ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනයක් වන ෆිච් රේටින්ග්ස් ආයතනයේ මෙරට ප්‍රධානියා ලෙස චරණ ජයසූරිය මහතා පත් කරගත් බව ෆිච් රේටින්ග්ස් ලංකා ලිමිටඩ් (ෆිච් ලංකා) ආයතනය පවසයි. පසුගිය 30 වැනිදා සිට බලාත්මක වන පරිදි මෙම නව පත් කිරීම කර තිබේ. ඒ අනුව චරණ මහතා ශ්‍රී ලංකාව තුළ ෆිච් ආයතනයේ ජාතික මෙන්ම ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීමේ මෙහෙයුම්හි වගකීම මෙන්ම කළමනාකරණය භාරව කටයුතු කරනු ඇති බවත් පවසයි.
වසර 16 ක කාලයක් ෆිච් රේටින්ග්ස් ලංකා ලිමිටඩ් ආයතනයේ මෙරට ප්‍රධානියා ලෙස කටයුතු කළ මනින්ද වික්‍රමසිංහ මහතා පසුගිය ජනවාරියේදී විශ්‍රාම යෑමත් සමගින් හිස් වූ ධුරය සඳහා මෙම පත් කිරීම සිදු කර තිබේ. 
ශ්‍රී ලංකාවේ මෙන්ම එක්සත් රාජධානියේද ප්‍රාග්ධන වෙළෙඳපොළ පිළිබඳ වසර 25 ක පමණ අත්දැකීම් සහිත චරණ ජයසූරිය මහතා, සතුව ණය ශ්‍රේණිගත කිරීම්, ප්‍රාග්ධන වෙළෙඳපොළ, වත්කම් කළමනාකරණය, ණය වෙළෙඳපොළ, නියාමනය සහ පාලනය යන අංශ තුළ කටයුතු කර ඇතැයි සඳහන් වෙයි. එසේම ඒ මහතා ඉනොවෙස්ට් ඉන්වෙස්ට්මන්ට්ස් (පෞද්) සමාගම, ලංකා රේටින්ග් ඒජන්සි ලිමිටඩ් සහ නැෂනල් ඇසෙට් මැනේජ්මන්ට් ලිමිටඩ් යන ආයතනවල ප්‍රධාන විධායක නිලධාරියා ලෙසින්ද කටයුතු කර තිබේ.