• රජයේ සේවකයන්ට ‘අග්‍රහාර‘ ප්‍රතිලාභ තවදුරටත් ශක්තිමත් කෙරේ

මහනුවර සුවසෙවන රෝහල, 1985 අගෝස්තු 1 දින ආරම්භ කරන ලද වසර 40කට අධික කාලයක් පුරා සෞඛ්‍ය සේවා ක්ෂේත්‍රයේ විශිෂ්ටත්වයට පත්, මධ්‍යම පළාතේ විශ්වසනීයතම සෞඛ්‍ය සේවා සැපයුම්කරුවකු ලෙසින් ජාතික රක්ෂණ භාර අරමුදල (NITF) සමඟ පවතින අවබෝධතා ගිවිසුම තවත් වසර තුනක කාලසීමාවක් සඳහා දීර්ඝ කිරීමට පියවර ගෙන ඇත.

මෙම නව ගිවිසුමට අත්සන් තැබීම 2026 ජනවාරි මස 06 වන දින දෙපාර්ශවයේම ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් නිල වශයෙන් සිදු කරන ලදී. රාජ්‍ය අංශයේ සේවකයන් සඳහා වැඩිදියුණු කළ වෛද්‍ය ප්‍රතිලාභ සහ සුවිශේෂී වට්ටම් ලබා දීම හරහා ඔවුන්ට විශේෂිත සෞඛ්‍ය සේවා වඩාත් සහනදායී ලෙස ලබා ගැනීමට අවස්ථාව සැලසීමට මෙහිදී අපේක්ෂා කරයි.

මෙම අවස්ථාව සඳහා සුවසෙවන රෝහල නියෝජනය කරමින් ව්‍යාපාර සංවර්ධන ප්‍රධානී ශ්‍රීමත් වැලිවිට, ව්‍යාපාර මෙහෙයුම් ප්‍රධානී නිලූ වේරගම ව්‍යාපාර සංවර්ධන විධායක අශාන් ප්‍රේමචන්ද්‍ර යන මහත්ම මහත්මීහු සහභාගී වූහ. ජාතික රක්ෂණ භාර අරමුදල යටතේ පවතින අග්‍රහාර රක්ෂණය නියෝජනය කරමින් වැඩබලන ප්‍රධාන විධායක නිලධාරිනී ගමානි ලියනාරච්චි, සහකාර සාමාන්‍යාධිකාරී (මෙහෙයුම්) සමිල් තුෂාර, සහකාර කළමනාකාර (අලෙවි) නුවන් දිසානායක මාණ්ඩලික ලේකම් හා සහකාර කළමනාකාර (නීති) ප්‍රතිභා වැලිකන්න යන මහත්ම මහත්මීහු සහභාගී වූහ. 

මෙම නව අවබෝධතා ගිවිසුම යටතේ අග්‍රහාර රක්ෂණාවරණය හිමි රජයේ සේවකයන්ට සුවසෙවන රෝහලෙන් ප්‍රතිලාභ රැසක් පිරිනමනු ලැබේ. ඒ යටතේ රෝහලට ඇතුළත් වීමේ ගාස්තු සහ බාහිර රෝගී අංශයේ (OPD) වෛද්‍ය උපදේශන ගාස්තු සම්පූර්ණයෙන්ම නොමිලේ ලබා දීමටත්, නේවාසික කාමර ගාස්තු සඳහා සියයට 20 ක වට්ටමක් ලබා දීමටත් කටයුතු යොදා ඇත. තවද, නේවාසික සහ බාහිර රෝගීන් සඳහා රසායනාගාර පරීක්ෂණ, CT, USS, MRI, Mammogram, Dexa Scan සහ X-Ray ඇතුළු විකිරණ පරීක්ෂණ මෙන්ම ECHO සහ ECG ඇතුළු හෘද රෝග පරීක්ෂණ සඳහා සියයට 10 ක වට්ටමක් පිරිනැමේ. මීට අමතරව, කිලෝමීටර 10 ක් දක්වා ගිලන් රථ සේවාව නොමිලේ සපයනු ලබන අතර, කිරීටක ධමනිය ආශ්‍රිත සැත්කම් සඳහා (CABG) සඳහා රුපියල් 50,000 ක විශේෂ මූල්‍ය සහනයක් ද මෙම ගිවිසුම මඟින් රජයේ සේවකයන් වෙත ලබා දී ඇත.