ආසියාවේ වඩාත් ආකර්ෂණීය සංචාරක ගමනාන්තයක් ලෙස ශ්‍රී ලංකාව යළිත් වරක් ලොව පුරා අවධානය දිනාගනිමින් සිටින පසුබිමක, හම්බන්තොට Shangri-La Hambantota Golf Resort & Spa නිවාඩු නිකේතනය මෙරට ජාත්‍යන්තර මංගල උත්සව සඳහා වන ප්‍රමුඛතම ගමනාන්තයක් ලෙස ස්ථානගත කිරීමේ ප්‍රබල බලවේගයක් බවට පත්ව තිබේ. 

විශාලත්වය, වටපිටාව සහ අසමසම අත්දැකීම් යන සියල්ලේ මනා සංකලනයක් ලෙස නැගී එන මෙම නිවාඩු නිකේතනයේ ශක්තිය මූර්තිමත් කරමින් පසුගිය මාර්තු මාසයේ දී අති උත්කර්ෂවත් ජාත්‍යන්තර මංගල සැමරුමක් එහිදී පවත්වනු ලැබීය.

Gulf-O-Flex සහ Rubber World Industry Global ආයතනවල කළමනාකාර අධ්‍යක්ෂ, ව්‍යවසායක මුජ්තබා ෂෙයිකානි මහතා සහ මුම්බායි හි සුප්‍රකට සෞන්දර්ය වෛද්‍ය විශේෂඥවරියක වන වෛද්‍ය හෆ්ෂා මෙනෙවියගේ විවාහ මංගල්‍යය මෙලෙස එම වෙරළබඩ නිවාඩු නිකේතනයේ දී පැවැත්වුණි. දින කිහිපයක් පුරා පැවැත්වුණු මෙම දැවැන්ත සැමරුම සුවිශේෂී තේමා යටතේ සංවිධානය වූ උත්සව 21කින් සමන්විත වූ අතර, ඒ සඳහා එක්සත් අරාබි එමීර් රාජ්‍යය, ඉන්දියාව, පකිස්ථානය, එක්සත් රාජධානිය සහ ශ්‍රී ලංකාව නියෝජනය කරමින් අමුත්තන් රැසක් සහභාගී වූහ. මෙම උත්සව මාලාව හරහා දකුණු වෙරළ තීරය සංස්කෘතික විවිධත්වයෙන් සහ ගෝලීය සබඳතාවලින් පිරුණු උත්සව සිරියක් ගත්තේය.

මෙවැනි ජාත්‍යන්තර සැමරුම්වල පවතින වැදගත්කම තහවුරු කරමින් ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා ද මෙම උත්සව අවස්ථා සඳහා සහභාගී වූ අතර, එය මෙරට සංචාරක ක්ෂේත්‍රයේ ‘Destination Wedding’ සංකල්පයේ වර්ධනයට ලැබෙන ඉහළ අවධානය පෙන්නුම් කරන සාධකයකි. ඉන්දියන් සාගරයට මුහුණලා හෙක්ටයාර 58ක නිවර්තන කලාපීය භූමි භාගයක පැතිර ඇති Shangri-La Hambantota Golf Resort & Spa නිවාඩු නිකේතනය, මෙවැනි මහා පරිමාණ සහ බහු-ආකෘතික උත්සව සඳහා අවශ්‍ය ඉඩකඩ සහ පහසුකම් සතු මෙරට පවතින එකම ස්ථානයක් ලෙස සැලකේ. වෙරළ තීරයේ පැවැත්වෙන සන්ධ්‍යා සැමරුම්වල සිට අතිශය සංකීර්ණ තේමා සහිත රාත්‍රී උත්සව දක්වා ඕනෑම මට්ටමක මංගල උත්සවයක් සංවිධානය කිරීමට ඇති හැකියාව මෙම නිකේතනය කලාපීය වශයෙන් අසමසම තත්වයට පත් කරයි.

මෙවැනි උත්සවවල බලපෑම හුදු සැමරුමකට පමණක් සීමා නොවන අතර, එමඟින් දේශීය ආර්ථිකයට ලැබෙන දායකත්වය අති මහත්ය. මහා පරිමාණ ජාත්‍යන්තර මංගල උත්සවවලින් මල් සැරසිලිකරුවන්, නිර්මාණකරුවන්, විනෝදාස්වාද සපයන්නන් සහ ප්‍රවාහන සේවා සපයන්නන් ඇතුළු දකුණු පළාතේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් රැසකට ආදායම් මාර්ග උදා වේ. සෑම මංගල උත්සවයක්ම දින කිහිපයක් පුරා පවතින බැවින්, එමගින් ප්‍රාදේශීය ප්‍රජාවගේ ජීවනෝපාය ශක්තිමත් වනවා සේම ශ්‍රී ලංකාවේ ආගන්තුක සත්කාර හැකියාව ලෝකයට ප්‍රදර්ශනය කිරීමට ද අවස්ථාව ලැබේ.

මීට පෙර ද මෙවැනි ජාත්‍යන්තර මංගල උත්සව රැසකට සත්කාරකත්වය ලබා දී ඇති ෂැංග්‍රිලා හම්බන්තොට නිකේතනය, දැනට තහවුරු කර ඇති දත්තවලට අනුව මේ වසරේ දී තම ‘Destination Wedding’ වෙන් කිරීම් දෙගුණයකින් වර්ධනය කර ගැනීමට සමත්ව තිබේ. මෙය සමස්ත සංචාරක කර්මාන්තයේ ලැබුණු සුබදායී පණිවිඩයකි. 

මේ පිළිබඳව අදහස් දක්වමින් ෂැංග්‍රිලා හම්බන්තොට සාමාන්‍යාධිකාරී රෙෆාන් රාසීන් මහතා සඳහන් කළේ, මෙවැනි දැවැන්ත සැමරුම් මෙරට දී පැවැත්වීම ශ්‍රී ලංකාවේ සුවිශේෂී හැකියාව ලොවට හඳුන්වා දීමට ලැබුණු කදිම අවස්ථාවක් බවයි. මංගල උත්සව යනු හුදෙක් පෞද්ගලික සැමරුම් පමණක් නොව, ගෝලීය සංචාරකයන් මෙරටට ගෙන්වා ගනිමින් දේශීය ප්‍රජාවට අවස්ථා උදා කරන සංචාරක ක්ෂේත්‍රයේ වැදගත් අංගයක් බව ද ඔහු වැඩිදුරටත් පැවසීය.