• සතියකට වට සංචාර ගුවන් ගමන් හතරක් සිදු කිරිම සැලසුමයි

වියට්නාමයේ වියට්ජෙට් එයාර් (Vietjet Air)  ගුවන් සමාගම ශ්‍රී ලංකාවේ කොළඹ සහ වියට්නාමයේ හෝ චි මිං නගර ඒකාබද්ධ කරමින් නව ගුවන් ගමන් වාරයක් ආරම්භ කිරීමට සූදානමින් සිටින බව පවසයි. 2026 අගෝස්තු මාසයේදී සතියකට වට-සංචාර ගුවන් ගමන් හතරක් සමඟ මෙම ගුවන් සේවාව ආරම්භ කිරීම අපේක්ෂාවයි.

පසුගියදා කොළඹදී පැවැත්වුණු “ශ්‍රී ලංකා - වියට්නාම වෙළඳ, ආයෝජන සහ සංචාරක සහයෝගිතා සංසදයේදී“ වියට්නාම කමියුනිස්ට් පක්ෂයේ මහලේකම් / ජනාධිපති ටෝ ලැම් සහ ශ්‍රී ලංකා අගමැතිනි හරිනි අමරසූරිය සහ දෙරටේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ඉදිරියේදී ඊට අදාළ නිල එළිදැක්විම සිදු කෙරිණි.

ඒ අනුව මෙය ශ්‍රී ලංකාව සහ වියට්නාමය අතර සෘජු ගුවන් ගමන් ආරම්භ වන පළමු අවස්ථාව ලෙසින් සැලකෙයි. එය වියට්ජෙට් එයාර් ගුවන් සේවයේ ජාත්‍යන්තර ව්‍යාප්තියට සහාය වන අතරම, දෙරට අතර ශක්තිමත් ආර්ථික, වෙළඳ, සංචාරක සහ ජනතාව අතර සබඳතා සඳහා දායක වනු ඇතැයිද පවසයි.

මෙහිදී කොළඹ සිට පැමිණෙන සංචාරකයින්ට ඉක්මනින්ම දැරිය හැකි ගාස්තු සහ වියට්නාමයේ ප්‍රමුඛ සංචාරක සහ ව්‍යාපාරික මධ්‍යස්ථාන වෙත බාධාවකින් තොරව සම්බන්ධතාවයක් ලබාදීම මෙන්ම ඕස්ට්‍රේලියාව, ජපානය, දකුණු කොරියාව, චීනය සහ ඉන් ඔබ්බට ආසියා-පැසිෆික් කලාපය පුරා ප්‍රධාන ගමනාන්ත වෙත වියට්ජෙට් හි පුළුල් ජාත්‍යන්තර ගුවන් ගමන් ජාලය හරහා පහසු ප්‍රවේශයක් භුක්ති විඳිය හැකි වනු ඇතැයි පැවසෙයි.

වර්තමානයේදී මෙම වියට්ජෙට් එයාර් ගුවන් සමාගම සතුව ගුවන් යානා 135 කින් සමන්විත යානා ඇණියක් පවතින අතර, ඉදිරියේදී තවත් අමතර ගුවන් යානා 600 කට ආසන්න සංඛ්‍යාවක් එක් කරගැනීමටද සැලසුම් කර ඇතැයි සමාගම පවසයි.