- UPI ගෙවීම් පහසුකම හරහා වැඩි ඉන්දියානු සංචාරකයන් පිරිසක් ආකර්ෂණයට හැකි බව පවසයි
- ජාත්‍යන්තර කාඩ්පතකින් ගෙවීම් ලබා ගන්නවාට වඩා ඩිජිටල් ගෙවීම් සතු පිරිවැය අඩුයි
භානුක අමරසිංහ
|
NPCI ජාත්‍යන්තර අංශයේ කළමනාකාර |
ශ්‍රී ලංකාවේ සංවර්ධනය සඳහා කුඩා ව්‍යාපාර බලගැන්වීම මූලික අවශ්‍යතාවක් බව ඉන්දියාවේ ජාතික ගෙවීම් ජාලයේ ජාත්‍යන්තර අංශයේ (NPCI International) කළමනාකාර අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී රිතේෂ් ශුක්ලා මහතා පවසයි.
අද වනවිට NPCI ජාලය මගින් ඉන්දියාව පුරා ජනතාවට මෙන්ම කුඩා පරිමාණ ව්‍යාපාර වෙතත් ඩිජිටල් ගෙවීමේ පහසුකම් ලබා දෙමින් ඔවුන්ගේ ජීවිත මෙන්ම ව්‍යාපාරද ඉහළට ඔසවා තැබීමට දායකත්වය ලබාදී තිබෙන බවත්, ඒ හා සමානවම ශ්‍රී ලංකාවේ ජනතාව සහ කුඩා ව්‍යාපාර වෙත එම අවස්ථාව උදා කරදීම සිය බලාපොරොත්තුව බවත් ඒ මහතා සඳහන් කරයි.
මෙම NPCI International මගින් මෙරට වෙත හඳුන්වාදී ඇති UPI ගෙවීමේ පද්ධති පහසුකම පිළිබඳව මාධ්‍ය දැනුවත් කරමින් ශුක්ලා මහතා මෙම කරුණු සඳහන් කළේය. ශ්‍රී ලංකාව ජාතික ගෙවීම් ජාලය වන Lankapay හා එක්වෙමින් UPI පහසුකම මෙරට තුළ ක්‍රියාත්මක වෙයි.
“කුඩා ව්‍යාපාර කියන්නේ රටකට අතිශය වැදගත් අංශයක්. ඔවුන් රැකියා බිහි කරනවා. ඒ හරහා ආර්ථිකයට ලබා දෙන දායකත්වය ඉහළයි. මෙවැනි ව්‍යාපාර වෙත ඩිජිටල් ගනුදෙනු හඳුන්වා දෙන්න පුළුවන් නම්, එම ව්‍යාපාර සම්බන්ධයෙන් බැංකු තුළ පවතින විශ්වාසය ඉහළ නැංවෙනවා. ඒ හරහා එම ව්‍යාපාර තවදුරටත් වර්ධනය කරගැනීමේ ඉදිරි ණය පහසුකම් පවා ලබා ගැනීමේ හැකියාවක් තිබෙනවා. ඊට අමතරව බදු ආදායම් රැස් කරගැනීමේ කටයුතු වඩාත් පහසු කරවනවා.’’
විශේෂයෙන්ම ශ්‍රී ලංකාවට පැමිණෙන ඉන්දියානු සංචාරකයන් වෙත වඩාත් පහසුවෙන් ගෙවීම් පහසුකම් සැලසීමට මෙම UPI යොදා ගැනීමට හැකියාව ලැබෙන බවත්, දැනටමත් ලංකාවේ ව්‍යාපාර සතු LankaPay පහසුකම හරහා එම ගෙවීම් ලබා ගැනීමේ අවස්ථාව ලබාදී තිබෙන බවත් ශුක්ලා මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
“අපිට අවශ්‍ය ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර මේ කොරිඩෝව නිර්මාණය කරන්න. මොකද ජාත්‍යන්තර කාඩ්පතක් හරහා ගෙවීම් කරනවාට වඩා අඩු පිරිවැයකින් මේ UPI හරහා ගෙවීම් ලබා ගන්න පුළුවන්. මෙතැනදී වෙන්නේ ඉන්දියාවේ ඇති මගේ බැංකු ගිණුමකින් මේ අලෙවිකරුවාගේ ගිණුමට මුදල් බැරවීමයි. ඕනෑම LankaQR කේතයක් ස්කෑන් කිරීමෙන් ශ්‍රී ලංකාව පුරා ඩිජිටල් ගෙවීම් කරන්න පුළුවන්.’’
දත්ත වාර්තා අනුව 2025 වසරේදී මෙරටට පැමිණි විදෙස් සංචාරකයන් මිලියන 2.36 අතරින් 531,511 ක් එනම් සියයට 22ක ප්‍රතිශතයක් ඉන්දියානුවන් ලෙස හඳුනාගෙන තිබේ. එහිදී මාසයකට පැමිණ ඇති ඉන්දියානු සංචාරකයන් සංඛ්‍යාව 44,000කි. ඉන් සියයට 60.2ක් විවේක කාලය ගත කිරීම සඳහා පැමිණෙන අතර සියයට 5.6ක් විවිධ MICE (Meetings, Incentives, Conferences, Exhibitions) ඉසව් සඳහා පැමිණෙන බවත් පැවසෙයි.
“UPI කියන්නේ ජංගම දුරකතන යෙදුම් හරහා ක්ෂණිකව සහ ආරක්ෂිතව මුදල් ගෙවීමට හැකි පද්ධතියක්. ඒ හරහා මසකට ගනුදෙනු බිලියන 20ක් පමණ සිදු වෙනවා. අද වනවිට ඉන්දියාව පුරා ස්ථාන මිලියන 700 කට වැඩි ගණනක මෙම පද්ධතිය භාවිතා කෙරෙනවා.“ යනුවෙන්ද ශුක්ලා මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
ඡායාරූපය - සමීර විජේසිංහ

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd