• 2025 තුළ ආදායම රු.බි. 422යි - අලෙවි පිරිවැය රු.බි. 448 යි

  • පරිපාලන වියදම් රු.බි.21.7ක්, මූල්‍ය පිරිවැය සහ ශුද්ධ මූල්‍ය පිරිවැය රු.බි.  16.13ක් සහ රු.බි. 38.73ක්

ලංකා විදුලිබල මණ්ඩලය 2025 වසරේදී රුපියල් බිලියන 38.7 ක අලාභයක් වාර්තා කර ඇතැයි පවසයි. ඒ අනුව මෙය 2024 වසරේදී එම මණ්ඩලය හිමි කරගත් රුපියල් බිලියන 141.60 ක ලාභය හා සැසඳීමේදී සියයට 127 ක පහත වැටීමක් ලෙස සටහන්ව තිබේ.

2025 වසරේ දෙසැම්බර් 31 වැනිදායින් අවසන් වූ වර්ෂය සඳහා වන විගණනය නොකෙරූ අතරමැදි මූල්‍ය ප්‍රකාශනය කොළඹ කොටස් හුවමාරුව වෙත ඉදිරිපත් කරමින් ලංකා විදුලිබල මණ්ඩලය මෙම කරුණු අනාවරණය කර තිබේ.

මෙහිදී ලංකා විදුලිබල මණ්ඩලය පසුගිය වසර තුළදී හිමිකරගෙන ඇති ආදායම රුපියල් බිලියන 422.20 කි. කෙසේ වෙතත් එම වසරේදී මණ්ඩලයේ අලෙවි පිරිවැය රුපියල් බිලියන 448.36 කි. ඒ අනුව 2025 වසර තුළ දළ අලාභය රුපියල් බිලියන 26.16 කි. 

මේ අතර අදාළ කාලසීමාවේදී වෙනත් ආදායම් සහ ලැබීම් ලෙස රුපියල් බිලියන 21.8ක් හිමිව ඇති නමුත්, පරිපාලන වියදම් ලෙස රුපියල් බිලියන 21.7 ක් සමගින් පසුගිය වසර තුළ මෙහෙයුම් අලාභය රුපියල් බිලියන 26.12 කි. 

එසේම වසර තුළ වාර්තාකර ඇති මූල්‍ය පිරිවැය සහ ශුද්ධ මූල්‍ය පිරිවැය පිළිවෙලින් රුපියල් බිලියන 16.13ක් සහ 12.61ක් ලෙස වාර්තා වෙමින් අදාළ කාලසීමාව සඳහා වන ආදායම් බදුවලට පසු අලාභය මෙලෙස රුපියල් බිලියන 38.73 ක් ලෙස සටහන්ව තිබේ.

මේ අතර ලංකා විදුලිබල මණ්ඩල සමූහය 2025 වසර තුළදී රුපියල් බිලියන 36.51ක අලාභයක් වාර්තා කර ඇති අතර, එය 2024 වසරේදී එම සමූහය වාර්තා කළ රුපියල් බිලියන 183.30 ක ලාභය හා සැසඳීමේදී සියයට 120 ක පහත වැටීමකි.