- වරාය නගර ව්‍යාපෘතිය සම්පූර්ණ කිරීමට තවත් ඩොලර් බිලියන 15ක ආයෝජන අවශ්‍යයි
- වරාය නගර ව්‍යාපෘතිය සම්පූර්ණවීමෙන් පසු රැකියා 80,000 ක පුරෝකථනයක්
- ආයෝජන අතරින් බොහෝමයක් ඉදිරි වසර දෙක තුළ ඉදිකිරීම් ඇරඹීමේ සූදානමක
- ගනුදෙනු සඳහා ශ්‍රී ලංකා රුපියල් හැර වෙනත් මුදල් ඒකක 16කට අනුමැතිය
භානුක අමරසිංහ
![]() |
| කොළඹ වරාය නගරයේ නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂ තුල්සි අලුවිහාරේ |
කොළඹ වරාය නගරය (CHEC Port City Colombo) සම්පූර්ණයෙන්ම මෙහෙයුම් ආරම්භ කිරීමත් සමගින්ම එය ශ්‍රී ලංකා ආර්ථිකය වෙත වාර්ෂිකව ඩොලර් බිලියන 14කට ආසන්න වටිනාකමක් එක් කරනු ඇතැයි කොළඹ වරාය නගරයේ නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂ තුල්සි අලුවිහාරේ මහතා පවසයි.
USA Today වෙබ් අඩවිය වෙත සම්මුඛ සාකච්ඡාවක් ලබා දෙමින් ඒ මහතා පසුගියදා මෙම කරුණු අනාවරණය කර තිබේ. PwC ආයතනයේ සිදුකළ ස්වාධීන ආර්ථික බලපෑම් ඇස්තමේන්තුවට අනුව මෙම අගය සටහන්ව තිබෙන බව ඒ මහතා මෙහිදී සඳහන් කර තිබේ.
“වර්තමානය අනුව සලකා බලන කොට එය දළ ජාතික නිෂ්පාදිතයෙන් සියයට 15 කට ආසන්න වශයෙන් සමානයි. මේ දක්වා කොළඹ වරාය නගරය වෙත අප සිදු කර ඇති ආයෝජනය ඩොලර් බිලියන 1.4 ක් පමණ වෙනවා. එහි මූලික සැලැස්ම සම්පූර්ණවීමට නම් තවත් ඩොලර් බිලියන 15ක ආයෝජන අවශ්‍ය වෙනවා.” ඒ මහතා පවසා තිබේ.
කොළඹ වරාය නගරයේ ඉදිකිරීම් හරහා මේ වන විට ආසන්න වශයෙන් රැකියා 3000ක් පමණ බිහි වී තිබෙන බවත් ඒ මහතා සඳහන් කර තිබේ.
එසේම ස්වාධීන අධ්‍යයන සහ මූලික සැලැස්මේ පුරෝකථන අනුව කොළඹ වරාය නගරය සම්පූර්ණයෙන්ම මෙහෙයුම් ආරම්භ කිරීමත් සමගින්ම එහි රැකියා 80,000 ක් පමණ බිහි වනු ඇති බවත්, ඔවුන් කොළඹ වරාය නගරයේ වෙසෙන 270,000 ක් පමණ වන තාවකාලික ජනගහනයට සහයෝගය දක්වනු ඇති බවත් අලුවිහාරේ මහතා පවසා ඇත.
මෙහිදී කොළඹ වරාය නගරයේ සිද කරන ප්‍රධානතම සංවර්ධන ව්‍යාපෘති ලෙස මරීනා සහ මරීනා රෙසිඩෙන්සීස් ව්‍යාපෘතිය, ICONIC හෝටල් ව්‍යාපෘතිය මෙන්ම තවත් ඩොලර් මිලියන 500 ක ආයෝජනයකින් සිදු කරන කොළඹ ජාත්‍යන්තර මූල්‍ය මධ්‍යස්ථානය මෙන්ම සම්මන්ත්‍රණ සහ ප්‍රදර්ශන මධ්‍යස්ථානයද වන බව අලුවිහාරේ මහතා US Today වෙත පවසා තිබේ.
ඒ අනුව මෙම ආයෝජන ව්‍යාපෘති අතරින් බොහෝමයක ඉදිකිරීම් ඉදිරි මාස 12ත් 24ත් අතර කාලයේදී ආරම්භ කරනු ඇතැයි තමන් බලාපොරොත්තු වන බවත්, එහිදී තවත් ඩොලර් බිලියන 1ක පමණ ආයෝජන මේ වෙත ආකර්ෂණය වනු ඇති බවත් ඒ මහතා පවසා තිබේ.
