
ද්විපාර්ශ්වික ආයෝජන සහ වෙළෙඳ ගිවිසුම්ද ඍජු විදේශ ආයෝජන වෙත පහසුවක්
ඍජු විදේශ ආයෝජන පිළිබඳ බුද්ධි ඒකකයක් ස්ථාපිත කර අවධානයෙන් සිටීම වැදගත්
භානුක අමරසිංහ
ශ්‍රී ලංකාව වැනි රටක් සංචාරක කර්මාන්තය සඳහා ඉහළ මට්ටමේ ඍජු විදේශ ආයෝජන (FDI) ආකර්ෂණය කරගැනීමට නම් සිය දේශීය ප්‍රතිපත්ති තත්වය දියුණු කරගැනීම පමණක්ම ප්‍රමාණවත් නොවන බව සංචාරක කර්මාන්තය පිළිබඳ විද්වතෙකු වන ආචාර්ය මාල් රාජ් බී. කිරිඇල්ල මහතා පවසයි. ඒ අනුව අදාළ කටයුතු අතරතුරදීම ගෝලීය ආයෝජන පරිසරය පිළිබඳ වටහා ගැනීම සහ එම ආයෝජන පැමිණෙන වෙළෙඳපොළ සමගින් ගනුදෙනු කිරීම වැදගත් බව කිරිඇල්ල මහතා අවධාරණය කරයි.
ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය සඳහා වන ඍජු විදේශ ආයෝජන වෙත බලපාන කරුණු සම්බන්ධයෙන් ඒ මහතා සිදු කළ පර්‌යේෂණ ලිපියක (Push Factors Affecting Tourism FDI in Sri Lanka) මේ බව ඇතුළත්ව තිබේ. 1977 සිට 2023 දක්වා මෙරට සංචාරක කර්මාන්තය වෙත හිමි වූ ඍජු විදේශ ආයෝජන සහ ලොව ඍජු විදේශ ආයෝජන උත්පාදනය කරන රාජ්‍ය 10ක දත්ත යොදා ගනිමින් මෙම පර්‌යේෂණ වාර්තාව සකස් කර තිබේ.
“මේ සඳහා ශ්‍රී ලංකාවේ වගේම ඍජු විදේශ ආයෝජන උත්පාදනය කරන එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ජර්මනිය, ජපානය, ඉන්දියාව, චීනය, ඔස්ට්‍රේලියාව, ප්‍රංශය, ස්පාඤ්ඤය සහ එක්සත් අරාබි එමීරය යන රටවල දත්ත යොදා ගෙන තිබෙනවා. ඒ අනුව සංචාරක කර්මාන්තයේ ඍජු විදේශ ආයෝජන ඇතිවීම සඳහා එම ආයෝජක රටවල ආර්ථික තත්වය සහ මුදල් සඳහා වන ප්‍රවේශය ප්‍රධාන බව මෙහිදී හඳුනාගත්තා. ඒ අතරතුරදීම ආයෝජන හිමිවන රටවල නියාමනයේ ගුණාත්මකබව සහ ප්‍රතිපත්ති ස්ථාවරත්වයත් වැදගත්.“
මීට අමතරව ද්විපාර්ශ්වික ආයෝජන සහ වෙළෙඳ ගිවිසුම්ද මෙම සංචාරක කර්මාන්තය හා සම්බන්ධ ආයෝජන වෙත පහසුකම් සැලසීමට වඩාත් වැදගත් බව කිරිඇල්ල මහතා පවසයි. “විශේෂයෙන්ම මෙම ආයෝජක රටවල පවතින පිරිවැය පීඩනයත් සමගින්ම ශ්‍රී ලංකාව වැනි ක්‍රමෝපායික වශයෙන් වැදගත් ගමනාන්ත වෙත යොමුවීමට ඔවුන් වැඩි වශයෙන් උනන්දු කරවනවා.“
අද වනවිට සංචාරක කර්මාන්තයේ ඍජු විදේශ ආයෝජන යනු රටක තිරසාර සංවර්ධනයේ, රැකියා උත්පාදනයේ සහ කලාපීය සම්බන්ධතාවයේ උත්ප්‍රේරකය ලෙස හඳුනාගෙන තිබෙන බවද ඒ මහතා සිය පර්‌යේෂණයෙන් පෙන්වා දෙයි. “ගෝලීය සංචාරක කර්මාන්තය වෙත ප්‍රාග්ධනය ආකර්ෂණය කරගැනීමේදී අද වනවිට දැඩි තරගකාරී බවක් ඇතිව තිබෙනවා. ශ්‍රී ලංකාවේ කලාපීය තරගකරුවන් වන මාලදිවයින, තායිලන්තය සහ වියට්නාමය වඩාත් ආයෝජක-හිතවාදී පරිසරයක් නිර්මාණය කරගැනීමට සාර්ථක වී තිබෙනවා.“
එහිදී ශ්‍රී ලංකාව වැනි රටක් වෙත සංචාරක කර්මාන්තය හා සම්බන්ධ ඍජු විදේශ ආයෝජන ආකර්ෂණයේදී මූලිකවම සාර්වආර්ථික තත්වය සහ ආයතනික තත්වය බලපානා බව මෙම පර්‌යේෂණය මගින් හඳුනාගෙන තිබේ.
ඒ අනුව මෙම තත්වය මඟහැරවීම සඳහා ඉදිරිපත් කළ යුතු ප්‍රතිපත්තිමය මුලපිරිම් කිහිපයක්ද කිරිඇල්ල මහතා පෙන්වා දෙයි. ඒ අනුව ජපානය, ජර්මනිය සහ ඉන්දියාව වැනි ප්‍රධානතම ආයෝජන ප්‍රභව රාජ්‍යයන් සමගින් වන ද්විපාර්ශ්වික ආයෝජන සබඳතා අලුත් කිරීම සහ පුළුල් කිරීම, ආයෝජන මණ්ඩලය සහ සංචාරක සංවර්ධන අධිකාරිය එක්ව ඉලක්කගත ආයෝජන ප්‍රවර්ධන කටයුතු සිදු කිරීම, ඍජු විදේශ ආයෝජන පිළිබඳ බුද්ධි ඒකකයක් ස්ථාපිත කර ගෝලීය ප්‍රවණතා, පොළී අනුපාත වෙනස්වීම්, දේශපාලන අවදානම් සහ ඉලක්කගත රටවල ණය තත්ත්වයන් හඳුනාගැනීමට කටයුතු කිරීම, කලාපීය සංවර්ධන බැංකු (ADB) හෝ ගෝලීය ආයතන (IFC) සමගින් එක්ව මිශ්‍ර මූල්‍ය විසඳුම් ඉදිරිපත් කරමින්, ආයෝජකයන් වෙත එල්ල වන අවදානම අඩු කිරීම, අලෙවි ප්‍රවර්ධන ව්‍යාපරයක් හරහා ශ්‍රී ලංකාවේ ක්‍රමෝපායික ගමනාන්ත වැදගත්කම පිළිබඳව දැනුවත් කිරීම සහ ඍජු විදේශ ආයෝජන හිමිවන රටවල ක්‍රමෝපායික පැතිකඩ, මූල්‍යමය හැසිරීම් සහ අතීත ආයෝජන ප්‍රවණතා සලකා බලා ඔවුන් වෙනුවෙන්ම සකස් කළ බදු විරාම ලබාදීම සහ සහන පැකේජ ඉදිරිපත් කිරීමත් මේ අතර පවතී.
COMMENTS