ශ්‍රීලංකන් ගුවන් සේවය පසුගියදා ජර්මනියේ හැම්බර්ග්හිදී පැවති ‘PAX International Readership Awards 2026’ හිදී ගුවන් සේවා සම්මාන කාණ්ඩය යටතේ සම්මාන 2 කින් පිදුම් ලැබීමට සමත් විය. ‘Best Overall Passenger Experience’ සහ ‘Most Improved Airline’ යන සම්මාන මෙලෙස ශ්‍රීලංකන් ගුවන් සේවය වෙත හිමි විය. ගුවන් සේවා ක්ෂේත්‍රයේ විශිෂ්ටතමයන් ඇගයීමට ලක්කරන PAX සම්මාන උළෙලේ ජයග්‍රාහකයන් තෝරාගනු ලබන්නේ එහි ගෝලීය පාඨකයන්ගේ මනාපය අනුවය. 
‘The Best Overall Passenger Experience – South Asia’ යනු ගුවන් ගමන් තුළදී ආහාරපාන සේවා, විනෝදාස්වාද පහසුකම් සහ ආසන පැනවීම ආදිය සම්බන්ධයෙන් විශිෂ්ටතම සේවාවක් ලබාදෙන ගුවන් සේවා වෙනුවෙන් පිරිනැමෙන සම්මානයකි. ශ්‍රී ලංකන් ගුවන් සේවය කවදත් මෙම සේවා අංශ ඉහළම මට්ටමක පවත්වා ගැනීම සඳහා දැඩි අවධානයක් යොමුකරයි. මගීන්ට විශිෂ්ටතම සේවාවක් සැලසීම සඳහා එම ගුවන් සේවයේ විවිධ අංශ දැඩි කැපවීමෙන් හා සහයෝගයෙන් යුතුව කටයුතු කරන අතර, සෑම සේවාවක්ම නිරන්තර අධීක්ෂණයන්ට හා වැඩිදියුණු කිරීම්වලට ලක් වේ. 
“අපගේ සේවාවලට යළිත් වරක් මෙවැනි ස්වාධීන ඇගයුමක් හිමි වීම අප ලැබූ විශාල ගෞරවයක් ලෙස අප දකිනවා. මගීන් සමග කරන සෑම ගනුදෙනුවක්ම අපට බෙහෙවින් වැදගත්. අප උත්සාහ කරන්නේ ඔවුන් අපේක්ෂා කරන මට්ටමටත් වඩා ඉහළ සේවාවක් ඔවුන් වෙත ලබාදීමටයි. එම උත්සාහය මෙලෙස ඇගයීමට ලක් වීම අපට මහත් සතුටක්.” ශ්‍රීලංකන් ගුවන් සේවයේ කළමනාකාරිනී - නිපැයුම් සහ සේවා, මරියා සතාසිවම් මහත්මිය පැවසුවාය. 
ගුවන් ටිකට්පත් වෙන්කරවා ගැනීමේ සිට ගුවන් ගමන අවසාන වන තෙක් සම්පූර්ණ ක්‍රියාවලිය තුළ මගීන්ට විශිෂ්ටතම අත්දැකීමක් පිරිනැමීම සහ එම අත්දැකීම නිරන්තරයෙන් වැඩිදියුණු කිරීම සඳහා ශ්‍රීලංකන් ගුවන් සේවය සෑම විටම උත්සාහ දරයි. එම උත්සාහයේ කොටසක් වශයෙන් පාරිභෝගිකයන්ට වඩාත් කාර්යක්ෂම සේවාවක් ඩිජිටල් මාධ්‍ය ඔස්සේ පිරිනැමීම සඳහා AI තාක්ෂණික විශේෂාංගද ඇතුළත් කරමින් ශ්‍රීලංකන් ගුවන් සේවයේ වෙබ් අඩවිය සහ  Whatsapp සේවාවද නිරන්තරයෙන් වැඩිදියුණු කෙරේ. මීට අමතරව මගීන්ගේ පහසුව හා තෘප්තිය වෙනුවෙන් තවත් අමතර සේවා රාශියක්ද මේ වන විට හඳුන්වා දී ඇත. තවද සිය ප්‍රධාන මෙහෙයුම් මධ්‍යස්ථානය වන බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේදී මගීන්ට වැඩි පහසුවක් සැලසීම සඳහා මේ වන විට Self-check-in සහ Bag Drop පහසුකම්ද හඳුන්වා දී ඇත. 
ශ්‍රීලංකන් ගුවන් සේවය මගීන්ට රටවල් 61 ක ගමනාන්ත 120 ක් වෙත පියාසර කිරීමට අවස්ථාව සලසා දෙන අතර, ඒ අතරට Codeshare හවුල්කාරීත්වයන් ද ඇතුළත්ය. එහි සෘජු සේවා යුරෝපය, ඕස්ට්‍රේලියාව, මැදපෙරදිග, ඉන්දියානු උපමහාද්වීපය, අග්නිදිග ආසියාව සහ ඈත පෙරදිග දක්වා විහිදී පවතී. අති නවීන A 330-200/300 සහ A 320/321 ගුවන් යානා එකතුවක් ශ්‍රීලංකන් ගුවන් සේවය සතුය.