“දැනටමත් කොළඹ වරාය නගරය වෙත පැමිණ තිබෙන ජාත්‍යන්තර පාසල්, විශ්වවිද්‍යාල, රෝහල් සහ ගෝලීය තොරතුරු තාක්ෂණික සමාගම් සමගින් අපගේ බලාපොරොත්තුව වන්නේ තවත් බහුජාතික සමාගම් ඒ වෙත ආකර්ෂණය කරගැනීමයි. ඒ හරහා දකුණු ආසියාවේ කලාපීය මධ්‍යස්ථානයක් බවට කොළඹ වරාය නගරය පත් කරමින් එය කලාපය තුළ සිංගප්පූරුව හා සමානව ගොඩනැගීමයි.”
විශේෂයෙන්ම කොළඹ වරාය නගරය බහු-සේවා ලබා දෙන අපනයන කලාපයක් (multi-service export zone) ලෙස නිර්මාණය කර තිබෙන බවත්, මුල්‍ය සේවා එහි මූලික අංශය බවත් අලුවිහාරේ මහතා මෙහිදී පවසා තිබේ. ඒ අනුව මෙය ගෝලීයව ප්‍රමුඛතම විශේෂිත ආර්ථික කලාප (SEZ) ලෙස හඳුනාගෙන තිබෙන සිංගප්පූරුව, ඉන්දියාවේ GIFT City සහ මැලේසියාවේ Labuan වෙත තරගයක් වනු ඇතැයිද ඒ මහතා පවසා තිබේ.
මෙරට විශාලතම රාජ්‍ය - පෞද්ගලික හවුල්කාරීත්ව (PPP) ව්‍යාපෘතිය ලෙස 2005 වසරේදී ආරම්භ වුණු මෙම කොළඹ වරාය නගර ව්‍යාපෘතිය අද වනවිට කොළඹ පරිපාලන දිස්ත්‍රික්කයට සම්බන්ධ වුණු සහ කොළඹ වරාය නගර ආර්ථික කොමිසම මගින් පාලනය කෙරෙන්නකි. ජනාධිපතිවරයා විසින් පත් කරන ලද සාමාජිකයන් හත් දෙනකු මගින් එය නියාමනය සහ පරිපාලනය සිදු කරයි.
“මෙම ජාත්‍යන්තර ආයෝජකයන් ආකර්ෂණය සඳහා අපි ශක්තිමත් මූල්‍ය සහ මූල්‍ය නොවන සහන රැසක් ලබා දී තිබෙනවා. ඒ හරහා වරාය නගරය තුළ ව්‍යාපාර කිරීම වඩාත් පහසු කිරීම අරමුණයි. එතැනදී අපි පිළිතුරු ලබාදුන් ප්‍රධානතම අවදානමක් වුණේ දකුණු ආසියාව තුළ පොදුවේ දැකගත හැකි මුදල් ඒකක අවදානමයි. කොළඹ වරාය නගරය තුළ ශ්‍රී ලංකා රුපියල නීත්‍යානුකූල වටිනාකමක් නෙමෙයි. ඒ වෙනුවට අපි මහ බැංකුව මගින් අනුමත කළ මුදල් ඒකක 16ක් සඳහා අවසරය ලබා දී තිබෙනවා. ඒ අතර එක්සත් ජනපද ඩොලර්, බ්‍රිතාන්‍ය පවුම් සහ ඉන්දියානු රුපියල් තිබෙනවා.” ඒ මහතා වැඩිදුරටත් පවසයි.
මේ හරහා ආයෝජකයන්ට මුදල් ඒකක අවප්‍රමාණයවීම පිළිබඳ ගැටලුවකින් තොරව සිය ගනුදෙනු සිදු කිරීම සහ ප්‍රාග්ධනය සහ ලාභය විදේශ මුදල් ඒකක හරහා නැවත සිය රටට රැගෙන යාමේ හැකියාව පවතින බවත් ඒ මහතා සඳහන් කර තිබේ.
“මූල්‍යමය සහන පැත්තෙන් ගත්තොත්, ආයෝජකයකුට වසර 15ක් දක්වා වන සාංගමික බදු විරාමයක් හිමි වෙනවා. ඉදිකිරීම් අමුද්‍රව්‍ය වෙත ආනයන සහ දේශසීමා බදු අය වෙන්නේ නෑ. ඒ හරහා සියයට 15-25ත් අතර පිරිවැයක් ඉතිරි වෙනවා. ඒ වගේම වාණිජ මෙහෙයුම් ආරම්භ කළ මොහොතේ සිට තවත් බදු විරාම හිමි වෙනවා. මෙම සහන මගින් ආයෝජකයන්ගේ ප්‍රතිලාභ වගේම සමස්ත ව්‍යාපෘතිය ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීමේ හැකියාව ලැබෙනවා.”


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd