• ඕනෑම අවස්ථාවක  ශ්‍රී ලංකා රජය වෙනුවෙන් සහයෝගය  ලබාදීමට කැමැත්ත
  • උද්ධමනය පාලනය කිරීම,  ණය ප්‍රතිව්‍යුහගතකරණය  කිරීම, විදේශ සංචිත  ඉහළ යාම ආදිය  පිළිබඳව අවධානය
ශ්‍රී ලංකාව ඉතා කෙටි කාලයක් තුළ අත්පත් කරගෙන ඇති ආර්ථික ජයග්‍රහණ පිළිබඳව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නියෝජ්‍ය මහලේකම් Mrs Armida Salsiah Alisjahbana මහත්මිය සිය ප්‍රශංසාව පළ කළ බව සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබල ගැන්වීම් අමාත්‍යාංශය පවසයි. 
සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබල ගැන්වීම් අමාත්‍ය මහාචාර්ය උපාලි පන්නිල මහතා සහ නියෝජ්‍ය මහලේකම්වරිය අතර තායිලන්තයේදී පැවැත්වුණු සාකච්ඡාවකදී ඇය මෙම අදහස් පළ කර තිබේ. පසුගියදා තායිලන්තයේ බැංකොක් නුවරදී පැවැත්වුණු ආසියා පැසිෆික් රටවල් සඳහා වන එක්සත් ජාතීන්ගේ ආර්ථික හා සමාජ කොමිසමේ (ESCAP) 82 වැනි සැසිවාරය අතරතුර මෙම හමුව සිදුව තිබේ. 
මහලේකම්වරිය ESCAP හි විධායක ලේකම්වරියද වෙයි. 
 
විශේෂයෙන්ම ශ්‍රී ලංකාව එක්සත් ජාතීන්ගේ සංවිධානය සමග සහයෝගයෙන් කටයුතු කිරීම සම්බන්ධයෙන්ද ඇය මෙහිදී සිය ප්‍රශංසාව පළ කර තිබේ.
එමෙන්ම ඕනෑම අවස්ථාවක ශ්‍රී ලංකා රජය වෙනුවෙන් සහයෝගය ලබාදීමට තම සංවිධානය සූදානම් බවද ඇය අවධාරණය කර තිබේ. 
සාකච්ඡාවේදී විශේෂයෙන් ශ්‍රී ලංකාව වර්තමානය වන විට අත්පත් කරගෙන ඇති ආර්ථික ජයග්‍රහණ පිළිබඳව එක්සත් ජාතීන්ගේ සංවිධානය දැනුවත් කළ අතර උද්ධමනය පාලනය කිරීම, ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීම, විදේශ සංචිත ඉහළ යාම සහ විවිධ අභියෝග හමුවේ රටේ ආර්ථිකය ස්ථාවරව පවත්වාගෙන යාම ආදී කරුණු පිළිබඳව අවධානය යොමු කෙරී තිබේ. 
එමෙන්ම දිළිඳුකම තුරන් කිරීම සඳහා ක්‍රියාත්මක කර ඇති ප්‍රජා ශක්ති ජාතික වැඩසටහන පිළිබඳවත් සමාජ ආරක්ෂණය හා සවිබල ගැන්වීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් ද නියෝජ්‍ය මහලේකම්තුමියගේ අවධානයට යොමු කර ඇත.