
- ටොන් මිලියන 8.24ක බඩු තොග ප්‍රමාණයක් හසුරුවලා
- RORO ඒකක 726,153 ක් හසුරුවලා
පසුගිය වසර තුළ සුවිශේෂී ජයග්‍රහණයක් වාර්තා කරමින්, හම්බන්තොට ජාත්‍යන්තර වරාය (HIP) සිය පූර්ණ වාර්ෂික භාණ්ඩ ප්‍රවාහන පරිමාව සියයට 175කින් ඉහළ නංවා ඇත. මෙම සාධනය වරාය අත්පත් කර ගෙන ඇත්තේ ගෝලීය වරාය කර්මාන්තය දැඩි අභියෝගකාරී තත්වයන්ට මුහුණ දෙමින් සිටි වසරකදීය.
2025 වසර තුළ ටොන් මිලියන 8.24ක බඩු තොග ප්‍රමාණයක් වරාය විසින් හැසිරවූ අතර, 2024 වසරේ හැසිරවූ ටොන් මිලියන 3.0ට සාපේක්ෂව බැලූ විට ප්‍රමාණවත් ඉහළ යාමකි. ගෝලීය වෙළෙඳ ප්‍රවාහයේ අස්ථිරතාව, වරාය තදබද පීඩන, සැපයුම්දාම වෙනස් වීම්, මෙන්ම නිරතුරුව ඉහළ යමින් පවතින මෙහෙයුම් පිරිවැය මධ්‍යයේ වුවද තියුණු වර්ධනයක් ලබා ඇති HIP බහාලුම්, RORO සහ තොග භාණ්ඩ අංශ මෙම මෙම සාර්ථකත්වයට ප්‍රධාන හේතුව විය.
වැඩිම ප්‍රතිලාභ ගෙන ආවේ බහාලුම් ප්‍රවාහනය වන අතර, 2025 දී ඉහළ ගිය පරිමාව සම්මත අඩි 20 බහාලුම් (TEU) 428,036ක් විය. 2024 දී වරාය විසින් වාර්තා කළ පරිමාව TEU 53,170කි. එමෙන්ම වරාය විසින් හැසිරවූ බහාලුම් බඩුතොග ප්‍රමාණය මෙට්‍රික් ටොන් 657,504 සිට ටොන් මිලියන 5.43 දක්වා වැඩි විය. එක් වසරක් තුළ ලබා ඇති මෙම ශීඝ්‍ර වර්ධනය, සැලකිය යුතු බහාලුම් දොරටුවක් ලෙස HIP සථානගත වීමේ නිශ්චිත සලකුණකි.
2026 වසර අවසන් වන විට නිම කිරීමට සැලසුම් කර ඇති දෙවැනි අදියරෙන් වරායේ වාර්ෂික බහාලුම් හැසිරවීමේ ධාරිතාව ආසන්න වශයෙන් TEU මිලියන 2 දක්වා වැඩි කිරීමට වරාය බලාපොරොත්තු වෙයි.
ගෝලීය මෝටර් රථ වෙළෙඳපොළ මන්දගාමී වී තිබියද, RORO මෙහෙයුම් ශක්තිමත් වර්ධනයක් පෙන්නුම් කළේය. 2024 වසරේ හැසිරවූ ඒකක 579,362ට සාපේක්ෂව 2025 දී RORO ඒකක 726,153 ක් හසුරුවා ඇති අතර, RORO භාණ්ඩ මෙට්‍රික් ටොන් ප්‍රමාණය 965,783 දක්වා වැඩි කරමින්, වාර්ෂිකව සියයට 25ක ස්ථීර ඉහළ යෑමක් වාර්තා කිරීමට වරාය සමත් විය.
HIP සිය තොග සහ බ්‍රේක් බල්ක් තොග භාණ්ඩ ප්‍රවාහන පරිමාව තවදුරටත් ශක්තිමත් කර, ටොන් මිලියන 1.18 ක් දක්වා ඉහළ යමින්, වාර්ෂිකව සියයට 32 ක වැඩි වීමක් වාර්තා කළේය. ගෝලීය බලශක්ති වෙළෙඳපොළ තත්වයන්ට අනුව, වරායේ තෙල් සහ ගෑස් පරිමාව ටොන් 661,131 ක ස්ථාවරයක් පෙන්නුම් කළේය.
“2025 වසරේදී වරායක් ලෙස ක්‍රියාත්මක වීම පහසු කාර්යයක් වූයේ නැහැ,” යි හම්බන්තොට ජාත්‍යන්තර වරාය සමූහයේ (HIPG) ප්‍රධාන විධායක නිලධාරී විල්සන් ක්ව් මහතා පැවසීය.
COMMENTS