ශ්‍රී ලංකාවේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් ශක්තිමත් කිරීමේ ගමන් මගෙහි තවත් වැදගත් කඩඉමක් ලෙස, සම්පත් බැංකුව විසින් ක්‍රියාත්මක කරන ‘සම්පත් සවිය’ ව්‍යවසායකත්ව සංවර්ධන වැඩසටහන යටතේ, කාන්තාවන් 200ක් දිරිය ව්‍යවසායිකාවන් ලෙස සවිබල ගැන්වීම සඳහා පැවැත්වූ ඇගයීම් වැඩසටහන පසුගියදා සාර්ථකව නිමාවට පත් විය. 

දිවයින පුරා කාන්තාවන් විසින් මෙහෙයවනු ලබන ව්‍යවසායන් හඳුනාගෙන, ඒවාට අවශ්‍ය මාර්ගෝපදේශනය සහ සහාය ලබාදීමෙන් එම ව්‍යවසාය ඉහළ තලයකට ගෙන යාමට උපකාර කිරීම මෙම ජාතික මට්ටමේ වැඩසටහනෙහි මූලික අරමුණයි. සම්පත් බැංකුවේ ප්‍රධාන ශ්‍රවණාගාරයේ දී පැවැති මෙම වැඩසටහනේදී හඳුනාගත් ව්‍යවසායිකාවන්ගේ ව්‍යාපාරික අදහස් ඉදිරිපත් කිරීමේ විශේෂ ඇගයීම් වැඩසටහනක් ද සංවිධානය කර තිබුණි. ක්ෂේත්‍රයේ විශේෂඥයන් සහ ආයතනික හවුල්කරුවන් රැසක් එක්වූ මෙම අවස්ථාව, කාන්තාවන්ගේ ව්‍යවසායක හැකියාවට ශක්තියක් එක් කළ අර්ථවත් පියවරක් වශයෙන් සනිටුහන් විය. 

කාන්තා ව්‍යවසායිකාවන්ගේ ධෛර්යවන්තභාවය සහ කැපවීන් කුටුම්භයේ ආදායම් ඉහළ නැංවීමෙන් පමණක් නොව, නව රැකියා අවස්ථා උත්පාදනය කිරීම හරහා ප්‍රජා සංවර්ධනයට දායක වෙමින් ශ්‍රී ලංකාවේ ආර්ථික ස්ථාවර කිරීමට දායකත්වයක් ලබා දෙයි. මෙහිදී විධිමත් මුල්‍ය අංශ වෙත යොමු වීමේ ප්‍රවණතාව තවමත් සීමිත වන අතර, තාක්ෂණික දැනුම සඳහා ප්‍රවේශවීමේ අඩු ප්‍රවණතාව සහ සීමිත වෙළෙඳපොළ අවස්ථා වැනි ප්‍රායෝගික අභියෝග රැසකට කාන්තා ව්‍යවසායිකාවන් මුහුණ දෙන බව පෙනී යයි. එම යථාර්ථය හඳුනාගත් මෙම වැඩසටහන, කාන්තා ව්‍යවසායිකාවන්ගේ සිහින ශක්තිමත් හා පුළුල් ව්‍යාපාර බවට පත් කිරීමේ අරමුණින් අදියර කිහිපයකින් යුත් දීර්ඝකාලීන මුලපිරීමක් ලෙස ක්‍රියාත්මක වේ. දැනුම, උපදේශකත්වය සහ අරමුදල් ලබාදීම සඳහා ඔවුන් එකම වේදිකාවකට ඒකරාශී කරමින් කාන්තාවන්ට අභියෝග ජය ගැනීමටත්, සිය ව්‍යාපාර ගමන විශ්වාසයෙන් යුතුව සිදු කරගෙන යාමටත් මෙම වැඩසටහන මනා පිටිවහලක් සපයනු ලබයි.

මෙම වැඩසටහනේ වැදගත්කම සහ දිගුකාලීන දැක්ම පිළිබඳව අදහස් දක්වමින්, සම්පත් බැංකුවේ ප්‍රධාන පරිවර්තන නිලධාරී ආචාර්ය ලලිත් වේරගොඩ මහතා මෙසේ පැවසීය. “කාන්තා ව්‍යවසායිකාවන් සවිබල ගැන්වීම යනු සමාජ වගකීමක් පමණක් නොව, රටේ ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා අත්‍යවශ්‍ය ප්‍රමුඛතාවක් බව සම්පත් බැංකුව දැඩිව විශ්වාස කරනවා. “සම්පත් සවිය” ව්‍යවසායකත්ව සංවර්ධන වැඩසටහන හරහා, ශ්‍රී ලංකාවේ අනාගතය හැඩගැස්වීමට ඉවහල් වන අදහස්, හැකියාව සහ අභිලාෂ වෙනුවෙන් ආයෝජනය කරමින්, දිරිය කාන්තාවන්ගේ සිහින සැබෑ ව්‍යාපාර බවට පත් කිරීමට අප බලාපොරොත්තු වෙනවා. මෙම වැඩසටහනේ මූලික අරමුණ වන්නේ, ලාංකේය කාන්තාවන් විසින් මෙහෙයවනු ලබන ව්‍යාපාර 200ක් සාර්ථක ලෙස ඉදිරියට ගෙන යාමට අවශ්‍ය දැනුම, හැකියාව සහ ආත්ම විශ්වාසය ගොඩනැංවීමයි. එමෙන්ම, මෙම වැඩසටහනෙන් තෝරා ගනු ලබන කාන්තා ව්‍යවසායිකාවන්ට ජාතික ආර්ථිකයට ඍජුවම දායක විය හැකි පරිදි අවශ්‍ය මූලික ප්‍රාග්ධනය ලබාදීම ද සම්පත් බැංකුවේ අපේක්ෂාවයි”.

මෙම වැඩසටහනේ පළමු අදියර ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය (NEDA) සහ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය සමග සහයෝගීතාවෙන් ක්‍රියාත්මක වූ අතර, එහිදී දිවයින පුරා විහිදී සිටින කුඩා හා මධ්‍ය පරිමාණ කාන්තා ව්‍යවසායිකාවන් 100කට අධික පිරිසක් සාර්ථකව හඳුනා ගන්නා ලදී. තෝරාගත් කාන්තා ව්‍යවසායිකාවන්, ව්‍යාපාර සැලසුම්කරණය, මූල්‍ය සාක්ෂරතාව සහ වෙළෙඳපොළ අවස්ථා පිළිබඳව අවබෝධය ගොඩනැංවෙන ලෙස පුහුණු සැසි මාලාවකට එක් කරමින්, ඔවුන්ගේ ව්‍යවසාය විධිමත් කර ගැනීමට, ශක්තිමත් කර ගැනීමට සහ අලු‍ත් අවස්ථා හඳුනා ගැනීමට අවශ්‍ය ප්‍රායෝගික කුසලතා ඔප් නැංවීමට කටයුතු කළේය. මෙම පුහුණු වැඩසටහන්, ඔවුන්ගේ ව්‍යාපාර අදහස් නිරවුල් කර ගනිමින්, සැබෑ අවශ්‍යතා හඳුනා ගැනීමට මනා පසුබිමක් සකස් කළ අතර, කාන්තාවන්ගේ දිරිය හැකියාව රටේ ආර්ථික ගමනට ඍජුවම දායක කරගන්නා අපේක්ෂා සහිත ආරම්භයක් විය. 

මෙම වැඩසටහනේ දෙවැනි අදියර ලංකා ව්‍යවසායකයන්ගේ සමාජය සමග හවුල්කාරීත්වයෙන් ක්‍රියාත්මක වූ අතර, ඉහළ මට්ටමේ ව්‍යවසායකත්ව කුසලතා හා ප්‍රායෝගික අත්දැකීම් ඔවුන් වෙත ලබාදීමට කටයුතු සිදු කෙරිණ. 

මෙම අර්ථවත් වැඩසටහනෙහි සමාප්තිය සනිටුහන් වූයේ, අදියර දෙක පුරා හඳුනා ගනු ලැබූ, ව්‍යවසායකත්ව කුසලතා ශක්තිමත්ව, කාන්තා ව්‍යවසායිකාවන්ට තම සිහින ව්‍යාපාරවලට හඬක් ලබාදෙන ගෞරවනීය අවස්ථාවක් හිමි කර දෙමින්ය. සම්පත් බැංකුව, ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය, ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය (NEDA) සහ ලංකා ව්‍යවසායකයන්ගේ සමාජය නියෝජනය කළ පළපුරුදු විශේෂඥ ඇගයීම් මණ්ඩලයක් ඉදිරියේ, ඔවුන්ගේ ව්‍යාපාරික අදහස් ඉදිරිපත් කිරීමට එහිදී අවකාශය සලසා දී තිබුණි.