
ආසියාවේ ප්‍රමුඛතම මැණික් හා ස්වර්ණාභරණ ප්‍රදර්ශනය වන FACETS Sri Lanka හි 33 වැනි අදියර, Cinnamon Life - The City of Dreams පරිශ්‍රයේ දී නිල වශයෙන් සමාරම්භ කිරීමත් සමග ශ්‍රී ලංකාවේ මැණික් කර්මාන්තයේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කෙරිණි. ශ්‍රී ලංකාවේ අභිමානවත් මැණික් උරුමය සැමරීමත්, කර්මාන්තය ගෝලීය වර්ධනයේ මීළඟ අදියර කරා බලගැන්වීමේ දැක්මත් පෙරදැරිව මෙවර ප්‍රදර්ශනය ආරම්භ විය.
මෙම සමාරම්භක උළෙල විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණු අතර, කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා ද ඊට සහභාගී විය. මෙම අමාත්‍යවරුන්ගේ සහභාගීත්වය ගෝලීය මැණික් හා ස්වර්ණාභරණ වෙළෙඳාම තුළ FACETS ප්‍රදර්ශනය සතු ජාතික හා ජාත්‍යන්තර වැදගත්කම මැනවින් පිළිබිඹු කළේය.
ශ්‍රී ලංකා මැණික් හා ස්වර්ණාභරණ සංගමයේ (SLGJA) සභාපති අක්‍රම් කාසිම් මහතා එහිදී මෙසේ අදහස් දැක්වීය. “FACETS Sri Lanka 2026-2026 යනු ගෝලීය මැණික් හා ස්වර්ණාභරණ වැඩසටහන්වල ආරම්භය සනිටුහන් කරන අවස්ථාවයි. එය ශ්‍රී ලංකාව යළිත් වරක් ජාත්‍යන්තර වෙළෙඳාමේ කේන්ද්‍රස්ථානය බවට පත් කරනවා. වසර 33ක සාර්ථක ගමනක් පැමිණි FACETS යනු වෙළෙඳ ප්‍රදර්ශනයක් පමණක් නොව, එය විශ්වාසය, දිගුකාලීන සබඳතා මෙන්ම කර්මාන්තය පුරා වගකීම් සහගත සහ තිරසාර භාවිතයන් වෙනුවෙන් සිදු කළ අසීමිත කැපවීම මතින් වසර ගණනාවක් තිස්සේ ගොඩනැඟුණු විශ්වාසදායක වේදිකාවකි. අපි අපගේ ජාත්‍යන්තර ගැනුම්කරුවන්, ප්‍රදර්ශකයන් සහ හවුල්කරුවන් ගෞරවයෙන් යුතුව කොළඹ නගරයට පිළිගන්නා අතරම, උසස්ම ගණයේ මැණික් ලබාගත හැකි ප්‍රමුඛතම රට ලෙස ශ්‍රී ලංකාව කෙරෙහි ඔවුන් තබා ඇති නොබිඳුණු විශ්වාසයට අපගේ ස්තූතිය පිරිනමනවා.”
ඉතිහාසයේ ප්‍රථම වතාවට, FACETS ප්‍රදර්ශනය Cinnamon Life - The City of Dreams පරිශ්‍රයේ දී පැවැත්වෙන අතර, එය සම්පූර්ණ මහල් දෙකක් පුරා විහිදුණු නවීන සහ ආකර්ෂණීය ප්‍රදර්ශන පරිසරයකින් සමන්විත වේ. මෙවැනි නවතම ස්ථානයක ප්‍රදර්ශනය පැවැත්වීම මගින් ප්‍රදර්ශනය මෙතෙක් පැමිණි සාර්ථක ගමන් මඟ මනාව පෙන්නුම් කරන අතර, එය සාම්ප්‍රදායික උරුමය සහ නවෝත්පාදනය එකට එක්කරමින් ඉදිරිපත් කරයි. ප්‍රදර්ශනය නැරඹීමට පැමිණෙන අමුත්තන්ට හුදෙක් ප්‍රදර්ශනය නරඹනවා වෙනුවට ක්‍රියාකාරීව සම්බන්ධ විය හැකි සංදර්ශක මධ්‍යස්ථාන, ප්‍රදර්ශකයන්ගේ වෘත්තීය අත්දැකීම් විදහා දක්වන සුවශේෂී ‘Story Corners’ සහ මෙරට මැණික් පතල් කැණීම් ක්ෂේත්‍රය පිළිබඳ දුර්ලභ දසුන් ඇතුළත් Virtual Reality අත්දැකීම් හරහා ශ්‍රී ලාංකේය මැණික් පතලේ සිට වෙළෙඳපොළ දක්වා ගමන් කරන ආකාරය දැකගත හැකිය. තිරසාරභාවය, සදාචාරාත්මක මූලාශ්‍රවලින් මැණික් ලබා ගැනීම සහ නවෝත්පාදනය මෙවර ප්‍රදර්ශනයේ ප්‍රධාන තේමා වන අතර, එමගින් මෙරට මැණික් කර්මාන්තය එහි සුවිශේෂී වූ ශිල්පීය ගුණාංග ආරක්ෂා කරගනිමින් ගෝලීය ප්‍රමිතීන්ට අනුකූලව ඉදිරියට ගෙන යාමට අපේක්ෂා කෙරේ.
