හම්බන්තොට ජාත්‍යන්තර වරාය සමූහය (HIPG) නව බහාලු‍ම් හැසිරවීමේ උපාංග සඳහා චීනයේ shanghai Zhenhua Heavy Industries Co. Ltd (ZPMC)  සමගින් එක්සත් ජනපද ඩොලර් මිලියන 108ක ආයෝජන එකඟතාවකට පිවිසි බව පවසයි. 
ඊට අදාළ ගිවිසුම් අත්සන් තැබීම HIPG හි ප්‍රධාන විධායක නිලධාරී විල්සන් ක්යු සහ ZPMC අලෙවි සහ අලෙවිකරණ කළමනාකරණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ මයිකල් වෑන්ග් යන මහත්වරුන් අතර පසුගියදා කොළඹදී සිදුව තිබේ.
මෙම ආයෝජනය යටතේ වරායේ බහාලු‍ම් පර්යන්තයේ ජැටියේ රේල් පිළිමත සවි කළ quay දොඹකර 6ක්, රබර් රෝද සහිත ගැන්ට්‍රි දොඹකර (RTGs) 16ක් සහ ට්‍රේලර් 40ක් එක් වීමට නියමිතව තිබේ. හම්බන්තොට වරායේ බහාලු‍ම් පර්යන්ත සංවර්ධනයේ අදියර II යටතේ ක්‍රියාත්මක මූලික පියවර ලෙස මෙම උපාංග ඊට එක් කෙරේ.
මෙලෙස එකතු කෙරෙන නව quay දොඹකර මීටර් 72ක තිරස් දුරක් සහිත වන අතර, මීටර් 55 ක ඉහළ එසැවීමේ හැකියාවක් සහ ටොන් 65ක ධාරිතාවක් එසැවීමේ හැකියාව පවතී. මෙම දොඹකර මගින් හම්බන්තොට ජාත්‍යන්තර වරාය වෙත ලොව විශාලතම බහාලු‍ම් නෞකා හැසිරවීමේ හැකියාව ලැබෙන බවත්, RTGs මගින් වරායේ කාර්යක්ෂමතාව සහ පාරිසරික තිරසාරතාවක් සහිත මෙහෙයුම් වෙත සහාය දක්වනු ඇති බවත් පවසයි.  
මේ හරහා හම්බන්තොට වරාය මගින් වාර්ෂිකව සිදු කරන බහාලු‍ම් හැසිරවීමේ ධාරිතාව අඩි 20ක් දිග බහාලු‍ම් (TEU) මිලියන 2ක් දක්වා වර්ධනය කරගැනීම අපේක්ෂාව බව හම්බන්තොට වරාය පවසයි. එසේම ඉන්දියානු සාගරය තුළ නැගී එන සැපයුම් සේවා මධ්‍යස්ථානයක් ලෙස ශ්‍රී ලංකාවේ තත්ත්ව තවදුරටත් බලගැන්වීමටද මේ හරහා හැකියාව ලැබෙන බවත් සඳහන් කරයි.
හම්බන්තොට ජාත්‍යන්තර වරාය 2025 වසරේදී බහාලු‍ම් (TEUs) 428,036ක් හැසිරවීමට සමත් වූ අතර, එය 2024 වසරේදී හැසිරවූ 53,169 හා සැසඳීමේදී කැපී පෙනෙන වර්ධනයකි. එසේම 2025 වසරේදී භාණ්ඩ ටොන් මිලියන 8.24 ක් හැසිරවීමට සමත් වූ අතර, එය 2024 වසරට සාපේක්ෂව ටොන් මිලියන 3ක ඉහළ යාමකි. එසේම RoRo මෙහෙයුම්ද 2024 සිදුකළ 579,362 ක සිට 2025 දී 726,153ක් දක්වා ඉහළ නංවා ගැනීමට සමත්ව තිබේ.