ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ජෙනරල් (SLICGL) සහ ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  (SLICLL) එක්ව, පසුගිය ව්‍යසනකාරී ගංවතුරෙන් ආපදාවට ලක් වූ ප්‍රජාවට සහාය ලබාදීම අරමුණු කර ගනිමින් රට පුරා දීපව්‍යාප්ත සහන සේවා වැඩසටහනක් ආරම්භ කළේය.

පාසල්, පූජනීය ස්ථාන, ව්‍යාපාරික ස්ථාන සහ නිවාස ප්‍රතිසංස්කරණය කිරීම සඳහා SLIC හි ප්‍රාදේශීය කණ්ඩායම් එක් රැස් කරමින්, බලපෑමට ලක් වූ ප්‍රදේශවල පවතින ගැටලු‍ සඳහා ක්ෂණිකව මැදිහත්වෙමින් ඒවා විසඳීමට පියවර ගනු ලැබීය. ගංවතුරෙන් පීඩාවට පත් ප්‍රදේශ පිරිසුදු කිරීම සහ යථා තත්වයට පත් කිරීම, ආපදාවලට මුහුණදුන් ප්‍රජාවට සහායවීම, පිරිසුදු කිරීමේ කටයුතු සඳහා අවශ්‍ය උපකරණ ලබාදීම, විදුලි අවදානම් සහ ජලයෙන් බෝවන රෝග සහිත පරිසරයක සුරක්ෂිතභාවය තහවුරු කිරීම සඳහා අවශ්‍ය මග පෙන්වීම මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණු විය.

රටේ ජන ජීවිත නැවත ගොඩනැගීමට හා දිගුකාලීනව ශක්තිමත් කිරීමට රක්ෂණකරුවකු ලෙස සහ විශ්වසනීය හවුල්කරුවකු ලෙස ලංකාවේ ජනතාව සමග අත්වැල් බැඳගැනීම, සමාගම සතු දිගු කාලීන දැක්ම පිළිඹිබු කිරීමට සමත් විය.

මෙම වැඩසටහන කොළඹ, ගම්පහ, බදුල්ල සහ කුරුණෑගල යන ප්‍රදේශ කේන්ද්‍ර කරමින්, දිවයිනේ දිස්ත්‍රික්ක 18 ක් ආවරණය කළේය. ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ජෙනරල් සහ ලයිෆ් නියෝජනය කරමින්, එක් ප්‍රදේශයකින් 50 දෙනකුගෙන් යුත් ස්වේච්ඡා කණ්ඩායම් මේ සඳහා ඉදිරිපත් වූ අතර ඔවුන් සම්බන්ධීකරණය කිරීම, පහසුකම් සලසාදීමේ කටයුතු ප්‍රාදේශීය කළමනාකරුවන් විසින් මෙහෙයවන ලදී.

මෙම වැඩසටහනෙන් ගංවතුරට යට වූ පාසල් පිරිසුදු කර යථා තත්වයට පත් කරන ලද අතර, දරුවන්ට පන්ති කාමරවලට ගොස් ඔවුන්ගේ අධ්‍යාපන කටයුතු නැවත ආරම්භ කිරීමට සහාය විය. පන්සල් සහ පල්ලි ප්‍රතිසංස්කරණය කිරීමෙන් ප්‍රජාවට, ඔවුන්ගේ ආගමික ස්ථාන සහ සංස්කෘතික උරුමය සමග නැවත සම්බන්ධවීමට අවකාශය සැලසුණි. ව්‍යාපාරික ස්ථාන පිරිසුදු කර එහි හිමිකරුවන්ට තම ජීවනෝපාය නැවත ආරම්භ කිරීමට සහ දේශීය ආර්ථිකය නැවත වර්ධනය කිරීමට සහාය ලබා දුන්නේය. නිවාස විෂබීජහරණය කර පිරිසුදු කිරීම හරහා පවුල්වලට ඔවුන්ගේ දෛනික ජීවිතය නැවත ආරම්භ කිරීමට අවශ්‍ය ආරක්ෂිත වටපිටාව සලසා දීමට හැකි විය. 

SLIC හි ස්වේච්ඡා සේවකයන් ආපදා ප්‍රදේශවල දුෂ්කරතාවලට සහ සෞඛ්‍ය අවදානම්වලටද මුහුණ දෙමින්, විදුලි අනතුරු සහ ජලයෙන් බෝවන රෝගවලින් තර්ජනයට ලක්ව ඇති ප්‍රදේශවල ආරක්ෂාව තහවුරු කළේය. දකුණු පළාත් කණ්ඩායම් 2ක්, බදුල්ල ප්‍රදේශයේ ගංවතුරෙන් හානියට ලක් වූ වාරිමාර්ග පද්ධති පිළිසකර කළ අතර එහි තවදුරටත් ඉවුරු ඛාදනයවීම් වැළැක්වීම සඳහා තාවකාලිකව වැලි කොට්ට දමා බැමි සකස් කරන ලදී. SLIC ලයිෆ් හි ප්‍රාදේශීය කණ්ඩායම ඌව ප්‍රදේශයේ දී ගංවතුරෙන් පීඩාවට පත් පවුලක් සඳහා නව මුළුතැන්ගෙයක් ද ඉදිකර දෙන ලදී.