡන්දය භාවිතා කිරීම තුළ පෙරළා එමගින් එ.ජා.ප. කෘත්‍යාධිකාරී මණ්ඩලයේ ඒකමතික කැමැත්ත නොමැති පොදු අපේක්ෂකයකු මහින්ද රාජපක්ෂ පරදන්නේ කෙසේද යන තර්කය ආණ්ඩුව දෙසින් ඉදිරිපත් කළ හැකි බවය. 


තවද, පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පොදු අපේක්ෂකයකුට මෙලෙස පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩල අනුමැතිය ලබාගත්තද එහිදී පොදු අපේක්ෂකයා කවුරුන්ද යන වග ප්‍රකාශයට පත්කළේ නැත. එහෙත් අරලියගහ මැදුර හැර රටේ බහුතර දෙනා ඊළඟ පැය කිහිපය තුළ ප්‍රකාශයට පත්වන පොදු අපේක්ෂකයා කවුරුන්ද යන වග ඉවෙන් මෙන් දැන සිටියහ. 


සාර්ථක ලෙස තම කෘත්‍යාධිකාරි මණ්ඩලය හසුරුවා ගත් රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉන් අනතුරුව පාර්ලිමේන්තුවට පැමිණියේය. පාර්ලිමේන්තු සභා ගැබ තුළ දී රාජිත සේනාරත්න ඇමැතිතුමාට ධනාත්මක ඉඟියක් පළකළ රනිල් වික්‍රමසිංහ මහතා සභා ගැබෙන් පිටව ගියේය. ඊට අනුකූලතාව පළ කළ රාජිත සේනාරත්න ඇමැතිතුමා මෛත්‍රී ඇමැතිතුමා හට එය සන්නිවේදනය කරමින් ඔහුත් සමග එකවර සභා ගැබෙන් පිටවිය. ඒ අනුව වම් පස ලොබියත් දකුණු පස ලොබියත් එක් වන තැනදී මෙම පිරිස එකිනෙකා මුණ ගැසුණු අතර ඉතා කෙටි අදහස් හුවමාරුවකින් අනතුරුව රාජිත හා මෛත්‍රී ඇමැතිතුමා එකම මෝටර් රථයේ නැගී ටොරිංටන් හි චන්ද්‍රිකා මැතිනියගේ නිවසට ගියහ. ශ්‍රී ලංකාවේ දේශපාලන ඉතිහාසයේ දැවැන්තම දේශපාලන අභියෝගය බාරගැනීමෙන් අනතුරුව පළමුව තම නිවසට පැමිණි මෛත්‍රී ඇමැතිතුමා වෙත චන්ද්‍රිකා මැතිනිය උණුසුම් පිළිගැනීමක් පිරිනැමුවේ එකිනෙකා වැලඳ ගැනීමෙනි. එම දසුන එහි සිටි සියලු දෙනාගේ නෙතඟට සතුට පිරි කඳුලක් නැංවූ ඓතිහාසික මොහොතකි. 


ඉන් අනතුරුව, “මෛත්‍රී ඔයා හිත එකඟ කර ගෙන මාධ්‍ය සාකච්ඡාවේදී කථා කරන්නේ මොනවාද කියලා හිතන්න” යැයි කියමින් එතුමියගේ නිවසේ උඩු මහලට කැඳවාගෙන ගොස් එතුමියගේ කාමරයේ ලියන මේසය පෙන්නුවාය. ඒ අනුව මෛත්‍රී ඇමැතිතුමා විනාඩි 20ක් පමණ තනිව එහි සිට තම අත් අකුරෙන්ම කථා කළ යුතු දේ පිළිබඳ කටුසටහනක් පිළියෙල කර ගත්තේය. දිසානායක මහතා එතුමාට අවශ්‍ය ලිපිද්‍රව්‍ය ආදිය සැපයුවේය. මේ වන විට එ.ජා.ප. මන්ත්‍රීවරුන්ගෙන් හා ශ්‍රී.ල.නි.ප.යෙන් පැමිණි මැති ඇමැතිවරුන් ඇතුළු විශාල පිරිසකගෙන් චන්ද්‍රිකා මැතිනියගේ නිවස පිරී ගොස් තිබිණ. 


මේ අතර 21 වැනිදා පෙරවරු 10 පමණ වන විට කබීර් හා චතුර කොළඹ මහ නගර සභා මන්ත්‍රී කිත්සිරි රාජපක්ෂ හා පළාත් සභා මන්ත්‍රී මුජිබර් රහුමාන් හට කථා කොට හදිසි අවශ්‍යතාවක් ඇතිවුවහොත් යම් පමණකට ආරක්ෂාව සලසා ගැනීමේ අරමුණෙන් යුතුව හිතවත් කණ්ඩායම් නව නගර ශාලාවට ගෙන්වා ඔවුන් එහි ස්ථානගත කර ගත්තේය. ඒ සමගම පෙරවරු 11 පමණ වන විට සියලුම මාධ්‍ය ආයතනවල මාධ්‍යකරුවන් එහි එන්නට විය. නගර ශාලාව වෙන් කරගෙන තිබෙන්නේ නාට්‍යයක පුහුණු වීම් කටයුතු සඳහාය. නමුත් සියලු ආයතනවල මාධ්‍යකරුවන් ලැබුණු තොරතුරකට අනුව ඒ වෙත ඇදෙයි. මේ අනුව නව නගර ශාලාව බාර නිලධාරීන් මේ පිළිබඳව කබීර්ගෙන් විමසන්නට විය. ඒ අනුව එම මාධ්‍යකරුවන්ගෙන් ඔහුට දැනගන්නට ලැබුණේ මංගල සමරවීර මහතා මෙම ස්ථානයට පැමිණෙන ලෙස සිය මාධ්‍ය ආයතන වලට දැනුම් දී ඇති බවකි. එහෙත් ඒ කිසිවකු එහි අරමුණ දැන සිටියේ නැත. 


ඊට පෙර දින රාත්‍රිය පුරා නව නගර ශාලාව තුළ සිට මෛත්‍රී පාලනයක් පසුතලය නිර්මාණය කිරීම චතුර සේනාරත්නට භාර වී තිබුණි. 
ඒ අනුව අතිශය රහසිගතව මෙම කටයුත්ත සිදු කළ යුතු නිසාම ඔහු ඒ සියලු කටයුතු එම රාත්‍රියේ තමාගේ විශ්වාසවන්ත හිතවතුන් මගින් පමණක් ඉටුකර ගත්තේය. මෛත්‍රී පාලනයක් යන තේමා පාඨය චතුරගේ යෝජනාවකි. මෙම පසුතලය රාමු කිරීම ඇතුළු සියලු කටයුතු ඔහුගේ හිතවත් තරුණ මිතුරන් පිරිසක් විසින් නව නගර ශාලා පරිශ්‍රය තුළම සිට සිදුකළේය. තවද පසු දින එහි පැමිණෙන පිරිසට එය දැක ගත හැකි නොවන පරිදි එම පසුතලය විවිධ පාටැති රෙදි තීරු ගණනාවකින්ම ආවරණය කළේ කිසිවකුටත් සැක නොසිතෙන ආකාරයෙනි. 


මේ අතර හම්බන්තොට නගරාධිපති එරාජ් ප්‍රනාන්දු ඇතුළු පිරිසක් නව නගරශාලාව ආසන්නයට පැමිණියේය. නමුත් කබීර් හා චතුර ඇතුළු පිරිස නගරශාලාව තුළ සිටින බව දැනගත් එරාජ් ගැටුමකට නොගොස් පිටතට වී බලා සිටියේය. යම් පුද්ගලයකුට හෝ කණ්ඩායමකට භෞතිකව ප්‍රහාරයක් එල්ල කළ යුතු නම් එරාජ් ප්‍රනාන්දු කැඳවයි. එරාජ්ට අමතරව එම පිරිසට සහයෝගය දැක්වීම පිණිස කිරිබත්ගොඩ    අමල්ගේ   කණ්ඩායමක්ද දහවල් එහි පැමිණියේය. මේ වන විට සිරස සජීවී විකාශන කණ්ඩායමද නව නගර ශාලාව තුළය. 


කෙසේ වෙතත් එරාජ් හා අමල් සමග කබීර් කථාකරමින් සිටින විට දී එරාජ් කබීර්ට කියා සිටියේ මෙතැනට මොන පොදු අපේක්ෂකය එන්න ද තවත් ටික වේලාවකින් සවස 2.00 ට මෛත්‍රීපාල සිරිසේන අරලියගහ මැදුරේදී අගමැති වශයෙන් දිවුරුම් දීමට නියමිත බවයි. කබීර්ගේ සර්වාංගයම සීතල වී ගියේය. ඔහු මහ පාරට පැමිණ ත්‍රීවීල් රථයකට නැග චන්ද්‍රිකා මැතිනියගේ නිවසට හැකි ඉක්මනින්ම ගියේය. ඔහු එහි යන විට මෛත්‍රී ඇමැතිතුමා එම නිවස තුළ සිටිනු කබීර්ට දැක ගත හැකි විය. මේ අතර තවත් විටක චතුර සමග එරාජ් පවසා සිටියේ අපේ ලොක්කට පුළුවන් ජනාධිපතිවරණය අවලංගු කරන්න. ලොක්කගෙම ඕනකමට ප්‍රකාශයට පත් කළ ජනාධිපතිවරණය ජනාධිපතිටම අවශ්‍ය නම් අවලංගු කිරීමට බලය ඇතැයි ඔහු තවදුරටත් කියා සිටියේය. 


චන්ද්‍රිකා මැතිනියගේ නිවසේදී දිවා ආහාරය ගැනීමෙන් පසු මෛත්‍රී ඇමැතිතුමා, රාජිත ඇමැතිතුමා සමග එකම මෝටර් රථයක නැගී නව නගර ශාලාවට පැමිණියේය. ඒ වන විට වේලාව ප.ව. 3.10 පමණ විය. ඉන් විනාඩි 5කට පසුව චන්ද්‍රිකා මැතිනිය ද එම ස්ථානයට පැමිණි අතර ප.ව. 3.20 ට නව නගර ශාලාවේ සූදානම් කර තිබු මාධ්‍ය සාකච්ඡාව ඇරමුණි. 


සමහර විට ශ්‍රී ලංකා ඉතිහාසයේ යම් සමකාලීන දේශපාලන සිදුවීමක් සම්බන්ධයෙන් වැඩිම මාධ්‍යවේදීන් පිරිසක් සහභාගී වූ මාධ්‍ය හමුවද එය වන්නට ඇත. තවද සමස්ත රටම එම මාධ්‍ය හමුව සජීවීව විකාශනය කළ සිරස රූපවාහිනී නාළිකාව වටා ඒකාත්මික විය. නව නගර ශාලාව තුළ රැස්ව සිටි මාධ්‍යවේදීන්ගේ අතිශය වූ කුතුහලය මතින් පළමුව ශාලාවට මෛත්‍රී ඇමැතිතුමා පැමිණි අතර ඉන් අනතුරුව පිළිවෙළින් රාජිත සේනාරත්න, රජීව විජේසිංහ, චන්ද්‍රිකා මැතිනිය, අර්ජුන රණතුංග, වසන්ත සේනානායක, දුමින්ද දිසානායක හා එම්. කේ. ඒ. ඩී. එස්. ගුණවර්ධන පැමිණියහ. තවද මේ වන විට නව නගර ශාලා භූමිය තුළ මහ හඬින් රතිඤ්ඤා පුපුරා යමින් තිබුණ මොහොතකි එය. 


ධම්මපදයේ එන “අප්පමාදෝ අමතපදං” යන වැකියෙන් ඇරඹෙන ගාථාවත් “නහී වේරාන වේරානි” ගාථාවත් කියා සිය කථාව ඇරඹූ මෛත්‍රී ඇමැතිතුමාට එය ඉතා භාවාතිශය මොහොතක් බව පෙනී ගියේ සිය කථාවේදී. එතුමාගේ නෙතඟට අවස්ථා දෙකක දී පමණ කඳුළු පැමිණීමත් සමගය. විශේෂයෙන්ම දුම්කොළ හා මධ්‍යසාර පනත හා ඖෂධ පනත සම්මත කර ගැනීමට ආශ්‍රිතව විඳි කටුක අත්දැකීම් විස්තර කිරීමට යාමේදී එතුමාගේ දෑස් කඳුළින් තෙත් වූවා සේය. කෙසේ වෙතත් යුද්ධය අවසන් කිරීමට මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා ලබාදුන් දේශපාලන නායකත්වයට ස්තූතිය ප්‍රකාශ කිරීමට ද එහිදී මෛත්‍රී ඇමැතිතුමා අමතක නොකළේය. තමාට පොදු අපේක්ෂකත්වය ලබාදීමට ගත් සාමූහික ප්‍රයත්නයේ දී ඊට රනිල් වික්‍රමසිංහ මහතා හා එ.ජා.ප.ය. දැක් වූ සහයෝගයට හා කැපකිරීමට විශේෂ ස්තූතියක් පළ කළ අතර තමා ජනාධිපතිවරයා වූ පසු රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ධුරයට පත් කරන බවට ප්‍රතිඥා දුනි. 
මෛත්‍රී ඇමැතිතුමා සිය කථාවේදී මෙසේ කීය.


“රටේ සමස්ත සමාජ ආර්ථික ක්‍රියාවලියම එක් පවුලක් අතට පත්ව තිබෙනවා. බලය අතිමහත් ලෙස දූෂිත ආකාරයෙන් පරිහරණය කරමින් රටම විනාශ කරනවා.” තවදුරටත් කථා කළ එතුමා “මම ජනාධිපති වී දින 100ක් ඇතුළත විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරනවා. මම යළිත් රට තුළ නීතියේ ආධිපත්‍යය ස්ථාපිත කරනවා. ඒ සමගම 17 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය යළිත් බලාත්මක කර පොලිස්, මැතිවරණ රාජ්‍ය සේවා, අධිකරණ සේවා කොමිසම ස්ථාපනය කරනවා.” තවද 18 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මහා වරදක් බවත් එය වහාම අහෝසි කරන බවත් මෛත්‍රී ඇමැතිතුමා තවදුරටත් පැවසීය. එතුමාගෙන් පසුව චන්ද්‍රිකා මැතිනියත්, රාජිත ඇමැතිතුමාත් එම මාධ්‍ය හමුව ඇමතූහ. 


නොවැම්බර් 21 වැනිදා පස්වරුවේ පොදු අපේක්ෂකයා ලෙස මෛත්‍රී ඇමැතිතුමා ආණ්ඩුවෙන් ඉවත්ව පැමිණීමත් සමගම රටපුරා නගරවල රතිඤ්ඤා පුපුරුවා හැරීය. එම ශබ්දය එ.ජ.නි.ස. පාක්ෂිකයන් තුළ අනාගතය පිළිබඳ යම් බියක්, තිගැස්මක් ඇති කිරීමට සමත් වූවා යැයි කීම අතිශයෝකිතියක් නොවේ. මීට එජාප ක්‍රීයාකාරීන් මූලික වූ අතර එය ඔවුන් අවසන් වරට මැතිවරණයක් ජය ගෙන රතිඤ්ඤා පත්තු කළ 2001 දෙසැම්බර් 5 වැනිදා පැවති මහ මැතිවරණයට හා ඉන් ඉක්බිතිව 2002 පෙබරවාරියේ පැවති පළාත් පාලන මැතිවරණය එ.ජා.ප.ය. ජයග්‍රහණය කිරීමෙන් පසුව රතිඤ්ඤා පත්තු කරන ලද පළමු අවස්ථාවයි. සැබවින්ම එදින පොදු අපේක්ෂකයා ලෙස එ.ජා.ප. නායක රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශයට පත් වී නම් එලෙස එ.ජා.ප. ක්‍රියාකාරීන් රතිඤ්ඤා පත්තු කරන්නේ ද නැත. 
පොදු අපේක්ෂකයකු සොයා ගිය කථිකාවේදී කලක පටන් චන්ද්‍රිකා මැතිනිය රනිල් වික්‍රමසිංහ මහතා හා සම්බන්ධන් ඇතුළු පිරිස සමග ගෙන ගිය කතා බහ තුළද මෛත්‍රී ඇමැතිතුමාගේ නම විටින් විට ඒ ආකාරයෙන් ඉදිරියට පැමිණෙද්දී ඊට පරිබාහිරව නමුත්, මෙම පොදු අපේක්ෂක සමාජ කථිකාවේ ක්‍රියාශීලී කාර්යභාරයක් ඉටු කළ වෙනත් පුද්ගලයන් රහසිගතව, අන් කිසිවෙකුට නොහැඟෙන පරිදි තනි තනිව පැමිණ මෛත්‍රී ඇමැතිතුමා මුණ ගැසුණි. ඒ සෑම අයෙකුගේම අදහස වුයේ ශ්‍රී.ල.නි.පයෙන් ඉවත්වීම නමැති බැරෑරුම් තීන්දුව එතුමාට ගත හැකි නම් එවිට රට සොයන පරමාදර්ශීම පොදු අපේක්ෂකයා මෛත්‍රී ඇමැතිතුමා බවයි.

 

 

 

 

 

 

 

 

 

 

 

 


සකස් කළේ : 
ප්‍රසන්න සංජීව තෙන්නකෝන්



අදහස් (1)

කබීර් ‘තක්බීර්’ කළ වැරදි ආරංචිය

sam Friday, 10 November 2017 09:00 AM

බොහෝ රාජ්‍ය නායකයින් තමන්ගේ සමීපතම පිරිවර/උපදේශකයින්ගෙන් අවවාද අනුශාසනා ලබා ගත්තා උනත් ඒවායේ සත්‍යතාවය , එහෙම නැතිනම් ප්‍රායෝගිකභාවය තේරුම් ගන්න තරම් මොලයක් තියනවා . එහෙම නැති උදවියත් ඉන්නා බව 2015 දී ලාංකිකයන් තම ඡන්දයෙන් ඔප්පු කර පෙන්වූවා .

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 623 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17602 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 725 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site