- 2024 වසරට සාපේක්ෂව එය සියයට 22.8 ක ඉහළ යාමක්
- පසුගිය දෙසැම්බරයේදී එවා ඇති මුදල ඩොලර් මිලියන 879.1 ක්
- ඉතිහාසයේ මසක් තුළ එවා ඇති වැඩිම විදේශ ප්‍රේෂණ ප්‍රමාණයද එයයි
විමුක්ති එස් රුද්‍රිගු
පසුගිය වසරේදී විදේශ ගතව සිටින ශ්‍රී ලාංකිකයන් මෙරටට ඇමෙරිකානු ඩොලර් බිලියන 8.07 ක මුදල් ප්‍රමාණයක් මෙරටට එවා ඇති බවත් 2024 වසරට සාපේක්ෂව එය සියයට 22.8 ක ඉහළ යාමක් බවත් ශ්‍රී ලංකා මහ බැංකුව පසුගියදා නිකුත් කළ නවතම දත්ත වාර්තාවේ සඳහන් වේ.
එම වාර්තාවට අනුව විදේශගතව සිටින ශ්‍රී ලාංකිකයන් 2024 වසරේදී මෙරටට ඇමෙරිකානු ඩොලර් බිලියන 6.57 ක මුදලක් ප්‍රමාණයක් එවා තිබිණි. එසේම පසුගිය වසරේ දෙසැම්බර් මාසයේදී විදේශගතව සිටින ශ්‍රී ලාංකිකයන් මෙරටට ඇමෙරිකානු ඩොලර් මිලියන 879.1 ක මුදල් ප්‍රමාණයක් ඒවා තිබූ අතර එය 2024 දෙසැම්බර් මාසයට සාපේක්ෂව සියයට 43.24 ක ඉහළ යාමකි.
විදේශගතව සිටින ශ්‍රී ලාංකිකයන් 2024 වසරේ දෙසැම්බර් මාසයේදී ඇමෙරිකානු ඩොලර් මිලියන 613.8 ක මුදල් ප්‍රමාණයක් මෙරටට එවා තිබිණි. විදේශගතව සිටින ශ්‍රී ලාංකිකයන් පසුගිය වසරේ දෙසැම්බර් මාසයේදී එවා ඇති ඇමෙරිකානු ඩොලර් මිලියන 879.1 ක මුදල් ප්‍රමාණය මෙරට ඉතිහාසයේ මසක් තුළ එවා ඇති වැඩිම විදේශ ප්‍රේෂණ ප්‍රමාණයද වේ.
මීට පෙර මසක් තුළ එවා ඇති වැඩිම විදේශ ප්‍රේෂණ ප්‍රමාණය මෙරටට එවා තිබුණේ 2020 වසරේ දෙසැම්බර් මාසයේ වන අතර එම අවස්ථාවේදී විදේශගතව සිටින ශ්‍රී ලාංකිකයන් ඇමෙරිකානු ඩොලර් මිලියන 812.7 ක මුදලක් මෙරටට එවා තිබිණි.
එසේම විදේශගතව සිටින ශ්‍රී ලාංකිකයන් පසුගිය වසරේදී මෙරටට එවා තිබු ඇමෙරිකානු ඩොලර් බිලියන 8.07 ක මුදල් ප්‍රමාණය මෙරට ඉතිහාසයේ වසරක් තුළ මෙරටට එවා ඇති වැඩිම විදේශ ප්‍රේෂණ ප්‍රමාණයද වේ. මීට පෙර වැඩිම විදේශ ප්‍රේෂණ ප්‍රමාණයක් මෙරටට ලැබී තිබුණේ 2016 වසරේදී වන අතර එහිදී විදේශගතව සිටින ශ්‍රී ලාංකිකයන් ඇමෙරිකානු ඩොලර් බිලියන 7.24 ක මුදල් ප්‍රමාණයක් මෙරටට එවා තිබිණි.
COMMENTS