ජංගම ගිණුමේ ඩොලර් මිලියන 370 ක අතිරික්තයක්
වෙළෙඳ හිඟය ඩොලර් මිලියන 655ක් දක්වා තවදුරටත් පහළට
විදෙස් සංචාර හේතුවෙන් සේවා අංශයේ ගෙවීම් ඩොලර් මිලියන 133 ක් දක්වා ඉහළ ගිහින්
2026 වසරේ ජනවාරි මාසයේදී වාර්තා වූ විදේශීය ජංගම ගිණුමේ ඩොලර් මිලියන 370 ක අතිරික්තයත් සමගින් විදේශීය අංශයේ ක්‍රියාකාරීත්වයේ කැපී පෙනෙන අඛණ්ඩ වර්ධනයක් පෙන්නුම් කරන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. 2025 ජනවාරියේදී එය ඩොලර් මිලියන 100ක් විය.
එසේම වෙළෙඳ භාණ්ඩ ගිණුමේ හිඟය ද 2026 ජනවාරියේදී අඩුවීමක් වාර්තා වී තිබේ. මෙහිදී 2026 වසරේ ජනවාරි මාසයේදී එක්සත් ජනපද ඩොලර් මිලියන 1,149ක භාණ්ඩ අපනයන වියදමක් සටහන්ව ඇති අතර, භාණ්ඩ ආනයන වියදම එක්සත් ජනපද ඩොලර් මිලියන 1,803 ක් ලෙස සටහන්ව තිබේ. ඒ අනුව එක්සත් ජනපද ඩොලර් මිලියන 655 ක වෙළෙඳ හිඟයක් සටහන්ව ඇති අතර, එය 2025 ජනවාරි මාසයේදී වාර්තා වූ ඩොලර් මිලියන 733 ක වෙළෙඳ හිඟය හා සැසඳීමේදී මෙලෙස යම් අඩුවීමක් ලෙස සටහන්ව තිබේ.
මේ අතර 2026 වසරේ ජනවාරියේදී වාහන ආනයනය සඳහා වූ වියදම එක්සත් ජනපද ඩොලර් මිලියන 224 ක් ලෙස සටහන්ව ඇති අතර, එය 2025 දෙසැම්බරයේදී සිදුකළ වියදම වූ ඩොලර් මිලියන 301 ට සාපේක්ෂව යම් අඩුවීමකි.
කෙසේ වෙතත් අපනයන මිල ගණන් ඉහළ යාම ඉක්මවා ආනයන මිල ගණන් ඉහළ යාම හේතුවෙන් 2025 ජනවාරි මාසයට සාපේක්ෂව 2026 ජනවාරියේදී වෙළෙඳ මිල අනුපාතය පහළ යෑමක් සිදුව තිබේ.
“මේ අතර සේවා ගිණුම් වෙත වූ ලැබීම් වන ඩොලර් මිලියන 734 ට සාපේක්ෂව, සේවා ගිණුම්වලින් සිදුකළ ගෙවීම් ඩොලර් මිලියන 328ක් දක්වා ඉහළ යාමක් සිදුව තිබෙනවා. ඒ අනුව සේවා ගිණුමේ අතිරික්තය 2026 ජනවාරියේදී ඩොලර් මිලියන 406 ක් දක්වා සුළු වශයෙන් පහළ යෑමක් සිදුවුණා. එහිදී සේවා අංශයේ වූ ගෙවීම් ඉහළ යෑමට විදෙස් සංචාරක සඳහා වූ වියදම් ඩොලර් මිලියන 52 ක සිට ඩොලර් මිලියන 133 ක් දක්වා ඉහළ යෑම හේතු වුණා.” යනුවෙන් මහ බැංකුව පවසයි.
මේ අතර ජනවාරියේදී වාර්තා කළ සංචාරක පැමිණීම් 277,327ක් හරහා සිදුකළ ඉපැයීම් ඩොලර් මිලියන 378ක් ලෙස සටහන්ව තිබේ. එහෙත් 2025 ජනවාරියේදී සංචාරකයන් 252,761ක් හරහා ඩොලර් මිලියන 401ක ආදායමක් හිමි විය. සංචාරකයකු එක් දිනක් තුළ සිදු කරන වියදමේ සාමාන්‍ය 2025 අගෝස්තුවේ සිට සංශෝධනය කිරීම මෙම අගය පහත වැටීමට හේතුව බව මහ බැංකුව සඳහන් කරයි.
මේ අතර 2026 ජනවාරි මාසයේදී විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ ලෙස ඩොලර් මිලියන 751 ක් ලැබී ඇති අතර, එය 2025 වසරේ ජනවාරියට සාපේක්ෂව සියයට 31.1 ක ඉහළ වර්ධනයකි. කෙසේ වෙතත් මෙම ලැබීම් අතර දිට්වා සුළි කුණාටුව සඳහා ලැබුණු විදේශ ප්‍රේෂණ ද ඇතුළත් විය හැකි බවත් මහ බැංකුව සඳහන් කරයි.
මේ අතර 2026 ජනවාරි මස අග වන විට, චීන මහජන බැංකුව සමග වන විදේශ විනිමය හුවමාරු පහසුකම ද ඇතුළත්ව මෙරට දළ නිල සංචිතය එක්සත් ජනපද ඩොලර් බිලියන 6.8ක් ලෙස සටහන්ව තිබේ. එහිදී මාසය තුළ මහ බැංකුව දේශීය විදේශ විනිමය වෙළෙඳපොළ වෙතින් අඛණ්ඩව ශුද්ධ පදනම මත විදේශ විනිමය මිලදී ගත් බවත් පවසයි. ඒ අනුව මෙම සංචිතය මාස 3.8 ක ආනයනික ආවරණය සඳහා ප්‍රමාණවත් බවත් මහ බැංකුව පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd