කොළඹ කොටස් හුවමාරුවේ ලැයිස්තු ගත ජීවිත රක්ෂණ සමාගමක් වන සණස ලයිෆ් ඉන්ෂුවරන්ස් කම්පැනි පීඑල්සී සමාගම ණයකර නිකුතුවක්  හරහා රුපියල් මිලියන 500ක් රැස් කරගැනීමට සැලසුම් කර ඇතැයි පවසයි.  
සමාගම මගින් පවත්වාගෙන යා යුතු ප්‍රාග්ධන ප්‍රමාණාත්මක අනුපාතය (capital adequacy ratio) සපුරා ගැනීම වෙනුවෙන් මෙම ණයකර නිකුතුව සිදු කරන බව සමාගම සඳහන් කරයි. මෙම අවශ්‍යතාව සැපිරීමට අපොහොසත්වීම නිසා ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාව මගින් සණස ලයිෆ් ඉන්ෂුවරන්ස් කම්පැනි පීඑල්සීහි දීර්ඝ කාලීන රක්ෂණ ව්‍යාපාරය (ජීවිත රක්ෂණ) අත්හිටුවා තිබේ. 
ඒ අනුව මෙම ණයකර නිකුතුව වර්ගනොකෙරූ, ලැයිස්තුගත නොවූ, සුරක්ෂිත නොවූ, අදියර දෙක පිරිමුදවාගත හැකි, සමුච්චිත උපප්‍රධාන ණයකරයක් ලෙස නිකුත් කරන බව සමාගම පවසයි. මෙහිදී ණයකර කොටස් මිලියන 5 ක් නිකුත් කරන අතර, එක් කොටසක් රුපියල් 100ක් බැගින් රැස් කිරීමට අපේක්ෂිත මුදල රුපියල් මිලියන 500 කි.