සභාපති නුසිත් කුමාරතුංග

ප‍්‍රධාන විධායක නිලධාරී නලින් සුබසිංහ

  • ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රුපියල් බිලියන 32.6 දළ වාරික ආදායමක් සමග රුපියල් 24 ක වර්ධනයක් 
  • 2025 දී සියයට 42 ක වර්ධනයක් සමග නව ව්‍යාපාරවලින් වාර්තාගත රුපියල් බිලියන 7.56 ක්
  • රුපියල් බිලියන 1.35ක් වූ මාසික සාමාන්‍ය ජීවිත රක්ෂණ හිමිකම් ගෙවීම් සමගින් 2025 වසරේදී හිමිකම් සහ කල්පිරීම් සඳහා රුපියල් බිලියන 16.2ක සුවිශේෂී ගෙවීමක්

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2025 වර්ෂයේදී ශක්තිමත් සහ ස්ථාවර මූල්‍ය කාර්ය සාධනයක් වාර්තා කර ඇති අතර, එය තිරසාර වර්ධනය, සැලසුම්ගත ක්‍රියාත්මක කිරීම් සහ අඛණ්ඩ පාරිභෝගික විශ්වාසය තහවුරු කරයි.

සමාගම 2025 වසර සඳහා රුපියල් බිලියන 4.3ක බදු පෙර ලාබයක් වාර්තා කළ අතර, දළ වාරික ආදායම (GWP) සියයට 24 ක වර්ධනයක් සමග රුපියල් බිලියන 32.6ක් විය. එමෙන්ම, නව ව්‍යාපාර ආදායම රුපියල් බිලියන 7.56ක් ලෙස වාර්තා කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සමත් වූ අතර එය සියයට 42 ක වර්ධනයකි. මෙම කාර්ය සාධනය, ප්‍රමුඛ ජීවිත රක්ෂණ සමාගම් අතර ඉහළම වර්ධනයක් සනිටුහන් කරමින්, සමාගමේ ශක්තිමත් වෙළෙඳපොළ ගම්‍යතාවත්, පුළුල් වන පාරිභෝගික ප්‍රවේශයත් පිළිබිඹු කරයි.

පාරිභෝගිකයන් වෙත ලබා දුන් පොරොන්දු ඉටු කරමින්, ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC LIfe) විසින් පසුගිය වසර තුළ හිමිකම් සහ කල්පිරීමේ ප්‍රතිලාභ ලෙස රුපියල් බිලියන 16.2ක් ගෙවා ඇති අතර, 2024 දී ක්‍රියාත්මක රක්ෂණ ඔප්පු සඳහා 2025 වසරට අදාළව රුපියල් බිලියන 12.5ක බෝනස් ප්‍රතිලාභ ද ප්‍රකාශයට පත් කර ඇත. එය ශ්‍රී ලංකා ජීවිත රක්ෂණ කර්මාන්තයේ ඉහළම වාර්ෂික බෝනස් දීමනාව ලෙස සනිටුහන් වේ.

මෙම ප්‍රකාශය සමග, 2006 සිට රක්ෂණ ඔප්පු හිමියන්ට ගෙවා ඇති සමුච්චිත ප්‍රසාද දීමනාව රුපියල් බිලියන 116.6 දක්වා ඉහළ යන අතර ඒ අනුව, වසරින් වසර කර්මාන්තයේ ප්‍රමුඛ ප්‍රතිලාභ ලබා දීමේ සමාගමේ ස්ථාවර කාර්යසාධන වාර්තාව තවදුරටත් ශක්තිමත් වේ.

සමාගමේ මූල්‍ය ශක්තිය තවදුරටත් ශක්තිමත්ව පවත්වා ගනිමින්, මුළු වත්කම් ප්‍රමාණය රුපියල් බිලියන 275 දක්වා ඉහළ ගොස් ඇති අතර ඒ සමගම, ජීවිත රක්ෂණ අරමුදල රුපියල් බිලියන 247 දක්වා වර්ධනය වෙමින්, කර්මාන්තයේ විශාලතම ජීවිත රක්ෂණ අරමුදල ලෙස සමාගමේ ස්ථානය තවදුරටත් ශක්තිමත් කරගැනීමට හැකි වී ඇත.

විශේෂයෙන්ම, රුපියල් බිලියන 1.4ක බදු මුදලක් රජයට ගෙවීමෙන් ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC LIfe) රටේ ජාතික සංවර්ධනයට සහ ආර්ථික ස්ථායීතාවට විශාල දායකත්වයක් ලබා දේ. 

තම අලෙවි බලකායේ වෘත්තීය ජයග්‍රහණ තවදුරටත් විදහා දක්වමින්, ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2025 දී MDRT ජයග්‍රාහකයන් 351ක් වාර්තා කළ අතර මෙය සමාගමේ ඉතිහාසයේ වාර්තාගත ඉහළම MDRT ජයග්‍රාහකයන් සංඛ්‍යාව වේ. ඒ හරහා අලෙවි බලකායේ වෘත්තීයභාවය, ඵලදායිතාව සහ කැපවීම පැහැදිලිව පිළිබිඹු කරයි.

මේ සම්බන්ධව අදහස් දක්වමින්, ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ප්‍රධාන විධායක නිලධාරී නලින් සුබසිංහ මහතා අවධාරණය කළේ, “2025 වසරේ කාර්ය සාධනය තුළින් විනයගරුක ක්‍රියාත්මක කිරීම, ශක්තිමත් පාරිභෝගික විශ්වාසය සහ අපගේ කාර්ය මණ්ඩලයේ විශිෂ්ට කැපවීම පැහැදිලිව පිළිබිඹු වේ. පාරිභෝගික කේන්ද්‍රීයභාවය සහ මෙහෙයුම් විශිෂ්ටත්වය කෙරෙහි අපගේ අඛණ්ඩ අවධානය, ඉදිරි වසරවල තිරසාර වර්ධනයක් සඳහා අපව ශක්තිමත් ලෙස ස්ථානගත කර ඇත” බවයි.

ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් හි සභාපති නුසිත් කුමාරතුංග මහතා තම අදහස් ප්‍රකාශ කරමින් සඳහන් කළේ, “ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, නිරන්තරයෙන්ම තම ශක්තිය සහ දිගුකාලීන ස්ථාවරත්වය අඛණ්ඩව පිළිබිඹු කරයි. මෙම ජයග්‍රහණ අපගේ කාර්ය මණ්ඩලයේ කැපවීම සහ උත්සාහය පැහැදිලිව පිළිබිඹු කරන අතර, ඔවුන්ගේ දායකත්වය රටේ ආර්ථික ප්‍රගතියට අර්ථවත් දායකත්වයක් ලබා දෙමින් තිරසාර වර්ධනයක් ළඟා කර ගැනීමට මගපෙන්වා ඇත” යන්නයි.‍

මෙම ගම්‍යතාව මත ගොඩනැගෙමින්, සමාගම 2026 වසර ආරම්භයේ දී රුපියල් බිලියන 3.2 ක දළ වාරික ආදායමක් වාර්තා කළ අතර එය වසරින් වසර සියයට 22 ක වර්ධනයක් පිළිබිඹු කළ අතර, නව ව්‍යාපාර ආදායම රුපියල් මිලියන 717.6ක් වූ අතර එය සියයට 20 ක වැඩිවීමක් සනිටුහන් කරමින් නව මූල්‍ය වර්ෂය තුළ අඛණ්ඩ ධනාත්මක ප්‍රගතියක් පෙන්වා දීමට සමත් විය.