සිලෝන් තියටර්ස් සමාගම, සිය නවතම රීගල් සිනමා සංකීර්ණය ඉකුත්දා පොළොන්නරුවේදී විවෘත කළේය. ප්‍රධාන නගරවලින් බැහැරව වෙසෙන ප්‍රේක්ෂකයන්ට ද නවීන සිනමා අත්දැකීමක් ලබාදීමේ අරමුණින් ඉදිකළ මෙම සිනමා ශාලාව, පොළොන්නරුව රෝහල හන්දියේ, අංක 13 දරන ස්ථානයේ පිහිටි The Crown Mall  හි පිහිටා ඇත. 
මෙම නව සිනමා ශාලාවත් සමග සිලෝන් තියටර්ස් මේ වන විට දිවයින පුරා ස්ථාන 8ක ක්‍රියාත්මක වන අතර, තිර 4කින් යුත් කොළඹ මැජෙස්ටික් සිනමා, තිර 3කින් යුත් යාපනය රීගල්, තිර 3කින් යුත් දෙමටගොඩ රීගල්, තිර 3කින් යුත් කටුබැද්ද රීගල්, තිර 2කින් යුත් ගම්පහ රීගල්, තිර 2කින් යුත් නුවරඑළිය රීගල් සහ තිර 2කින් යුත් බණ්ඩාරවෙල රීගල් එම ජාලයට ඇතුළත් වේ. මේ අතරට පොළොන්නරුව රීගල් සිනමා ශාලාව එක්වීම, මෙරට ප්‍රමුඛතම සිනමා මෙහෙයුම්කරුවකු ලෙස සිලෝන් තියටර්ස් සතු කීර්ති නාමය තවදුරටත් තහවුරු කිරීමකි.
ප්‍රේක්ෂකයන්ට සුවපහසු සහ නවීන අත්දැකීමක් ලබාදීම සඳහා පොළොන්නරුව රීගල් සිනමා ශාලාව තිර දෙකකින් සමන්විතව නිර්මාණය කර ඇති අතර, එහි පළමු තිරය සඳහා ආසන 177කින් ද, දෙවැනි තිරය සඳහා ආසන 91කින් ද සමන්විත වේ. ජාත්‍යන්තර සහ දේශීය සිනමා නිර්මාණ ඉහළ ගුණාත්මකභාවයකින් යුතුව රසවිඳීමට හැකිවන පරිදි මෙහි 3D පහසුකම් සහිත Digital 2K ප්‍රක්ෂේපණ පද්ධති ස්ථාපනය කර ඇත. එමෙන්ම, Dolby 7’1 iy 5’1 surround sound පද්ධති හරහා ඉතා සුපැහැදිලි ශබ්ද සහිත සිනමා අත්දකීමක් විඳගැනීමට මෙහිදී ප්‍රේක්ෂකයාට අවස්ථාව හිමි වේ.
අද වන විට සිලෝන් තියටර්ස් ස්ථාන 8ක සිනමා තිර 21ක් ක්‍රියාත්මක කරමින් සිංහල, දමිළ, ඉංග්‍රීසි සහ හින්දි චිත්‍රපට ප්‍රදර්ශනය කරයි. විශිෂ්ටත්වය උදෙසා වූ කැපවීම මත පිහිටා, ශ්‍රී ලාංකේය සිනමා කර්මාන්තයේ වර්ධනයට සක්‍රීයව දායක වන සිලෝන් තියටර්ස්, කාගිල්ස් සහ සීටී හෝල්ඩින්ග්ස් සමූහ ව්‍යාපාරයට අයත් සමාගමකි.