වෙනිසියුලාවේ බොරතෙල් යටිතල පහසුකම් සංවර්ධනයට, බොරතෙල් නිෂ්පාදනයට සහ අපනයනයට මුදල් ආයෝජනයට ඇමෙරිකාවේ සූදානමක්


අද වනවිට වෙනිසියුලාව සතුව ගෝලීය බොරතෙල් සංචිතයෙන් සියයට 17ක්


වෙනිසියුලානු ජනාධිපතිවරයා බලයෙන් ඉවත් කරමින් එරට බොරතෙල් සම්පත් සිය පාලනයට ගැනීමට ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ට්‍රම්ප් ගත් තීරණය ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිලට ක්ෂණික බලපෑමක් එල්ල නොකරනු ඇතැයි විශේෂඥයෝ පවසති. 

මෙම අත්පත් කරගැනීමෙන් අනතුරුව වෙනිසියුලාවේ බොරතෙල් යටිතල පහසුකම් සංවර්ධනයට, බොරතෙල් නිෂ්පාදනයට සහ අපනයනයට ඇමෙරිකානු ඉන්ධන සමාගම් හරහා මුදල් ආයෝජනය කරන බව ට්‍රම්ප් පවසා තිබේ.

කෙසේ වෙතත් වෙනිසියුලාවේ ක්‍රියාත්මක එකම ඇමෙරිකානු බොරතෙල් සමාගම වන Chevron සමාගම හෝ මීට පෙර එරට බොරතෙල් මෙහෙයුම්හි නිරතව පසුව ඉන් ඉවත් වූ ඇමෙරිකාවේ විශාලතම ඉන්ධන සමාගම වනExxonBMobil  හෝ තවත් ප්‍රධානතම සමාගමක් වන ConocoPhillips හෝ යන සමාගම් මේ දක්වා ප්‍රතිචාර දක්වා නැත. 

දත්ත වාර්තා අනුව අද වනවිට වෙනිසියුලාව සතුව ගෝලීය බොරතෙල් සංචිතයෙන් සියයට 17ක් පවතී. පසුගිය කාලසීමාවේදී ඇමෙරිකාවෙන් එල්ල වූ සම්බාධක හේතුවෙන් එම බොරතෙල් නිෂ්පාදනය වැඩි වශයෙන් සිදුව නැත. අද වනවිට එරට දෛනික බොරතෙල් නිෂ්පාදනය බැරල් මිලියනයක් වන අතර, ඉන් අපනයනය කරන්නේ අඩක් පමණකි. 1970 දී එරට දෛනික බොරතෙල් නිෂ්පාදනය බොරතෙල් බැරල් මිලියන 3.5ක් විය. 

යම් හෙයකින් ඇමෙරිකානු ආයෝජන හරහා සිදු කරන සංවර්ධනයත් සමගින් 2030 වසර ආරම්භය වන විට වෙනිසියුලාවේ මෙම නිෂ්පාදනය බැරල් මිලියන 2ක් පමණ දක්වා ඉහළ නැංවීමට හැකියාව ලැබෙනු ඇතැයි පැවසෙයි. එහෙත් ඒ සඳහා ආසන්නව ඩොලර් බිලියන 110ක කඩිනම් ආයෝජනයක් සිදු කළ යුතුව තිබේ.

ඒ අනුව වෙනිසියුලානු නව පාලනය ගනු ලබන තීරණයට අනුව දැනට පවතින පහසුකම් අනුව බොරතෙල් නිෂ්පාදනය ඉහළ නැංවීම සහ අපනයන ඉහළ නැංවීම හරහා මැදි කාලීනව ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල අඩු වීමේ හැකියාවක් ඇත. එසේම ඇමෙරිකාව සිදුකරන ආයෝජන හරහා දීර්ඝ කාලීනව එම මිල අඩුවීමේ බලාපොරොත්තු තැබිය හැකිය. පසුගිය වසරේදී පමණක් බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක් සියයට 19කින් පහත වැටුණි.