ශ්‍රී ලංකන් ගුවන් සේවය 2026 අගෝස්තු 02 දින සිට කොළඹ සහ ඕස්ට්‍රේලියාවේ මෙල්බන් නගරය අතර සතියකට ක්‍රියාත්මක වන ගුවන් ගමන් වාර ගණන 10 ක් දක්වා වැඩි කිරීමට තීරණය කර තිබේ. ඉහළ යන ඉල්ලු‍ම සහ වෙනස් වන වෙළෙඳපොළ තත්වය සැලකිල්ලට ගනිමින් මෙලෙස සතිපතා අමතර ගුවන් ගමන් වාර 3 ක් ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇත. 

මෑතක සිට ඕස්ට්‍රේලියාවේ සිට ලංකාවට පැමිණෙන සංචාරකයන් මෙන්ම සිය නෑදෑ හිතවතුන් බැලීම සඳහා එරට සිට මෙරටට පැමිණෙන මගීන් සංඛ්‍යාව ක්‍රමයෙන් වර්ධනය වෙමින් පවතී. 

නව ගුවන් ගමන් සතිපතා කොළඹ සිට අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ ඉරිදා දිනවල ක්‍රියාත්මක වේ. UL608 ලෙස කොළඹින් පැය 14:10 ට පිටත් වන මෙම ගුවන් යානය පසු දින පැය 04:30 ට මෙල්බන් නගරය වෙත ළඟා වනු ඇත. ආපසු පැමිණෙන ගුවන් යානය ඹඛ609 ලෙස බදාදා, සිකුරාදා සහ සඳුදා දිනවල මෙල්බන් නගරයෙන් පැය 06:00 ට පිටත් වී පැය 12:15 ට කොළඹට ළඟා වේ. 

මෙම අතිරේක ගුවන් ගමන් වාරවලට අමතරව කොළඹ සහ මෙල්බන් අතර මෙතෙක් ක්‍රියාත්මක වූ සුපුරුදු UL604 දෛනික ගුවන් ගමන් එලෙසින්ම ක්‍රියාත්මක වේ. මෙම ගුවන් යානා දිනපතා පැය 00:20 ට කොළඹින් පිටත් වී පැය 14:20 ට මෙල්බන් වෙත ළඟා වන අතර, පැය 16:10 ට මෙල්බන් නගරයෙන් පිටත් වී පැය 22:25 ට කොළඹට ළඟා වේ.