
මෙරට මුලින්ම පිහිටුවන ලද අර්ථසාධක අරමුදල්වලින් එකක් වන ලංකා වැවිලිකරුවන්ගේ අර්ථසාධක සංගමය 2026 මාර්තු 10 වැනි දින සිය ශත සංවත්සරය මහත් අභිමානවත්ව සමරන ලදී. මෙම සංගමය නිල වශයෙන් අදින් වසර සියයකට පෙර මහනුවරදී ආරම්භ කළ අතර වෘත්තීය වැවිලිකරණයෙහි නියුතු වැවිලිකරුවන්ගේ විශ්‍රාම ජීවිතය සුරක්ෂිත කිරීම මෙම අරමුදලෙහි අරමුණ විය.
ස්වේච්ඡා විශ්‍රාමික ඉතුරුම් ක්‍රමයක් ලෙස සාමාජිකයන් 331කින් ආරම්භ වූ මෙම අරමුදල වසරින් වසර ශක්තිමත්ව වර්ධනය වෙමින් අද වනවිට සාමාජිකයන් 1700කට අධික සංඛ්‍යාවක් බවට පත්ව ඇත. 1946 වනවිට සිය මූලික අභිප්‍රාය වූ සාමාජිකයන් 750ක ඉලක්කය සපුරා ගැනීමට ලංකා වැවිලිකරුවන්ගේ අර්ථසාධක සංගමය සමත් වූ අතර මෙම අරමුදලෙහි වර්ධනය සඳහා සේවක අර්ථසාධක අරමුදල් පනතෙන් විශාල සහායක් හිමි වූයේ එය අනිවාර්ය දායකත්ව අරමුදලක් වූ නිසාය.
“ශ්‍රී ලංකාවේ වැවිලි කර්මාන්තයට තම සේවා ජීවිතය කැප කළ අයට යුතුකම් ඉටු කිරීමේ අවශ්‍යතාව හඳුනාගත් ප්‍රජාවක දූරදර්ශී ක්‍රියාවක් ලෙස ලංකා වැවිලිකරුවන්ගේ අර්ථසාධක සංගමය, සාමාජිකයන් 331 කින් ආරම්භ වී අද වනවිට සාමාජිකත්වය 1,700 කට අධික සංඛ්‍යාවක් දක්වා වර්ධනය වෙමින් වසර 100ක් පුරා සිය ආරම්භක දර්ශනයේ අඛණ්ඩ පැවැත්ම තවදුරටත් සනාථ කර තිබේ. ලංකා වැවිලිකරුවන්ගේ අර්ථසාධක සංගමය සිය දෙවැනි ශතවර්ෂයට පිවිසෙන්නේ අතීතයේ සලකුණක් ලෙස නොව, එය ස්ථාපිත කරන ලද ප්‍රජාවේ අනාගතය සුරක්ෂිත කිරීමට කැප වූ ජීවමාන ආයතනයක් ලෙසයි,” යනුවෙන් ලංකා වැවිලිකරුවන්ගේ සංගමය පැවසීය.
විශ්‍රාමික දීමනාවට ඔබ්බෙහි වූ සේවා වෙත යොමු වෙමින් සංගමය විසින් නිවාස ණය, අධ්‍යාපන සහාය, ජීවිත රක්ෂණ ආදී ශ්‍රී ලංකාවේ වැවිලි වෘත්තිකයන් සඳහා සියලු අංශ ආවරණය කරන පූර්ණ සමාජ ආරක්ෂණ පැකේජයක් මේ වනවිට නිර්මාණය කර ඇත.
