
වැඩි ප්‍රමාණයක් ඉන්ධන සහ ගෑස් ප්‍රවාහන නෞකා
නෞකාවලින් සියයට 38ක් බොරතෙල් වන අතර සියයට 29 ක් එල්.පී. ගෑස්
සියයට 13ක් රසායන-පොහොර
විමුක්ති එස් රුද්‍රිගු
ඇමෙරිකා - ඊශ්‍රායල, ඉරාන යුද්ධය හේතුවෙන් හෝමුස් සමුද්‍ර සන්ධියට බටහිරින් නෞකා 3200 පමණ සිරවී තිබෙන බවත් ඉන් වැඩි ප්‍රමාණයක් ඉන්ධන සහ ගෑස් ප්‍රවාහන නෞකා බවත් ජාත්‍යන්තර සමුද්‍රීය සංවිධානය නිකුත් කළ නවතම වාර්තාවක දැක්වේ.
එම නෞකාවල නාවිකයන් 20,000 ක් පමණ සිටින බවත් ඉන් ඉරාන යුද්ධය හේතුවෙන් ගෝලීය සැපයුම්දාමයට එල්ල වී ඇති බලපෑමේ බරපතළකම පෙනී යන බවත් එහි සඳහන් වේ. මැද පෙරදිග වර්ධනය වෙමින් පවතින යුදමය තත්වය හේතුවෙන් ගෝලීය සැපයුම්දාමයට එල්ල වී ඇති බලපෑම පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා අද (18) සහ හෙට (19) ලන්ඩන් නුවරදී පැවැත්වෙන ජාත්‍යන්තර සමුද්‍රීය සංවිධානයේ විශේෂ රැස්වීම වෙනුවෙන් එම සංවිධානය මෙම දත්ත ප්‍රසිද්ධ කළේය.
ඉරාන යුද්ධය හේතුවෙන් බොහෝ නෞකාවලට හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා ආරක්ෂිතව යාත්‍රා කිරීමට නොහැකි වී ඇති බවත් ඒ හේතුවෙන් එම සමුද්‍ර සන්ධියට බටහිරින් නෞකා දහස් ගණනක් නැංගුරම්ලා තිබෙන බවත් එම සංවිධානය පැවැසුවේය. එම නෞකා සියල්ල හෝමුස් සමුද්‍ර සන්ධියෙන් ආරක්ෂිතව ගමන් කිරීමට අවස්ථාව ලැබෙන තෙක් බලා සිටින බවද ජාත්‍යන්තර සමුද්‍රීය සංවිධානය ප්‍රකාශ කළේය.
හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා යාත්‍රා කිරීමේදී මිසයිල, ඩ්‍රෝන හෝ මරාගෙන මැරෙන බෝට්ටු ප්‍රහාරයක් එල්ල වීමේ අවදානම එම නෞකාවල මෙහෙයුම් බාර රටවල් සහ සමාගම් ඇස්තමේන්තු කරමින් සිටින බැවින් එලෙස එම නෞකා හෝමුස් සමුද්‍ර සන්ධියට බටහිරින් නැංගුරම්ලා තිබෙන බවද ජාත්‍යන්තර සමුද්‍රීය සංවිධානය පැවැසුවේය. අද (18) පැවැත්වෙන රැස්වීමේදී උද්ගතව ඇති තත්වය අධ්‍යනය කර ඊට ගත හැකි ක්‍රියාමාර්ග පිළිබඳව සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බව ජාත්‍යන්තර සමුද්‍රීය සංවිධානය ප්‍රකාශ කළේය.
හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා දිනකට බොරතෙල් බැරල් මිලියන 20 ක් ප්‍රවාහනය වන අතර එය ලෝක බොරතෙල් පරිභෝජනයෙන් සියයට 20 කි. එසේම ද්‍රව වායුද අපනයනය වන්නේ හෝමුස් සමුද්‍ර සන්ධිය හරහාය.
හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා යාත්‍රා කරන නෞකාවලින් සියයට 38ක් බොරතෙල් වන අතර සියයට 29 ක් එල්.පී. ගෑස් වේ. තවත් සියයට 19 ක් පිරිපහදු ඉන්ධන වන අතර සියයට 19ක් එල්.එන්.ජී. වේ. සියයට 13ක් රසායන සහ පොහොර වන අතර සියයට 2.8ක් බහාලුම් වේ. ගෝලීය සැපයුමට බාධා එල්ල වීම හේතුවෙන් ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හෝමුස් සමුද්‍ර සන්ධිය නැවතත් විවෘත කර යාත්‍රා කරන නෞකා සඳහා ආරක්ෂාව සැපයීමට එකතු වන ලෙස නේටෝ සංවිධානයට සහ තවත් රටවල් කීපයකට ආරාධනා කළ අතර ඊයේ (17) වනවිට බොහෝ රටවල් එම ආරාධනාව ප්‍රතික්ෂේප කර තිබිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd