වාර්ෂික RoRo හැසිරවීම් ලක්ෂ 10ක් දක්වා ඉහළ නැංවීම අපේක්ෂාවයි 


2025 දී වරාය හරහා මෝටර් රථ හැසිරවීම් 726,153ක් සිදු කරලා 


හම්බන්තොට ජාත්‍යන්තර වරාය මගින් සිදු කරන RoRo (Roll-on/Roll-off) ධාරිතාව ඉහළ නැංවීම සඳහා අක්කර හයක භූමියකින් යුත් නව අංගනයක් එකතු කළ බව එහි බලධාරීහු පවසති. වරායේ RoRo අංගන පුළුල් කිරීමේ වැඩසටහනෙහි තවත් අදියරක් ලෙස මෙම එක් කිරීම සිදු කර තිබේ. 
මෙය වරාය මගින් දිගුකාලීනව සිදු කරන මෝටර් රථ ප්‍රතිනැව්ගත කිරීමේ කටයුතු සම්බන්ධයෙන් ගත් කැපී පෙනෙන පියවරක් ලෙස ද සඳහන් කරයි. ඒ අනුව මෙම අලු‍ත් අංගනයත් සමගින් වරාය සතු වාහන ගාල් කර තැබීමේ ධාරිතාව ඒකක 4,500ක් දක්වා ඉහළ ගොස් තිබේ. ඒ හරහා වරායේ මෙහෙයුම් කාර්යක්ෂමතාව තවදුරටත් වර්ධනය කර ගැනීමටත් අවස්ථාවක් හිමිව තිබෙන බවත් හම්බන්තොට වරාය සඳහන් කරයි. 
මේ අතර 2025 වසරේදී පමණක් එම වරාය මගින් මෝටර් රථ 726,153ක් හසුරුවා ඇති අතර, මෙමගින් වරාය හරහා ආසියාව, මැදපෙරදිග සහ අප්‍රිකාව පුරා සිදු කරන මෝටර් රථ ප්‍රතිනැව්ගත කිරීමේ කටයුත්තේ තිරසාර වර්ධනයක් මින් පිළිබිඹු වන බවත් පවසයි. 
එසේම ඉදිරි සංවර්ධන පියවර ද සමගින් සිය වාර්ෂික RoRo හැසිරවීමේ ධාරිතාව වාහන ලක්ෂ 10ක් දක්වා ඉහළ නංවා ගැනීමත් අරමුණ බව හම්බන්තොට වරාය පවසා සිටියි.