• පසුගිය වසරේදී රුපියල් බිලියන 60 ක වටිනාකමක් තිබූ අති දැවැන්ත කර්මාන්ත ක්ෂේත්‍රයක්

ඉසව් කළමනාකරණ  (Event Management) කර්මාන්ත ක්ෂේත්‍රය නව මානයකට ගෙන යමින් ශ්‍රී ලංකාවේ පළමුවන ඉසව් දින දර්ශනය  (Sri Lanka Event Calendar) කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා කොළඔදී එළිදැක්වුණි.

කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය විසින් හඳුනාගත් නව කර්මාන්ත ක්ෂේත්‍ර අතරින් ප්‍රමුඛතම ස්ථානයක් ඉසව් කළමනාකරණ කර්මාන්ත ක්ෂේත්‍රයට හිමිවන අතර, එය පසුගිය වසරේදී (2025) රුපියල් බිලියන 60 ක වටිනාකමක් සහිත අති දැවැන්ත කර්මාන්ත ක්ෂේත්‍රයක් වෙයි.

මෙම කර්මාන්ත ක්ෂේත්‍රය තවදුරටත් සංවර්ධන කරමින් ක්ෂේත්‍රයේ නියුතු ව්‍යවසායකයන්ට තම කර්මාන්තය හා වෙළෙඳපොළ ප්‍රවර්ධනය කිරීම අරමුණු කරගනිමින් ශ්‍රී ලංකාවේ පැවැත්වෙන සියලු‍ම ඉසව් ඇතුළත් කරමින් කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශයේ මඟපෙන්වීම යටතේ ඉසව් කළමනාකරණ උපදේශන කම්ටුව විසින් මෙම “ශ්‍රී ලංකා ඉසව් දින දර්ශන” සකස්කර තිබේ. ගෝලීය සංචාරක කර්මාන්තය සමග බද්ධ වෙමින් සංස්කෘත්ක උත්සව, ක්‍රීඩා, ඉහළ මට්ටමේ රැස්වීම් හා සම්මන්ත්‍රණ, ප්‍රදර්ශන ඇතුළු මෙරට පැවැත්වෙන ප්‍රමුඛ පෙළේ දේශීය හා විදේශීය වැඩසටහන් පිළිබඳව නිල මඟපෙන්වන්නා ලෙස මෙම “ශ්‍රී ලංකා ඉසව් දින දර්ශනය” කටයුතු කරනු ඇත. 

මෙහිදී අදහස් දැක් වූ කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා, මෙරට භූගෝලීය පිහිටීම අනුව මෙම ක්ෂේත්‍රයේ ඉතා හොඳ අවස්ථාව රැසක් නිතැතින්ම ලැබී ඇති බවත්, විශාල විදේශ විනිමය ප්‍රමාණයක් උපයන, අති විශාල වක්‍ර රැකියා අවස්ථා රැසක් උදාකර ඇති මෙම කර්මාන්තය සඳහා අවශ්‍ය පහසුකම් සපයමින් උපරිම දායකත්වය ලබා දෙන බව පවසා තිබේ. එසේම සංචාරක කර්මාන්තය දිරිමත් කරමින් ශ්‍රී ලංකාව ඉසව් කළමනාකරණ කේන්ද්‍රස්ථානය බවට පත්කිරීම තම අමාත්‍යාංශයේ අරමුණ බවද හඳුන්නෙත්ති අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර ඇත.