
කොටස් වෙළෙඳපොළ ආයෝජනය
පියවරෙන් පියවර - 08 කොටස
අයදුම්පත් සඳහා මුදල් ආපසු ගෙවීම්
මූලික කොටස් නිකුතුවකින් කොටස් මිලදී ගන්නා ආයෝජකයන් දැනුවත් විය යුතු තවත් වැදගත්‍් කාරණයක් වන්නේ තමා විසින් ඉල්ලුම් කරන ලද මුළු කොටස් ප්‍රමාණයම තමාට නොලැබුණ හොත් හෝ තමා විසින් අයදුම්පත් සමග සමාගම වෙත යොමු කළ මුදල් සමාගමේ ගිණුමට බැර වූ පසු අයදුම්පත් ප්‍රතික්ෂේප වුවහොත් ඊට අදාළ මුදල් නැවත ලබා ගත හැක්කේ කෙසේද යන්නයි. ඒ අනුව අයදුම්පතක් අර්ධ වශයෙන් පමණක් පිළිගනු ලැබුවහොත් හෝ චෙක්පත් සාක්ෂාත් කර ගැනීමෙන් පසු සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරනු ලැබුවහොත්, අයදුම්පතට ලැබුණු මුදල්වල ශේෂය/සම්පූර්ණ මුදල අවස්ථාව අනුව අයදුම්කරුට ආපසු ගෙවනු ලැබේ. කොළඹ කොටස් හුවමාරුවේ ලයිස්තුගත කිරීමේ රීති මගින් නියම කර ඇති පරිදි, කොටස් නිකුතුව අවසාන වූ දිනයේ (වසා දැමීමේ දිනය) සිට වෙළෙඳපොළ දින අටක් (08) කල් ඉකුත් වීමට පෙර (වසා දැමීමේ දිනය හැර) එවැනි මුදල් ආපසු ගෙවනු ලැබේ. මෙසේ මුදල් ආපසු ගෙවීමකදී, මුදල් ආපසු ගෙවීම සඳහා අයදුම්පත්‍රයේ ‘මුදල් ආපසු ගෙවීමේ උපදෙස්‘ යටතේ නිවැරදි තොරතුරු සඳහන් කිරීම අනිවාර්ය වේ.
වෙන් කරන ලද කොටස් තැන්පත් කිරීම
සාර්ථකව කොටස් අයදුම් කිරීම අවසන් කළ අයදුම්කරුවන්ගේ CDS ගිණුම්වලට වෙන් කරන ලද කොටස් තැන්පත් කිරීම CSE ලැයිස්තුගත කිරීමේ රීති මගින් ඉල්ලා සිටින පරිදි නිකුත් කිරීමේ අවසන් දින සිට වෙළෙඳපොළ දින දොළහක් (12) කල් ඉකුත් වීමට පෙර,සෘජුවම තැන්පත් කරනු ලබයි. අදාළ CDS ගිණුම් බැර කිරීම අවසන් වූ පසු, ලිඛිත තහවුරු කිරීමක්ද, එක් එක් කොටස් හිමියා වෙත සිදුකරයි.
මූලික කොටස් නිකුතුවකින් මිලදීගත් කොටස් ද්විතීයික වෙළෙඳපොළ තුළ ගනුදෙනු ආරම්භ කිරීම
මූලික කොටස් නිකුතුව හරහා කොටස් අයදුම් කළ අයදුම්කරුවන්ගේ CDS ගිණුම්වලට නව කොටස් බැර කළ දිනට පසුව එළඹෙන වෙළෙඳපොළ දිනයේදී සමාගම කොළඹ කොටස් හුවමාරුව වෙත “ප්‍රකාශනයක්” ඉදිරිපත් කරනු ඇත. කොළඹ කොටස් හුවමාරුවේ ලයිස්තුගත කිරීමේ රීතිවලට අනුව, කොළඹ කොටස් හුවමාරුව විසින් ප්‍රකාශය ලැබුණු දින සිට තුන්වැනි (3 වැනි) වෙළෙඳපොළ දිනයේදී හෝ ඊට පෙර ද්විතීයික වෙළෙඳපොළේ සාමාන්‍ය කොටස් ගනුදෙනු කිරීම ආරම්භ වේ.
කොටස් නිකුතුව හරහා ආයෝජකයාට ලැබෙන වාසිය
නව කොටස් නිකුතුවකට දායක වන ආයෝජකයන්ට මෙන්ම එම සමාගමේ දැනට සිටින කොටස් හිමියන්ටද එම කොටස් නිකුතුවේ අරමුණු සාර්ථකව ඉටු කර ගැනීමෙන් ආයෝජනයේ වටිනාකම ඉහළ නංවා ගැනීමට හැකියාව ලැබේ. මූල්‍ය වියදම්වල අපේක්ෂිත ඉතිරිකිරීම්, බදු ගෙවීමෙන් පසු ශුද්ධ ලාබයේ සමස්ත වැඩිදියුණු කිරීම, ශක්තිමත් ශේෂ පත්‍ර තත්වය සහ ප්‍රාග්ධන ආයෝජන සඳහා ශක්තිමත් මූල්‍ය පදනම සහ දිගුකාලීන සංවර්ධනයෙන් එසේ ප්‍රතිලාභ ලැබෙනු ඇත. ඒ අනුව මූලික කොටස් නිකුතුවකින් කොටස් මිලදී ගන්නා ආයෝජකයන්ට ඒවා ළඟ තබා ගෙන සිටින කාලය තුළ ලාභාංශත්, ද්විතියික වෙළෙඳපොළෙහි විකිණීමෙන් ප්‍රාග්ධන ලාබ ලැබීමටත් අවස්ථාව උදා වේ. මේවා මූලික ප්‍රතිලාභ වන අතර තවත් අමතර ප්‍රතිලාභ කොටස් වෙළෙඳපොළෙහි ආයෝජනයෙන් ආයෝජකයාට හිමි වේ.
මූලික කොටස් නිකුතුවෙන් මිලදී ගත් කොටස් විකුණා ගන්නා ආකාරය විස්තර කරන ද්විතියීත වෙළෙඳපොළ පිළිබඳව ලබන සතියේ ලිපියෙන් බලාපොරොත්තු වන්න.
COMMENTS