මෙවැනි සිදුවීම් ජනතාව අතර ඩිජිටල් ගෙවීම් සඳහා උනන්දුව අඩුවෙන බවත් පවසයි


යෝජිත සයිබර් ආරක්ෂක පනත සම්මත කරගැනීම අනිවාර්යය බවත් පෙන්වා දෙයි


භානුක අමරසිංහ


අසේල වෛද්‍යලංකාර


 

ශ්‍රී ලංකාවේ මුදල් අමාත්‍යාංශය සයිබර් ප්‍රහාරයකට ලක්ව එහි මුදල් හැකර්කරුවන් අතට පත්වීමේ සිදුවීම ජාත්‍යන්තර වශයෙන් රටෙහි ප්‍රතිරූපයට ඉතාමත් හානිදායක අවස්ථාවක් බව සයිබර් ආරක්ෂාව පිළිබඳ විශේෂඥයෙකු වන අසේල වෛද්‍යලංකාර මහතා පවසයි.
ඒ අනුව බලධාරීන් දැන් සිදුකළ යුතුව ඇත්තේ යළිත් එවැනි ප්‍රහාරයක් එල්ල නොවීම සඳහා අවශ්‍ය වගබලා ගැනීම සහ ඊට අවශ්‍ය ප්‍රතිපත්තිමය තීරණ ගැනීම කඩිනම් කිරීම බවත් ඒ මහතා පවසයි. 
විදෙස් ණයක කොටසක් ලෙස මුදල් අමාත්‍යාංශය අන්තර්ජාලය හරහා සිදුකළ ඩොලර් මිලියන 2.5 ක ගෙවීමක් හැකර් කරුවකුගේ ගිණුමකට බැරවීමේ සිදුවීම සම්බන්ධයෙන් “ලංකාදීප FT’’ වෙත අදහස් දැක්වීමක් සිදු කරමින් වෛද්‍යලංකාර මහතා මෙම කරුණු සඳහන් කළේය.
“නීත්‍යානුකූල මාර්ගයකින් එන සඳහනක් විදියට පෙන්වලා අදාළ ගනුදෙනුව වෙනත් තැනකට හැරවීමක් තමයි සිදු වෙලා තිබෙන්නේ. මේකට කියන්නේ බිස්නස් ඊ=මේල් කොම්ප්‍රමයිසින් කියලා. මීට පෙරත් මෙවැනි සයිබර් ප්‍රහාරවල අත්දැකීම් අපිට තිබෙනවා. උදාහරණයක් විදියට ක්‍රිකට් පාලක මණ්ඩලය සෝනි සමාගමට සිදුකළ ගෙවීමක් හැකර්කරුවකු අතට පත්වීමේ සිදුවීමක් දැනට වසර ගණනාවකට කලින් වාර්තා වුණා. හැබැයි මෙතැන ගැටලු‍ව වෙන්නේ රටේ ආර්ථිකය හසුරුවන මුදල් අමාත්‍යාංශය හැකර් ප්‍රහාරයකට ලක්වීම. එය රටේ සයිබර් ආරක්ෂණය පිළිබඳ යම් හිඩැසක් පවතින බව පෙන්වන්නක්‍. ඒ වගේම එය රටේ ප්‍රතිරූපයට ඉතාමත් හානියාදයක අවස්ථාවක්.’’

මේ අතර සාමාන්‍යයෙන් මුදල් හා සම්බන්ධව කටයුතු කරන ආයතනවල පවා සයිබර් ආරක්ෂණ පද්ධති පවත්වාගෙන යන බවත්, මෙරට සෑම බැංකුවම පාහේ ISO 27001 යන සයිබර් ආරක්ෂක ප්‍රමිතිය පවත්වාගෙන යන බවත් ඒ මහතා මෙහිදී සඳහන් කළේය. ඒ අනුව රජයේ මුදල් ගනුදෙනු සිදු කරන මුදල් අමාත්‍යාංශයේ එවැනි කළමනාකරණ පද්ධතියක් තිබුණේ නම් වඩාත් වටින බවත් ඔහු පවසා සිටියේය. 
“රට තුළ ඩිජිටල් ගෙවීම් ප්‍රචලිත කරන්න රජය දැවැන්ත උත්සාහයක් ගන්න අවස්ථාවේදී මෙවැනි සිදුවීම් වාර්තාවීම ජනතාව එවැනි කටයුතු සඳහා පසුගාමී කරවනවා. ලෝකය පුරා මෙවැනි ප්‍රහාර එල්ල වෙනවා. ඒත් සයිබර් ආරක්ෂාවකින් කරන්නේ එවැන්නකින් සිදුවන හානිය අවම කිරීමයි. රජය විදියට මේ අඩුපාඩුව නිවැරදි කරාවි කියන විශ්වාසය අපිට තිබෙනවා. ඒ වගේම මෙවැනි ප්‍රහාර වළක්වා ගන්න ගන්න ක්‍රියාමාර්ග මොනවාද කියලා රජය පැහැදිලි කිරීමක් කිරීම ඉතාමත් වැදගත්. මොකද මුදල් අමාත්‍යාංශය වගේම ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයත් තියෙන්නේ ජනාධිපතිතුමා යටතේ.’’
ඒ අනුව මෙවැනි තත්වයක් ඉදිරියේදී ඇති නොවීමට නම් යෝජිත සයිබර් ආරක්ෂක පනත සම්මත කරගැනීම අනිවාර්යය බවත්, ඒ හරහා රට තුළ සයිබර් ආරක්ෂාව පිළිබඳ නෛතික බලයක් සහිත ආයතනයක් ස්ථාපිත කළ හැකි වනු ඇති බවත් අසේල වෛද්‍යලංකාර මහතා වැඩිදුරටත් පවසා සිටියේය.