ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සමූහ ව්‍යාපාරයක් වන ඩේවිඩ් පීරිස් සමූහ ව්‍යාපාරයේ විද්‍යුත් වාහන අංශය වන ඩේවිඩ් පීරිස් ඊ-මොබිලිටි (ප්‍රයිවට්) ලිමිටඩ් (David Pieris E-Mobility) විසින් මෙරට මෝටර් රථ ක්ෂේත්‍රයේ නොමැකෙන සලකුණක් සනිටුහන් කරමින් බජාජ් Chetak ඉලෙක්ට්‍රික් ස්කූටරය මෙරට වෙළෙඳපොළට යළි හඳුන්වාදීම පසුගියදා සිදු කෙරුණි.
1978 වසරේදී ප්‍රථම වරට හඳුන්වා දෙන ලද Bajaj Chetak සන්නාමය, දශක හතරකට අධික දිගු කාල පරිච්ඡේදයක් පුරා මෙරට පාරිභෝගිකයන්ගේ ඉහළම විශ්වාසය දිනා ගැනීමට සමත් විය. Bajaj Chetak සතු සුවිශේෂී කල්පැවැත්ම සහ පාරිභෝගියන් සමග ගොඩනගා ගත් සුවිශේෂී බැදීම හේතුවෙන්, ජපන් සන්නාම මෙරට යතුරුපැදි වෙළෙඳ‌පොළ ආක්‍රමණය කළ යුගයක වුව ඉහළ පාරිභෝගික ඉල්ලු‍මක් ඒ සඳහා හිමි විය. වසර 47ක් පුරා ගොඩනගා ගත් එම අභිමානවත් උරුමය සමග නවීන විදයුත් තාක්ෂණයද මුසු කරමින් Chetak ස්කූටරය යළිත් ලංකාවේ වෙළෙඳපොළට පැමිණ තිබේ.
3.1 kWක Hub මෝටරයකින් සහ 3.5 නඋයක ලිතියම්-අයන් බැටරියකින් සමන්විත මෙම ස්කූටරය නවීන නාගරික ජීවන රටාවට මැනවින් ගැළපෙන පරිදි නිර්මාණය කර ඇත. එක් ආරෝපණයක් ඔස්සේ කිලෝමීටර් 151ක උපරිම ධාවන පරාසයක් (IDC range) මේ ඔස්සේ පිරිනමන අතර, පැයට කිලෝමීටර් 63ක උපරිම වේගයකින් ධාවනය කළ හැකිය.
එමෙන්ම ස්කූටරයේ කල්පැවැත්ම සහ සුවපහසුව මෙහි ඇති ‘Steel Unibody’ ශක්තිමත් නිමාවෙන් සහතික කෙරේ. මෙහි අසුනට යටින් නිර්මාණය කර ඇති ලීටර් 35ක විශාල ඉඩකඩක් සහිත ගබඩා පහසුකම (Under-seat storage) මෙම කාණ්ඩයේ අනෙකුත් ස්කූටර්වලට සාපේක්ෂව මෙහි දක්නට ලැබෙන සුවිශේෂත්වයකි.
පදවන්නා වෙත උපරිම තාක්ෂණික අත්දැකීමක් ලබා දීම සඳහා පූර්ණ ඩිජිටල් තිරයක්, Bluetooth පහසුකම සහිත ජංගම යෙදුම් සබඳතාවක්, Eco සහ Sports ධාවන මාදිලි ද්විත්වයක් මෙන්ම කඳු සහිත මාර්ගවල පහසුවෙන් ධාවනය සඳහා Hill Hold Assist සමග රිවර්ස් පහසුකම් මෙන්ම දුරකථන ඇමතුම් සහ සංගීතය පාලනය කිරීමේ පහසුකම් ද මෙයට ඇතුළත් කර ඇත.
මෙම ස්කූටරය මෙරටට හඳුන්වා දීමට පෙර සමාගම විසින් දිවයින පුරා පිහිටි DPMC සම්බන්ධතා ස්ථාන 2,000කට ආසන්න සංඛ්‍යාවක පරීක්ෂණ උපකරණ, දෝෂ විනිශ්චය කිරීමේ ස්කෑනර්, පුහුණු කාර්මික ශිල්පීන් සහ අමතර කොටස් ඇතුළු පහසුකම් රැසක් ස්ථාපිත කරන ඇත. එමගින් අලෙවියෙන් පසු සේවා සහ අමතර කොටස් සඳහා අසමසම පාරිභෝගික සහායක් සහතික කෙරේ.
ඩේවිඩ් පීරිස් ඊ-මොබිලිටි සමාගම දැනටමත් ලංකාවේ විවිධ භූ විෂමතා සහිත මාර්ගවල කිලෝමීටර් 20,000කට වඩා වැඩි දුරක් පරීක්ෂණ ධාවනයන් සිදු කරමින් එහි ගුණාත්මකභාවය, කල්පැවැත්ම සහ කාර්යසාධනය තහවුරු කර තිබේ.
ඩේවිඩ් පීරිස් සමූහයේ දිවයින පුරා ව්‍යාප්ත අසමසම අලෙවියෙන් පසු සේවා ජාලයෙන් පාරිභෝගික විශ්වාසය තවදුරටත් ඉහළ නංවන අතර, විශ්වසනීයත්වය සහ පාරිභෝගික සත්කාරය වෙනුවෙන් සමූහය සිදුකළ දිගුකාලීන කැපවීම ඒ ඔස්සේ තවදුරටත් ශක්තිමත් කරයි. ඊට අමතරව ලංකාවේ ප්‍රථම වරට පැය 24 පුරා ක්‍රියාත්මක මාර්ගස්ථ සහායක සේවාවක් (24/7 Roadside Assistance) ද මීට සමගාමීව Chetak සදහා හඳුන්වා දීමට සමාගම කටයුතු කර ඇති අතර එය විද්‍යුත් වාහන ධාවකයන්ට සහනශීලි අත්දැකීමක් පිරිනමයි.