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මැණික් අපනයනකරුවන් සහ ස්වර්ණාභරණ වෙළෙඳුන් එකොළොස් දෙනකුගෙන් සමන්විත නිල් මැණික් අනුග්‍රාහක කවය (Sapphire Sponsorship Circle) මගින් FACETS Sri Lank 2026 ප්‍රදර්ශනය තවදුරටත් ශක්තිමත් කෙරෙන අතර ඔවුන්ගේ මෙම සහයෝගීතාවෙන් ක්ෂේත්‍රයේ පවතින එකමුතුකම, විශ්වාසය සහ පොදු දැක්ම මැනවින් පිළිබිඹු කරයි. තවද ඔවුන්ගේ මෙම කැපවීම, ලොව පුරා සිටින ගැනුම්කරුවන්, ආයෝජකයන් සහ මැණික් ක්ෂේත්‍රයට ලැදි පිරිස් ආකර්ෂණය කර ගන්නා මෙරට වැදගත්ම ජාත්‍යන්තර මැණික් හා ස්වර්ණාභරණ ප්‍රදර්ශනය ලෙස FACETS සතු ස්ථානය තවදුරටත් තහවුරු කරයි.
FACETS Sri Lanka සභාපති අර්මිල් සමූන් මහතා සිය අදහස් දක්වමින් මෙසේ ප්‍රකාශ කළේය.
“වසර 33ක් පුරා FACETS හරහා ලොවට හෙළිදරව් කරන්නේ අපේ රටේ මිනිසුන් සහ මැණික් අතර ඇති සුවිශේෂී සහ සහසම්බන්ධ බැඳීමයි. පොළොවෙන් මැණික් නිධන් සොයා ගන්නා පතල්කරුවාගේ සිට එම මැණික්වලට කලාත්මක අගයක් එක් කරන දූරදර්ශී නිර්මාණකරුවා දක්වා වූ සමස්ත පිරිස මෙම වේදිකාව හරහා අප එකිනෙකාට සම්බන්ධ කරනවා. එමඟින් සෑම මැණික් ගලකටම අලංකාරයට එහා ගිය සදාචාරාත්මක සහ විශ්වසනීය වටිනාකමක් හිමි වෙනවා. FACETS 2026 යටතේ අප සියලු දෙනා එක්වන්නේ හුදෙක් ප්‍රදර්ශනයකට පමණක් නොවෙයි, අපේ දිවයිනේ සුන්දරත්වය හා සමාන වූ දීප්තිමත් සහ තිරසාර ගෝලීය මැණික් කර්මාන්තයක අනාගතය වෙනුවෙන් වූ පොදු මෙහෙවරක් සඳහායි.”
ජාත්‍යන්තර නියෝජිතයන් හට වඩාත් සුවිශේෂී අත්දැකීමක් ලබා දීම වෙනුවෙන් Universal Travel Bureau (UTB) ආයතනය FACETS Sri Lanka 2026 හි නිල සංචාරක සහකරු ලෙස කටයුතු කරයි. ප්‍රදර්ශනයට පෙර සහ පසු ක්‍රියාත්මක වන පරිදි සැකසූ සුවිශේෂී සංචාරක වැඩසටහන් මගින් විදේශීය අමුත්තන්ට ප්‍රදර්ශන කුටිවලින් ඔබ්බට ගොස් ශ්‍රී ලංකාවේ සුන්දරත්වය අත්විඳීමට අවස්ථාව සැලසේ. විශේෂයෙන්ම, දිවයිනේ සියවස් ගණනාවක් පැරණි සම්ප්‍රදායික හා තිරසාර මැණික් කැණීමේ ක්‍රමවේද සජීවීව දැකබලා ගත හැකි පතල් චාරිකා මෙයට ඇතුළත් වේ. මෙමගින් FACETS යනු හුදෙක් වෙළෙඳ ප්‍රදර්ශනයක් පමණක් නොව, ව්‍යාපාරික සබඳතා සමග මෙරට සංස්කෘතිය හා උරුමය ගැඹුරින් යා කරන වැඩසටහනක් බවට පත් වේ.
පසුගිය වසර 30ක කාලය තුළ FACETS ප්‍රදර්ශනය ජාත්‍යන්තරව පිළිගත් ඉහළම තලයේ ප්‍රදර්ශනයක් දක්වා පරිණාමය වී ඇති අතර, එමඟින් ශ්‍රී ලංකාව ගෝලීය මැණික් හා ස්වර්ණාභරණ සිතියමේ ප්‍රමුඛතම ස්ථානයක රඳවා තැබීමට සමත්ව තිබේ. විශේෂයෙන්ම නිල් මැණික් (Cornflower blue), පද්මරාග (Padparadscha) සහ ටීල් (Teal) වැනි අති දුර්ලභ මෙන්ම විශිෂ්ට ගණයේ නිල් මැණික් වර්ග සඳහා ශ්‍රී ලංකාව ලොව පුරා ඉහළ කීර්තියක් උසුලයි. මැණික් වර්ග 50කට අධික සංඛ්‍යාවක නිවහන වන ශ්‍රී ලංකාව, සිය ස්වභාවික සම්පත්වල ඇති අසමසම ආකර්ෂණය හරහා තවදුරටත් ගෝලීය වෙළඳපොළ පාලනය කරමින් සිටියි.
FACETS Sri Lank 2026 ප්‍රදර්ශනය, මෙරට අභිමානවත් අතීත උරුමය සමරන අතරම අනාගත වර්ධනය සහ නව අවස්ථා කෙරෙහි ද අවධානය යොමු කරයි. එය සාම්ප්‍රදායික ශිල්පීය දක්ෂතාව, නවීන තාක්ෂණය සහ ගෝලීය වෙළෙඳ අවස්ථාවන් ලෝක මට්ටමේ ප්‍රදර්ශන පරිශ්‍රයක් තුළ එකම ස්ථානයකට ගෙන එයි. එමගින් ප්‍රදර්ශන ඉතිහාසයේ වඩාත්ම සුවිශේෂී සහ අර්ථවත් සන්ධිස්ථානයක් සනිටුහන් කිරීමට මෙවර 33වන අදියර සමත්ව තිබේ.
COMMENTS