ලංකා වැවිලිකරුවන්ගේ අර්ථසාධක සංගමයේ ආරම්භය 1919 වසර දක්වා අතීතයට දිව යයි. එවකට හපුතලේ දිස්ත්‍රික් වැවිලිකරුවන්ගේ සංගමය විසින් වගාකරුවන් සඳහා විශ්‍රාම අරමුදලක් ස්ථාපිත කිරීමේ අවශ්‍යතාව අවධාරණය කරමින් ලංකා වැවිලිකරුවන්ගේ සංගමයට ලිපියක් යොමු කරන ලදී. ඒ අනුව, කර්නල් ටී.වයි. රයිට්ගේ සභාපතිත්වයෙන් යුතු උපකමිටුවක් පත් කර කෙටුම්පත් යෝජනා ක්‍රමයක් සකස් කරන ලද අතර, පසුව එය වෘත්තීය ජීව ගණිතඥ ^actuarial& සමාලෝචනය සඳහා ලන්ඩනයේ සීලෝන් ඇසෝසියේශන් වෙත යොමු කරන ලදී.
1921 වනවිට ඉංග්‍රීසි ජීව ගණිතඥයන් සමග පැවැත්වූ සාකච්ඡා මඟින් ක්‍රියාත්මක කළ හැකි රක්ෂණ යෝජනා ක්‍රමයක් සකස් කර තිබූ අතර, ඒ සමගම වැවිලිකරුවන්ගේ ආදායම් අස්වැන්න හා මෝසම් චක්‍රයට අනුව වෙනස් වන ස්වභාවය සැලකිල්ලට ගනිමින්, නම්‍යශීලී ආයෝජන අරමුදලක් පිහිටුවීම පිළිබඳ සමාන්තර සාකච්ඡා ද පැවැත්විණි. 1923 දී, කළුතර දිස්ත්‍රික් අංක 2 කමිටුව විසින් යෝජිත අරමුදල දිවයින පුරා සියලු වෘත්තීය වැවිලි සේවකයන් සඳහා අනිවාර්ය කිරීමට අදාළ යෝජනාවක් ගෙන එමින් එය සම්මත කර ගන්නා ලදී. පුළුල් නීතිමය සංශෝධන සහ ලංකා වතු දේපල සංගමය සමග සිදු කළ උපදේශන ක්‍රියාවලියෙන් අනතුරුව, 1926 මාර්තු 10 වැනිදා මහනුවරදී නිල වශයෙන් ලංකා වැවිලිකරුවන්ගේ අර්ථසාධක සංගමය ආරම්භ කරන ලදී.
“සංගමයේ භාරකරු ලෙස ලංකා වැවිලිකරුවන්ගේ සංගමය, එය ස්ථාපිත කරන ලද ප්‍රගතිශීලී මූලධර්ම සදාකාලිකව ආරක්ෂා කරමින් ක්‍රියා කර ඇත. අපගේ කැපවීම සෑම විටම අපගේ සාමාජිකයන්ගේ හිමිකම් සුරක්ෂිත කිරීම, වගකීම් සහගත හා සූක්ෂම මූල්‍ය කළමනාකරණයක් සහතික කිරීම සහ වෙනස් වන ආර්ථික හා නියාමන පරිසරයට වගකීම් සහිතව අනුවර්තනයවීම යන මූලධර්ම වෙත යොමු වී ඇත.. ලංකා වැවිලිකරුවන්ගේ අර්ථසාධක සංගමය, එහි අඛණ්ඩ පැවැත්ම සහ වර්ධනය යහපත් පාලනය, සාමූහික විශ්වාසය සහ දිගුකාලීන ආරක්ෂාව සඳහා වූ එක්සත් කැපවීමේ සජීවී සාක්ෂියකි.”
“අපි අභිමානවත් ශත සංවත්සරික සැමරුම් සන්ධිස්ථානයක් වෙත එළැඹ සිටින අතර, සංගමය ස්ථාපිත කරන ලද මූලික අගයන් ආරක්ෂා කර ශක්තිමත් කිරීම සඳහා වූ කැපවීම නැවත තහවුරු කිරීමද අවධාරණය කර සිටිනවා. එමෙන්ම අනාගත පරපුර සඳහාත්, අඛණ්ඩතාව, ස්ථාවරත්වය සහ විශිෂ්ටත්වය සමඟින් අපගේ සාමාජිකයන්ට සේවය කිරීම අපගේ අරමුණයි,” යනුවෙන් ලංකා වැවිලිකරුවන්ගේ සංගමයේ මහලේකම් ලලිත් ඔබේසේකර මහතා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd