දිට්වා සුළි කුණාටුව ලංකාවට බලපෑ පසුව ඉන් විපතට පත් ජනතාව සහ දේපළ මුදාගැනීම සඳහා පොලිස් නිලධාරීන්ගෙන් ඉටු වූයේ අමිල මෙහෙවරකි. එහෙත් ඔවුන් අතරින් බොහෝ දෙනකුගේ පවුල්ද මෙම ව්‍යසනයෙන් පීඩාවට පත්වූහ. බොහෝ දෙනකුගේ අවධානයට යොමු නොවූ මෙම ගැටලු‍ව කෙරෙහි අවධානය යොමු කරමින්, විපතට පත් පොලිස් නිලධාරීන්ගේ දරුවන්ට සහන සැලසීමේ දීපව්‍යාප්ත වැඩසටහනක් ‘PRIME සෙනෙහසේ දෑත’ නමින් දියත් කිරීමට PRIME සමූහ ව්‍යාපාරය පියවර ගත්තේය. එම වැඩසටහන යටතේ අදාළ දරුවන්ට බාධාවකින් තොරව සිය අධ්‍යාපන කටයුතු කරගෙන යෑම සඳහා අත්‍යවශ්‍ය පාසල් උපකරණ පරිත්‍යාග කරන ලදී. 

මෙය එම දරුවන්ට නැවතත් ගෞරවාන්විත ලෙස සහ ආත්ම විශ්වාසයෙන් යුතුව තම අධ්‍යාපන කටයුතු ආරම්භ කිරීම සඳහා ලැබුණු මහඟු‍ අත්වැලක් ලෙස හැඳින්විය හැකි වේ. දිවයින පුරා දරුවන් 1,000කට PRIME සෙනෙහසේ දෑත’ හිමි වූ අතර, ඒ සඳහා PRIME සමූහය විසින් සිදුකරන ලද ආයෝජනය රු. මිලියන 10 කට අධිකය.

කොළඹ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය පවත්වන ලද විශේෂ උත්සවයකදී මෙම පාසල් උපකරණ භාරදෙන ලදී. මෙම අවස්ථාවට මහජන ආරක්ෂක සහ පාර්ලි‌‌මේන්තු කටයුතු අමාත්‍යවරයා, මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, පොලිස්පතිවරයා, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන්, පොලිස් පවුල් සුබසාධන සංගමයේ සහ පොලිස් සේවා වනිතා ඒකකයේ නියෝජිතයන් සහ පොලිස් නිලධාරීන් ඇතුළු විශාල පිරිසක් එක්වූහ. PRIME සමූහය නියෝජනය කරමින් එහි සභාපතිවරයා, සම සභාපතිනිය, ප්‍රධාන විධායක නිලධාරී සහ ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වයේ සාමාජික සාමාජිකාවන් ඇතුළු පිරිසක් ඊට සහභාගී වූහ. 

“මේ දුෂ්කර අවස්ථාවේදී පොලිස් නිලධාරීන් විසින් රට වෙනුවෙන් ඉටුකරන ලද මෙහෙවරට කෘතගුණ සැලකීමක් වශයෙන් මේ ආකාරයට ඔවුන්ගේ දරුවන්ට සහ පවුල්වලට අත්වැලක් වීමට හැකි වීම අපට මහත් සතුටක්. සුළි කුණාටුව හේතුවෙන් තමන්ට මුහුණ දීමට සිදු වූ අහිමි වීම් හා දුෂ්කරතා පවා නොතකා මේ පොලිස් නිලධාරීන් රටට සේවය කිරීමට කැප වුණා. මෙවැනි බරපතළ අභියෝගකාරී අවස්ථාවක පවා රටේ ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් ඔවුන් ඉටු කළ මෙහෙවරට අපගේ හද පත්ලෙන්ම නැගෙන ගෞරවය ඔවුන් වෙත හිමි විය යුතුයි.” PRIME සමූහ ව්‍යාපාරයේ සම සභාපතිනිය වන සඳමිණි පෙරේරා මහත්මිය පැවසුවාය.