හේලීස් වෙත අලුතින් අලෙවි කර ඇත්තේ කොටස් 1,080 ක් පමණයි 


භානුක අමරසිංහ 


කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත හරිස්චන්ද්‍ර මිල්ස් පීඑල්සී සමාගමේ ඉතිරි සාමාන්‍ය ඡන්ද හිමි කොටස් 1,140,654ක් මිලදී ගැනීම සඳහා හේලීස් පීඑල්සී සමූහය ඉදිරිපත් කළ අනිවාර්යය මිලදී ගැනීමේ යෝජනාව වෙත අඩු උනන්දුවක් හිමිව ඇතැයි වාර්තා වෙයි. 

ඒ අනුව මෙම අනිවාර්යය කොටස් මිලදී ගැනීමේ යෝජනාව සම්බන්ධයෙන් දීර්ඝ කෙරුණු කාල සීමාවද පසුගිය දෙසැම්බර් 30 වැනිදා අවසන් වූ අතර, එම දිනය වනවිටත් හරිස්චන්ද්‍ර මිල්ස් පීඑල්සී සමාගමේ කොටස් හිමිකරුවන් විසින් හේලීස් සමාගම වෙත අලෙවි කර තිබුණේ කොටස් 1,080 ක් එනම් සමස්ත කොටස් ප්‍රතිශතයෙන් සියයට 0.06ක් පමණක් බව පැවසෙයි. 

අදාළ සමාගම් දෙකම මේ වනවිට ඒ සම්බන්ධයෙන් කොටස් හුවමාරුව වෙත දැනුම් දී තිබේ. මෙම අනිවාර්යය කොටස් මිලදී ගැනීමේ යෝජනාව ඉදිරිපත් කළ අවස්ථාව වනවිට හේලීස් සමාගම සතුව තිබූ හරිස්චන්ද්‍ර මිල්ස් පීඑල්සී කොටස් සංඛ්‍යාව 778,946 කි. එය සමස්ත කොටස් ප්‍රමාණයෙන් සියයට 40.58ක ප්‍රතිශතයක් විය. 

ඒ අනුව මෙම යෝජනාව අවසන් වූ දෙසැම්බර් 30 වනවිට හේලීස් සතු හරිස්චන්ද්‍ර කොටස් සංඛ්‍යාව 780,026ක් එනම් සියයට 40.64ක් පමණකි. 

මෙම යෝජනාවට අනුව හේලීස් සමූහය විසින් හරිස්චන්ද්‍ර සමාගමෙහි එක් කොටසක් සඳහා රුපියල් 3,300ක මුදලක් යෝජනා කර ඇතත්, එහි අවසන් ගනුදෙනු මිල රුපියල් 5090ක් ලෙස සටහන් වීම උනන්දුව අඩුවීමට හේතුව ලෙස සැලකෙයි.