වසර 22 ක් පුරා අඛණ්ඩව ශ්‍රී ලංකාවේ ජීවිත රක්ෂණ වෙළෙඳපොළ ප්‍රමුඛයා බවට පත් සෙලින්කෝ ලයිෆ්, පසුගිය දා කොළඹ සිනමන් ලයිෆ් හි දී පැවති, 2026 වාර්ෂික සම්මාන උළෙලේ දී ඉහළම කාර්යසාධනයක් පෙන්නුම් කළ තම අලෙවි බලකායේ සුවිශේෂී ජයග්‍රහණ සමරන ලදී.

සමාගමේ ඉහළම ඉලක්ක ළඟා කරගත් 300 කට අධික පිරිසක් සහභාගී වූ මෙම උත්සවයේදී, High Flyer ‘Sales Supers Star’ මෙන්ම කීර්තිමත් මිලියන් ඩොලර් වට මේසය (MDRT) සඳහා සුදුසුකම් ලබාගෙන සමාගමේ විශිෂ්ටයන් ඇගයීමට ලක් කෙරිණි. සමස්තයක් ලෙස, සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය සහ ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වය ඇතුළුව 450 කට අධික පිරිසකගේ සහභාගීත්වයෙන් පැවති මෙම උත්සවයේ දී සම්මාන 370 ක් පමණ ප්‍රදානය කරන ලදී.

(Unstoppable Champions)තේමාව යටතේ පැවැති මෙම සම්මාන උළෙල, සෙලින්කෝ ලයිෆ් හි අලෙවි බලකායේ දිරිය, උද්‍යෝගය හා නිරන්තර විශිෂ්ටත්වය හඳුනා ගනිමින්, සමාගමේ අඛණ්ඩ වෙළෙඳපොළ නායකත්වයට දායක වන ප්‍රධාන නියමුවන් ලෙස සම්මානලාභීන් ඇගයීමට ලක් කෙරිණි. 

මෙම උත්සවයේ ප්‍රධාන අමුත්තා ලෙස සහභාගී වූයේ මියුනික් රේ හි Life and Health අංශයේ කළමනාකාර අධ්‍යක්ෂ (දකුණු ආසියාව සහ අග්නිදිග ආසියාව) ශ්‍රී නිවාස රාඕ මහතාය. තවද සංඛ දිනෙත්, ශෂිකා නිසංසලා, නාඩ්‍රෝ සංගීත කණ්ඩායම සහ ප්‍රශින්තිනී ආදී කලාකරුවන් හා මුද්‍රිකා නර්තන කණ්ඩායමේ සහභාගීත්වයෙන් එම උත්සවය විනෝදාස්වාදයෙන් පිරි උත්කර්ෂවත් සන්ධ්‍යාවක් විය. 

High Flyers සහ MDRT සාමාජිකයන් ලෙස අඛණ්ඩව සුදුසුකම් ලැබීමේ විශිෂ්ටත්වය අගයමින් ආර්.පී. එදිරිසිංහ මහතා හා එස්. එස්. එච්. එම්. ටී. ලක්සිරි මහතා වෙත ටොයෝටා ඇක්සියෝ මෝටර් රථ දෙකක් ප්‍රදානය කිරීම එම සන්ධ්‍යාවේ සිදු වූ එක් සුවිශේෂී අවස්ථාවක් විය. සම්මාන උළෙලේ ඉහළම සම්මාන දිනාගත්තේ හොඳම ශාඛා ප්‍රධානියා ලෙස ඒ. එස්.එල්. ප්‍රනාන්දු මහතා, හොඳම ඒකක ප්‍රධානී ලෙස එච්. ඩී. පතිරණ මහතා, හොඳම ජීවිත රක්ෂණ උපදේශක ලෙස ඒ. අයි. පී. මංජුල මහතා සහ හොඳම කලාපීය අලෙවි කළමනාකාරිණිය ලෙස ජේ. මීරා මහත්මිය යන අයයි.

මෙම සැමරුම සෙලින්කෝ ලයිෆ් සමාගමේ තවත් සාර්ථක පියවරක් පිළිබිඹු කළ අවස්ථාවක් විය. සමාගම රුපියල් බිලියන 44.2 ක දළ ලිඛිත වාරික ආදායමක් සමගින් 2025 වසර අවසන් කළ අතර එහි මුළු ඒකාබද්ධ ආදායම රුපියල් බිලියන 72.43 ක් විය.

එම වසර තුළ ඔප්පු හිමියන්ට ශුද්ධ හිමිකම් සහ ප්‍රතිලාභ වශයෙන් වාර්තාගත ලෙස රුපියල් බිලියන 31 ක් ලබා දුන් අතර ජීවිත අරමුදල රුපියල් බිලියන 201.8 ක් දක්වා වර්ධනය විය. මුළු වත්කම් රුපියල් බිලියන 287 ක් වූ අතර ආයෝජන කළඹ 2025 දෙසැම්බර් 31 වන විට රුපියල් බිලියන 253.4 දක්වා වැඩි විය.