• කාන්තාවන් සතු ව්‍යාපාර සහ කෘෂි ව්‍යාපාර අංශය සවිබල ගැන්වීම කෙරෙහි අවධානය යොමු කරමින්, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සඳහා මූල්‍ය ප්‍රවේශය පුළුල් කිරීම මෙම ආයෝජනයේ අරමුණයි

විමුක්ති එස් රුද්‍රිගු


මෙරට ව්‍යාපාරවලට සහායවීමටත්, ස්ථාවර වූ ආර්ථිකය තිරසාර වර්ධන මාවතක් කරා රැගෙන යාමට ශ්‍රී ලංකාව දරණ උත්සාහය කඩිනම් කිරීමටත් ඇමෙරිකානු ඩොලර් මිලියන 166 ක (රුපියල් කෝටි 5100 ක් පමණ) මුදලක් මෙරට වාණිජ බැංකු තුනක ආයෝජනය කරන බව ලෝක බැංකු සමූහයට අයත් ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව ඊයේ (25) නිවේදනය කළේය.

එය මෙරට පෞද්ගලික අංශය ශක්තිමත් කිරීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාවේ දීර්ඝකාලීන කැපවීම පෙන්නුම් කරන බවද එම ආයතනය ප්‍රකාශ කළේය. කාන්තාවන් සතු ව්‍යාපාර සහ කෘෂි ව්‍යාපාර අංශය සවිබල ගැන්වීම කෙරෙහි අවධානය යොමු කරමින්, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සඳහා මූල්‍ය ප්‍රවේශය පුළුල් කිරීම මෙම ආයෝජනයේ අරමුණ බවද ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව සඳහන් කළේය.

එමගින් මෙතෙක් අවධානය යොමු නොවූ අංශ සඳහා නව රැකියා අවස්ථා ඇති කිරීමටත්, සියලු‍ අංශවලින් ආර්ථික වර්ධනය ළඟා කර ගැනීමටත්, හැකියාව ලැබෙනු ඇතැයි එම ආයතනය පැවැසුවේය.

ට්‍රස්ට් බැංකුව, කොමර්ෂල් බැංකුව, සහ ජාතික සංවර්ධන බැංකුව යන වාණිජ බැංකු තුනෙහි මෙම ආයෝජනය සිදුකෙරෙනු ඇති බවද එම ආයතනය ප්‍රකාශ කළේය. ඉන් ඩොලර් මිලියන 50 ක් ණයක් ලෙසත්, ඩොලර් මිලියන 80ක් මූල්‍ය අවදානම් කළමනාකරණය කිරීමේ පහසුකමක් ලෙසත්, ඩොලර් මිලියන 36ක් වෙළෙඳ මූල්‍ය ආධාර ලෙසත්, ලබාදෙනු ඇතැයි ජාත්‍යන්තර මූල්‍ය ආයතනය පැවැසුවේය.

මෙරට ව්‍යාපාරවලින් සියයට 75ක් කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය බවත් මෙරට සියයට සියයට 45 ක් රැකියා අවස්ථා සපයන්නේද කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය බවත් එම ආයතනය ප්‍රකාශ කළේය. 

එහෙත් එම ව්‍යවසායන්ට පුළුල් වීම සඳහා අවශ්‍ය කෙරෙන ණය පහසුකම් ලබා ගැනීමට බාධා තිබෙන බවද ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව පැවැසුවේය.

ඒ අනුව මෙරට ප්‍රධාන වාණිජ බැංකු තුනක් සමග ඇතිකර ගන්නා මෙම හවුල්කාරිත්වයෙන් කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන්ට ඉලක්කගත විසඳුම් ලබාදීමට බලාපොරොත්තු වන බව එම ආයතනය ප්‍රකාශ කළේය.

ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාවේ, ආසියා සහ ශාන්තිකර කලාප මූල්‍ය ආයතන සමූහයේ කර්මාන්ත අධ්‍යක්ෂ ඇලන් ෆෝලෙමු ආයෝජනය පිළිබඳව අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය මෙරට ආර්ථිකයේ පිටකොන්ද බවත් නව රැකියා අවස්ථා ඇති කිරීමට කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය වර්ධනය වීම අත්‍යාවශ්‍ය කරුණක් බවත්ය.

කාන්තාවන් විසින් මෙහෙයවනු ලබන ව්‍යාපාර, කුඩා වතුහිමි ගොවීන් සහ මෙරට ආර්ථික වර්ධනය කිරීමට පුරෝගාමීවී සිටින අංශ සහාය වීමට මෙරට බැංකුවලට සහාය ලබාදීමෙන් මෙරට ආර්ථිකය යථා තත්වයට පත්කර ගැනීමට පමණක් නොව සියලු‍ අංශවලින් මෙරට තිරසාර ආර්ථික වර්ධනයක් ළඟා කර ගැනීමටද ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව සහාය ලබාදෙන බව ඔහු ප්‍රකාශ කළේය.

ණය ලබාදීම සඳහා නේෂන්ස් ට්‍රස්ට් බැංකුවට ලබාදෙන ඇමෙරිකානු ඩොලර් මිලියන 50 ක ණය 2022 මූල්‍ය අර්බුදයෙන් පසුව ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව මෙරටට ලබාදෙන ඒ අකාරයේ පළමු ණය වනු ඇත. ඉන් සියයට 15ක් එසේත් නැතිනම් ඩොලර් මිලියන 7.5 ක් කාන්තාවන් හිමිකාරීත්වය දරන කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායවලට ණය ලෙස ලබාදීමට නියමිතය.