ශ්‍රී ලංකාවේ විනෝදාස්වාද සහ ප්‍රසංග ක්ෂේත්‍රය ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව නවමු මානයකට රැගෙන යමින්, මෙරට ප්‍රථම වරට අති නවීන තාක්ෂණයෙන් සන්නද්ධ ShowLab Studio පහසුකම ආරම්භ කර ඇත. මෙය සජීවී ප්‍රසංගයක් වේදිකාගත කිරීමට පෙර එහි ආලෝකකරණය, දෘශ්‍ය සැලසුම් සහ සමස්ත වැඩසටහනම Previsualisation සහ Programming කළ හැකි මෙරට ප්‍රථම විශේෂිත මධ්‍යස්ථානය වේ.
Bling Productions, Eyeon Digital Motion සහ D4 යන ආයතනවල සහයෝගීතාවයෙන් නිර්මාණය වූ මෙම ස්ටූඩියෝව හරහා, ඕනෑම මහා පරිමාණ ප්‍රසංගයක් වේදිකාවට පිවිසීමට පෙර එහි සියලු‍ම අංග නිර්මාණය කිරීමේ හැකියාව හිමි වේ. Broadway සහ West End  වැනි ලොව සුප්‍රසිද්ධ වේදිකා ප්‍රසංග සඳහා භාවිත කරන ජාත්‍යන්තර මට්ටමේ තාක්ෂණික මෙවලම්වලින් මෙය සමන්විතය.
මෙම ව්‍යාපෘතිය ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් තිදෙනකුගේ විශේෂඥ දැනුමේ එකතුවකි. නිර්මාණාත්මක අධ්‍යක්ෂණය සහ ප්‍රසංග සැලසුම්කරණය පිළිබඳ දශකයකට වැඩි අත්දැකීම් සහිත Bling Productions නිර්මාතෘ මාලන් ජේසුදාසන් මෙරට ප්‍රසංග කලාව නව මාවතකට යොමු කිරීමට පුරෝගාමී වී ඇත. ඔහු සමග LED පද්ධති සහ Projection Mapping හරහා අතිශය නිරවද්‍ය දෘශ්‍ය සමාකරණ (Visual Simulation) ක්ෂේත්‍රයේ ප්‍රවීණයකු වන Eyeon Digital Motion හි ප්‍රධාන ඉංජිනේරු ඔබෙඩ් කුෂාන් සහ ආලෝකකරණ පද්ධති, තාක්ෂණික පාලන සහ ඉංජිනේරු ශිල්පය පිළිබඳ මනා නිපුණත්වයක් සහිත D4 ආයතනයේ ධනුෂ්ක අරුණ මෙහි තාක්ෂණික මෙහෙයුම් කටයුතු මෙහෙයවනු ලබති.
මීට පෙර සජීවී ප්‍රසංග ක්ෂේත්‍රය මුහුණ දුන් ප්‍රධාන අභියෝග වන සීමිත පෙරහුරු කාලය, තාක්ෂණික අවිනිශ්චිතතා සහ ස්ථානීය සීමා සඳහා ShowLab Studio සාර්ථක විසඳුම් ලබා දෙයි. ආලෝකකරණය, ශ්‍රව්‍ය පද්ධති සහ දෘශ්‍ය අංග එකිනෙකට සමපාත වන ආකාරය වේදිකාවට යාමට පෙර පරීක්ෂා කළ හැකි නිසා, පිරිවැය සහ අවදානම අවම කර ගනිමින් ඉහළ කාර්යක්ෂමතාවක් ලබා ගත හැකිය. මෙහිදී ලොව ප්‍රමුඛතම grandMA3 ආලෝක පාලන පුවරු, ත්‍රිමාණ දෘශ්‍ය සමාකරණ මෘදුකාංග සහ උසස් ටයිම්කෝඩ් පද්ධති භාවිත කෙරේ. මේ හරහා සංගීත ප්‍රසංග, ආයතනික උත්සව, නාට්‍ය සහ සංචාරක ප්‍රසංග ඉතාමත් නිරවද්‍යව සැලසුම් කළ හැකි අතර, ShowLab Studio හි ආගමනයත් සමග ශ්‍රී ලංකාවේ ප්‍රසංග කර්මාන්තය ජාත්‍යන්තර ප්‍රමිති කරා ශීඝ්‍රයෙන් ගමන් කරමින් සිටී.