ශ්‍රී ලංකාවේ දකුණු පළාත තුළ තම පියසටහන ශක්තිමත් කර ගනිමින්, අම්බලන්තොට ප්‍රදේශයේ සමාගමටම අයත් ඉඩමක පරිසර හිතකාමී ශාඛා ගොඩනැගිල්ලක් විවෘත කළ පළමු රක්ෂණ සමාගම බවට පත් වන්නට ජීවිත රක්ෂණ ක්ෂේත්‍රයේ වෙළෙඳපොළ ප්‍රමුඛයා වන සෙලින්කෝ ලයිෆ් සමාගම සමත් වී ඇත.
අංක 207G”  තංගල්ල පාර, අම්බලන්තොට යන ස්ථානයේ පිහිටි මෙම නව දෙමහල් ගොඩනැගිල්ල, සෙලින්කෝ ලයිෆ් සමාගමට අයත් 35 වන ශාඛා ගොඩනැගිල්ල වේ. පරිසරයට ඇතිවන අහිතකර බලපෑම අවම කරගනිමින් පාරිභෝගික සුවපහසුවට ප්‍රමුඛස්ථානය ලබා දීම සඳහා නිර්මාණය කර ඇති මෙම නව ශාඛාව, තිරසාර යටිතල පහසුකම් සංවර්ධනය වෙනුවෙන් සෙලින්කෝ ලයිෆ් දක්වන දිගුකාලීන කැපවීම පිළිබිඹු කරන බව සමාගම පවසයි.
නවීන පහසුකම් සහිත මෙම ශාඛා පරිශ්‍රය වර්ග අඩි 3,200 ක් වන අතර වාහන 10 ක් පමණ නවත්වා තැබිය හැකි ලෙස ප්‍රමාණවත් ඉඩ පහසුකම් සහිතව මාස 11ක කාලයක් තුළදී ඉදිකිරීම් නිම කරන ලදී. ජාතික ඉංජිනේරු පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානය විසින් හඳුන්වා දුන් ‘ප්‍රීකාස්ට්’ කොන්ක්‍රීට් තාක්ෂණය භාවිතයෙන් මෙම ගොඩනැගිල්ල ඉදිකර ඇති අතර, එමගින් සාම්ප්‍රදායික ඉදිකිරීම් ක්‍රමවලට වඩා සැලකිය යුතු වාසි ලබා දෙයි. එනම් සියයට 10 සිට 15 දක්වා වූ පිරිවැය ඉතිරියක්, සියයට 20 කින් අඩු ඉදිකිරීම් කාලයක්, ඉහළ තාප අවස්ථාවකදී වුව ද සුවපහසුව ලබා දීම මෙන්ම දිගු කාලීන නඩත්තු වියදම් ද අඩු කර දෙයි.   
සෙලින්කෝ ලයිෆ්හි හරිත ගොඩනැගිලි සංකල්පයට අනුකූලව නිර්මාණය කර ඇති අම්බලන්තොට ශාඛාව ජාතික විදුලි බල පද්ධතියෙන් බැහැර වූ ස්වාධීන 15 kW  සූර්ය විදුලිබල පද්ධතියකින් බලගැන්වේ. එමගින් විදුලි බිල ශුන්‍ය වන අතරම ඩීසල් විදුලි ජනන යන්ත්‍රවල අවශ්‍යතාව ද ඉවත් කරයි. තවද මෙම ගොඩනැගිලි පරිශ්‍රය තුළ වැසි ජලය රැස් කිරීමේ පද්ධතියක්, වැසිකිළි සේදීම හා ගෙවතු වගාව සඳහා පිරිපහදු කළ ජලය සපයන මල අපවහන පිරිපහදු පද්ධතියක් ද සමගින් නළ ජලය භාවිත කිරීම අවම කිරීම සහතික කර ඇත. 
බලශක්ති කාර්යක්‍ෂම ආලෝකකරණ හා වායු සමීකරණ පද්ධති, ස්වභාවික ආලෝකය උපරිම ලෙස භාවිත කිරීම සහ ස්වාභාවික වාතාශ්‍රය උපරිම වශයෙන් ලැබීමට සැලැස්වීමෙන් බලශක්ති කාර්යක්ෂමතාව තවදුරටත් වැඩි දියුණු කර ඇත. ඉදිකිරීම් සඳහා දැව භාවිතය අවම කරමින් පරිශ්‍රයේ පවතින ගස් සියල්ල සංරක්ෂණය කර ඇති අතර ගොඩනැගිල්ල වටා ඇති ස්වාභාවික පරිසරය සංවර්ධනය කිරීම සඳහා අමතරව ගස් සිටුවා ඇත. 
පාරිසරික ලක්ෂණ වලට අමතරව, නව අම්බලන්තොට ශාඛාව හරහා අවධාරණය කෙරෙන්නේ අරමුණු කේන්ද්‍රීය හා සමගමට පූර්ණ අයිතිය හිමි ගොඩනැගිලි සහිත ශාඛා වෙත ආයෝජනය කිරීමේ සෙලින්කෝ ලයිෆ් හි උපාය මාර්ගය යි. උණුසුම් පිළිගැනීමක් දැනෙන, සුවපහසු හා තිරසාර පරිසරයක් ඇති කිරීම මගින් උසස් මට්ටමේ පාරිභෝගික අත්දැකීමක් ලබා දෙන අතර ම, මෙම හරිත ශාඛා ජාලය හරහා දිවයින පුරා ප්‍රධාන ප්‍රාදේශීය මධ්‍යස්ථානවල සමාගමේ පැවැත්ම ද ශක්තිමත් කරයි.
සෙලින්කෝ ලයිෆ් සමාගම ඔප්පුහිමියන්ගේ ජීවිත සහ ඔවුන්ගේ අරමුණු වලට ඇති අවදානම අවම කරන සහ ආරක්ෂාව ලබා දෙන නව්‍ය රක්ෂණ විසඳුම් සම්පාදනය කරමින් අඛණ්ඩව වසර 21 ක් පුරා ශ්‍රී ලංකාවේ ජීවිත රක්ෂණ ක්ෂේත්‍රයේ වෙළෙඳපොළ ප්‍රමුඛයා බවට පත්ව සිටියි.