පසුගිය දින කිහිපය තුළ ඇති වූ උච්ඡාවචන කිහිපයක් හේතු කරගෙන වාර්තාගත වර්ධනයක් කරා ගමන් කිරීම ප්‍රමාද වී තිබේ. මිල දී ගැනීම් සඳහා උනන්දුවක් පවතින නමුත් ඇතැම් සුළු ආයෝජකයන් සිය කොටස් විකිණීමට දක්වන ප්‍රවණතා හේතු කරගෙන පසුබෑම් වාර්තා වන බව දැක්වේ. ඊයේ (ජනවාරි 20) මධ්‍යහ්නය වන විට කලින් දිනයේ පිරිහීම යම් ප්‍රමාණයකින් පාලනය කරගත් බවක් නිරීක්ෂණය කළ හැකි වූ නමුත් දිනයේ අපේක්ෂිත පිබිදීම සනිටුහන් වූයේ නැත. 

සංචාරක පැමිණීම වර්ධනය වී ඇති නමුත් ආදායම පහත වැටී තිබේ. විදේශ ප්‍රේෂණ ඉහළ ගොස් ඇත. අපනයන ආදායම වාර්තාගත වර්ධනයක් සනිටුහන් කරයි. රජයේ බදු ආදායම ද ඉහළ ගොස් තිබේ. ජාත්‍යන්තර සහාය සහ රට තුළින් ලැබෙන ආධාර එකතු කරගත් පසු දිට්වා සුළි කුනාටුවේ විනාශය ප්‍රතිසංස්කරණ ආරම්භ කර ඇත. ඇතැම් ක්ෂේත්‍රවල ආන්දෝලනාත්මක සිද්ධි වාර්තාවන නමුත් සමස්තයක් තුළ පැහැදිලි ඉලක්ක පවතින බව පෙනේ. මෙම පසුබිම හේතු කරගෙන අතරමැදි තැනකට පැමිණ ඇති ආයෝජන අංශ තරමක් පරෙස්සමකින් මිල දී ගැනීම් සඳහා ඉදිරිපත්වන බව නිරීක්ෂණය වේ. ඊයේ ගනුදෙනුවල දී එය පැහැදිලිව දැකගත හැකි විය. 

විදේශ අංශවල පිබිදීමක් දක්වන නමුත් තවමත් ඉලක්කයක් නැත. ඉකුත් සතියේ අවසන් දිනයේ දී රු මිලියන 66 ක ශුද්ධ ආදායමක් විදේශ අංශයෙන් රටට ලැබුණ අතර මෙම සතියේ පළමු ගනුදෙනු දිනය වූ සඳුදා රුපියල් මිලියන 698 ක ශුද්ධ අවාසියක් වාර්තා කරමින් එම මුදල රටින් බැහැර වූ බවක් සටහන් කළ හැකිය. මෙම පැතිකඩ අනුව මෙරට වෙළෙඳපොළ ගැන ද විදේශීය ආයෝජන අංශවල වෙනම තීරණයක් පවතින බව සැලකිය හැකිය. ඊයේ වෙළෙඳපොළ ගනුදෙනු අවසානයට පැයකට කලින් දී සියලු කොටස් මිල දර්ශකය ඒකක 23,638.33 ක් තෙක් ඉහළ ගියේය. එය කලින් දිනයට සාපේක්ෂව දර්ශක 10.57 ක වර්ධනයකි. එස් ඇන්ඩී පී ශ්‍රී ලංකා දර්ශකය 6,551.93 ක් විය. පෙර දිනයට සාපේක්ෂව දර්ශක 12.58 ක ප්‍රගතියකි.  දෛනික පිරිවැටුම රු. බිලියන 4.65 ක් සේ ඒ වන විට සනිටුහන්ය. ගනුදෙනු  34,232 ක් වාර්තා වී තිබුණි. එම අවස්ථාවේ දී හුවමාරු වූ කොටස් ප්‍රමාණය මිලියන 119.79 ක් විය. සමාගම් 137 ක කොටස් මිල ඉහළ ගියේය. කොටස් මිල පහත වැටුණ සමාගම් ගණන 106 කි. 

නිරීක්ෂක