

අද වන විට විදුලිය භාවිතය ලොකු කුඩා සෑම මිනිස් ක්‍රියාකරකමක් සමග බැඳී පවතින්නක් වේ. එබැවින් විදුලියට අදාළව මිල ඉහළයාමක ප්‍රතිවිපාක ආකාර කීපයකින් නිෂ්පාදකයන්ට මෙන්ම පාරිභෝගිකයන්ට ඇතිවිය හැකිය. දින කීපයකට ප්‍රථම මහජන උපයෝගීතා කොමිසම මගින් තෝරා ගත් පාරිභෝගික කණ්ඩායම්වලට අදාළව පෙර පැවති විදුලි මිල ඉහළ දැමීමට කටයුතු කරන ලදී. 2025 - 2026 කාලපරිච්ඡේදය තුළ මේ වනවිට විදුලි මිල සිව්වතාවක් සංශෝධනයට ලක් කළ අතර ඉන් තෙවතාවක්ම විදුලි මිල ඉහළ දැමීමට කටයුතු කරන ලද අවස්ථා වේ. 2025 ජනවාරි මස තුළ විදුලි මිල පහත හෙළන (සියයට 20කින් පමණ) ලද අතර ඉන් පසු කාළපරිච්ඡේදය (2025 ජුනි - 2026 අප්‍රියෙල්) තුළ විදුලි මිල ඉහළ දැමීමට කටයුතු කරන ලදී.
මේ වනවිට සමහරක් පාරිභෝගික කණ්ඩායම්වලට අදාළව 2025 ජුනි-2026 අප්‍රේල් යන කාල සීමාව තුළ විදුලි ගාස්තු සියයට 55 කින් පමණ ඉහළගොස් ඇති බවක් නිරීක්ෂණය කළ හැකිය. පසුගිය සඳුදා සිට සිදු කරන ලද විදුලි ගාස්තු සංසෝධනයේ දී විදුලි ඒකක 180 අඩුවෙන් භාවිත කරනු ලබන ගෘහස්ථ මෙන්ම තෝරාගත් සුළු සහ මධ්‍ය පරිමාණ කාර්මික සහ සේවා සපයනු ලබන ස්ථාන මෙන්ම ආගමික සහ රාජ්‍ය අංශයේ සමහරක් පාරිභෝගික කණ්ඩායම්වල විදුලි ගාස්තුවට කිසිදු බලපෑමක් එල්ල නොවුණු අතර මේ නිසාම විදුලි මිල ඉහළ නැංවීම හේතුවෙන් සමාජයේ පහළ ස්ථරවලට කිසිදු ආර්ථික බලපෑමක් සිදු නොවන බව සමහරුන්ගේ අදහස වී ඇත. මෙවන් පරිසරයක් තුළ විදුලි ගාස්තු ඉහළයාම, විශේෂයෙන්ම පසුගිය සඳුදා දිනයේ දී ඉහළ දමන ලද විදුලි ගාස්තු, මෙරට ආර්ථිකයකට, උද්ධමනයට, ආර්ථික කටයුතුවලට, ආයෝජන පරිසරයට සහ තරගකාරීත්වයට කුමන බලපෑමක් එල්ලකරාවිද යන්න විමසා බැලීම මෙම ලිපියේ අරමුණ වේ.
විදුලි ගාස්තු සංශෝධන සහ සාර්ව ආර්ථික ස්ථායීතාව
2022 වසරේ මෙරට ආර්ථිකය මුහුණදුන් ණය අර්බුදයත් සමග ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ පහසුකම් වැඩසටහනකට ඇතුල් වූ අතර එහිදී නිරන්තරයෙන්ම අවධාරණය කරනු ලැබූ කොන්දේසියක් වුයේ විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගතකරණයකට ලක් කිරීම මෙන්ම විදුලි මිල ඊට අදාළ (නිෂ්පාදන සහ බෙදිහැරීම) පිරිවැය ආවරණය වන පරිදි නිසි අයුරින් විටින් විට සංශෝධනයට ලක්විය යුතු බවයි. පිරිවැය ආවරණය වන අයුරින් මිල සංශෝධනය නොකරීමෙන්, විශේෂයෙන්ම පිරිවැය ඉහළයන අවස්ථාවල, නිරන්තරයෙන්ම විදුලිබල මණ්ඩලය පාඩුපිට ක්‍රියාත්මක විය. එමෙන්ම ඒ හේතුවෙන් එකී පාඩු අවසානයේ රාජ්‍ය මූල්‍යයට බරක් වීම සහ දිගින් දිගටම පාඩු පියවීම සඳහා ණය ලබා ගැනීමට සිදුවීම හේතුවෙන් ණය බර ඉහළයාම සිදුවිය. මේ නිසා රාජ්‍ය මූල්‍ය විනය මෙන්ම ණය තිරසාර මට්ටමක පවත්වාගෙන යාම සඳහා අත්‍යවශ්‍ය කොන්දේසියක් වුයේ විදුලි ගාස්තු පිරිවැය ආවරණය වන පරිදි නිරන්තරයෙන් සංශෝධනවලට ලක් කිරීම විය. ඒ අනුව යමින් 2023-2026 කාලපරිච්ඡේදය තුළ දී අවස්ථා කිපයකදී විදුලි ගාස්තු සංශෝධනය වීම දක්නට ලැබුණි. ඉන් බොහොමයකදී විදුලි මිල ඉහළයාම සිදුවිය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් අවසන් වරට නිකුත් කරන ලද සමාලෝචන වාර්තාව තුළ ද අවධාරණය කරනු ලැබූ කරුණක් වුයේ විදුලි සහ ඉන්ධන ගාස්තු පිරිවැය ආවරණය වන පරිදි සංශෝධන කළ යුතු බවයි.
විශේෂයෙන්ම ඉදිරියට ලැබීමට නියමිත වාරික ලබා ගැනීම සඳහා එවැනි සංසෝධන කිරීම පුර්ව කොන්දේසියක් ලෙස සඳහන් කිරීම මෙහිලා සඳහන් කළ යුතු වේ. මැතිවරණ වේදිකාවල විදුලි ගාස්තු අඩු කිරීම් පිළිබඳව නිරන්තරයෙන් අසන්නට ලැබුණ ද එවැන්නක් පවතින ආර්ථික වටපිටාව තුළ කුමන රජයක් බලයට පත් වුවද සිදුකළ නොහැකි බව අදවන විට සමාජය තේරුම් ගෙන සිටින බවක් ද දක්නට පුළුවන. විදුලි මිල අඩුකළ හැක්කේ අඩු පිරිවැයක් සහතිව විදුලිය නිෂ්පාදනය සහ බෙදාහැරීම මගින් පමණක් වන අතර ඒ සඳහා දිගුකාලීන සැලසුම් මත ක්‍රියාත්මක වෙමින් විශාල වැඩ කොටසක් කළ යුතුව ඇත.
විශේෂයෙන්ම ආර්ථික කටයුතු යථාවත් වීමත් සමග විදුලි ඉල්ලුම ඉහළ ගොස් ඇති අතර අඩු පිරිවැය යටතේ නිපදවිය හැකි විදුලිය ඉතා සීමා සහිත වේ. විදුලි බල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමේ මූලික අරමුණක් වුයේ විදුලි නිෂ්පාදනයට සහ බෙදාහැරීමේ කාර්යක්ෂමතාව ඇති කිරීම සඳහා අවශ්‍යවන ආයෝජන ලබා ගැනීම වූ අතර එම අරමුණ කොතෙක් දුරට සිදුකරනු ලැබූ ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩසටහන මගින් ළඟාකර ගත හැකිද යන්න ඉදිරියේ දී දැකගත හැකිවනු ඇත. ඉදිරි කාලයේදී සැලකිය යුතු ආයෝජන ප්‍රමාණයක් විදුලිබල කේෂ්ත්‍රයට අත්‍යවශ්‍ය වන බව දැනට කර ඇති ඇස්තමේන්තු අනුව පෙනී යයි.
විදුලි ගාස්තු ඉහළයාම සහ උද්ධමනය
විදුලි ගාස්තු මෙන්ම ඉන්ධන මිල ඉහළයාම ද රට තුළ උද්ධමනකාරී තත්වයක් ඇති කිරීම සඳහා සැලකිය යුතු බලපෑමක් එල්ල කළ හැකි සංසිද්ධි දෙකකි. මෑතකාලීනව පළව ඇති දත්ත අනුව මෙරට ගෘහස්ථ විදුලි පාරීභෝගිකයන්ගෙන් ඒකක 180ට වැඩියෙන් මාසිකව භාවිත කරනු ලබන පිරිස ආසන්න වශයෙන් 320,000 ක් පමණ අතර එම ප්‍රමාණය ප්‍රතිශතාත්මකව සියයට 4 ක් පමණ වේ. මෙවර විදුලි ගාස්තු ඉහළයාම සෘජුව බලපානු ලබන පාරිභෝගික කාණ්ඩය වන්නේ මේ පිරිසයි. ඊට අමතරව කාර්මීක, සේවා සහ රාජ්‍ය අංශයේ විදුලි පාරිභෝගික පිරිස සැලකිල්ලට ගත්විට ආසන්න වශයෙන් මුළු විදුලි බල පාරිභෝගිකයන්ගෙන් සියයට 7කට පමණ මෙවර විදුලි ගාස්තු ඉහළයාම බලපානු ඇත. ඉහත සියයට 7 යනු විදුලිය ගාස්තු ඉහළයාම නිසා සෘජුව තම මාසික විදුලි බිල ඉහළයන පිරිස වේ.
මෙවර විදුලි ගාස්තු සංශෝධනයේ දී ඒකක 180ට වඩා අඩුවෙන් භාවිත කරනු ලබන ගෘහස්ථවලට අදාළව මෙන්ම කුඩා පරිමාණ කාර්මීක, සේවා සහ රාජ්‍ය අංශ ආයතන සඳහා විදුලි ගාස්තු වැඩි වීමකින් තොරව ගාස්තු සංශෝධනය සඳහා රජය විසින් රුපියල් බිලියන 15ක මුදලක් මේ වසරේ සැප්තැම්බර් මස දක්වා කාලයට අදාළව වෙන්කර ඇති බවද කියවිණ. එසේ වුවත් ආරම්භයේ දී සඳහන් කළ ආකාරයට වර්තමානය වනවිට සෑම ආර්ථික කටයුත්තක් සඳහාම විදුලිය භාවිත වන බව නොරහසකි. විශේෂයෙන්ම, මධ්‍ය සහ මහාපරිමාණ නිෂ්පාදන ආයතන මෙන්ම අනෙකුත් සේවා සපයනු ලබන බොහොමයක් ආයතනවල නිෂ්පාදන සහ ගබඩා කිරීමේ පිරිවැය විදුලි ගාස්තු ඉහළ දැමීමෙන් ඉහළයනු ඇත. එසේ නිෂ්පාදන සහ ගබඩා කිරීමේ පිරිවැය ඉහළයාම සෘජුවම භාණ්ඩ සහ සේවාවල මිල ගණන් ඉදිරියේ දී ඉහළයාමට බලපානු ලබන බව නිසැකවම කිව හැකිය.
විදුලි ගාස්තු ඉහළනැංවීමේ දී යම් සහනයක් කුඩා පරිමාණ නිෂ්පාදන ආයතනවලට ලබාදී තිබුණ ද එවැන්නක් නොසලකා භාණ්ඩ සහ සේවාවල මිල ගණන් මහාපරිමාණ ආයතනවලට සමගාමීව ඉහළනැංවීමට ඔවුන් ද කටයුතු කිරීමට වඩා වැඩි ඉඩකඩක් පවතී. විශේෂයෙන්ම 2024 වසර තුළ මෙන්ම 2025 වසරේ මුල් කාලපරිච්ඡේදය තුළ දී අත්දකින ලද භාණ්ඩ සහ සේවා මිල ගණන් පහළයාම සඳහා සෘඡුව දායකත්වය සපයනු ලැබුයේ විදුලිය සහ ඉන්ධන මිල ගණන් පහළයාම විය. ඒ අනුව, විදුලි ගාස්තු ඉහළයාම හේතුවෙන් ඉදිරියේදී රටතුළ උද්ධමනකාරී තත්වයක් ඇතිවීම කෙරෙහි වඩා වැඩි ඉඩකඩක් පවතී. උද්ධමනය ඉහළයාම කෙරෙහි විදුලි ගාස්තු ඉහළයාමට අමතරව ඉහළයන ඉන්ධන මිල මෙන්ම ක්‍රමිකව අවප්‍රමාණය වෙමින් යන විනිමය අනුපාතයට ද බලපෑමට වඩා වැඩි ඉඩකඩක් පවතී.
ඒ අනුව, විදුලි ගාස්තු සංශෝධනය හේතුවෙන් ඒකක 180 වඩා අඩුවෙන් භාවිත කරනු ලබන ගෘහස්ථවලට සජුවම තමන් ගෙවනු ලබන විදුලි බිල ඉහළයාමක් සිදු නොවුණ ද අනෙකුත් අංශවලට (විශේෂයෙන්ම නිෂ්පාදන සහ ගබඩා කිරීමේ නිරත) අදාළව සියයට 18 කින් පමණ විදුලි ගාස්තු ඉහළයාම ආර්ථිකයේ සමස්ත භාණ්ඩ සහ සේවාවල මිල ගණන් ඉහළ යනු ඇත. ඒ අනුව, පරිභෝජනය කරනු ලබන ඒකක ප්‍රමාණය කුමක් වුවත් අවසානයේ දී විදුලි ගාස්තු ඉහළයාම හේතු කර ගෙන සෑම දෙනාගේම, විශේෂයෙන්ම පහළ ආදායම් ලබන ජන කොටස්වල, මිල දී ගැනීමේ හැකියාව පහත වැටීමට නියමිතය.
විදුලි ගාස්තු ඉහළයාම සහ ආර්ථික කටයුතු
විදුලි මිල ඉහළයාම ආර්ථික කටයුතු අඩාළවීම කෙරෙහි සෘජුවම බලපානු ඇත. විශේෂයෙන්ම රටතුළ ඇතිවන උද්ධමනකාරී තත්වය හේතුවෙන් මිලදී ගැනීමේ හැකියාව පහත වැටෙන අතර එමෙන්ම නිෂ්පාදන පිරිවැය ඉහළ යනු ඇත. ඒ හේතුවෙන් භාණ්ඩ සහ සේවා සඳහා ඇති ඉල්ලුම පහත වැටීම ආර්ථික කටයුතු අඩාළ කිරීමට හේතුවක් විය හැක. ආර්ථික අර්බුදයෙන් පසුව ක්‍රමිකව බිඳවැටුණු ආර්ථික කටයුතු යථාවත් වීමක් 2024-2025 කාල සීමව තුළ සිදුවන ආකාරය දිස් වූ අතර ඒ නිසාම ආර්ථික වර්ධන වේගය සියයට 5ක පමණ මට්ටක් දක්වා ඉහළනැංවිණ.
එහෙත් මෑත කාලීනව ඉන්ධන සහ විදුලි ගාස්තු ඉහළයාම හේතුවෙන් නිෂ්පාදන පිරිවැය ඉහළයාම සහ භාණ්ඩ සහ සේවා සඳහා පවතින ඉල්ලුම පහත වැටීම යථාවත් වූ ආර්ථික කටයුතු යළි අඩපණවීම සඳහා බලපානු ඇතැයි සිතිය හැකිය. විශේෂයෙන්ම කාර්මික සහ සේවා අංශවලට මෙම තත්වය ඉතා අහිතකර වන අතර කෘෂිකාර්මික කේෂ්ත්‍රය සඳහා ද බලපෑම් එල්ල කළ හැකි වේ. මැදපෙරදිග යුදමය තත්වය හේතුවෙන් මේ වනවිට සංචාරක කර්මාන්තයට බලපෑම් එල්ල වී ඇති අතර අනෙක් අතින් විදේශගත ශ්‍රමිකයන් මෙරටට එවනු ලබන ප්‍රේෂණවල පහත යාමක් ද සිදුවෙමින් පවතී. විදුලි මිල ඉහළයාම අපනයන කෙරෙහිද අහිතකරව බලපෑම් එල්ල කළ හැකිය. මැදපෙරදිග යුද්ධය සමග ප්‍රවාහන සහ රක්ෂණ ගාස්තු ඉහළගිය තත්වයක් යටතේ දේශීයව විදුලි ගාස්තු ඉහළයාම හේතුවෙන් ගෝලීයව දේශීය අපනයනවල තරගකාරීත්වය පහත වැටීමට ඇති ඉඩකඩ වැඩිය. එසේ වුවත් රුපියලට අදාළව ඇති වෙමින් පවතින අවප්‍රමාණය යම්තාක් දුරට අපනයනකරුවන්ට හිතකර පරිසරයක් නිර්මාණය කරනු ඇතැයි සිතිය හැකිය.
විදුලි ගාස්තු ඉහළයාම සහ ආයෝජන පරිසරය
දේශීය විදුලි ගාස්තු සහ ඉන්ධන මිල ඉහළයාම දේශීය මෙන්ම විදේශීය අයෝජන අද්දවා ගැනීම කෙරෙහි ඉතා අහිතකර පරිසරයක් නිර්මාණය කරනු ඇතැයි සිතිය හැකිය. කලාපීය රටවල් සමග සැසදීමේදී ද මෙරට විදුලි මිල සාපේක්ෂව ඉහළ වන අතර ඊට අමතරව බලශක්ති සුරක්ෂිතතාව පිළිබදව ද ගැටලු පවතී. විදේශීය අයෝජකයන් නිරන්තරයෙන්ම විදුලි සහ ඉන්ධන මිල ගණන් පිළිබඳව වඩාත් සංවේදී වන අතර කාර්මික සහ සේවා අංශයේ අයෝජනය කිරීමට අපෙක්ෂා කරනු ලබන ආයෝජකයන් දිගු කාලීනව විදුලි මිල ගණන් දරාගත හැකි මට්ටමේ මෙන්ම අඛණ්ඩ විදුලි සැපයුමක් පවතී ද යන්න පිළිබඳව ද අවධානය යොමු කරනු ලබයි.
දැනට ශ්‍රි ලංකා ආයෝජන මණ්ඩලය මගින් ප්‍රකාශිත දත්තවලට අනුව 2025 වසර තුළ ඇමරිකානු ඩොලර් බිලියනය ඉක්මවූ සෘඡු විදේශ ආයෝජන ප්‍රමාණයක් මෙරටට ලබා ගැනීමට හැකියාව ලැබිණ. මෙම වසර සහ ඉදිරි වර්ෂ සඳහා පෙරට වඩා වැඩි ආයෝජන ප්‍රමාණයක් ලබාගැනීම රජයේ අරමුණ විය. එහෙත් එම ඉලක්ක මෙම වසර තුළ ළඟාකර ගැත හැකිද යන්න වත්මන් තත්වය තුළ එතරම් පැහැදිලි නැත.
සාරාංශය
විදුලි ගාස්තු ඉහළයාම ආකාර කීපයක් ඔස්සේ ජන ජීවිතයට බලපෑම් එල්ල කළ හැකිය. විදුලි පාරිභෝගියන් ඉතා විශාල පිරිසකගේ මාසික විදුලි බිලට වත්මන් මිල සංශෝධනය බලපෑමක් ඇති නොකළද, වක්‍රකාරව ඉතා දැඩි බලපෑමක් එල්ල කරනු ඇතැයි සිතිය හැකිය. උද්ධමනය ඉහළයාම, ආර්ථික කටයුතු බිඳ වැටීම සහ ආයෝජන පරිසරය අහිතකරවීම තුළ පුද්ගලයන්ගේ මිලදී ගැනීමේ හැකියාව පහත වැටීම, රැකී රක්ෂා ඇතිවීම අඩාළ වීම මෙන්ම ඉපැයීම් ද පහත වැටීමට වැඩි ඉඩකඩක් පවතී. දේශීය විදුලි මිල පහත දැමීමට නම් අත්‍යවශ්‍යයෙන්ම විදුලිය නිෂ්පාදනය පහළ පිරිවැය යටතේ සිදුකළ හැකි නව මූලාශ්‍ර වෙත මාරුවීම කළ යුතුය. එමෙන්ම බෙදාහැරීමේ ක්‍රියාවලිය තුළ අපතේයාම් වළක්වා ගත යුතුව ඇත. මේ සඳහා ඉතා විශාල ආයෝජන සිදුවිය යුතුය.
විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමේ එක් අරමුණක් වුයේ ඉදිරි කාලයට අවශ්‍ය වන්නා වූ අයෝජන ලබාගැනීම විය. වත්මන් ප්‍රතිව්‍යුහගතකරණය තුළ ඉහත අපේක්ෂා කොතෙක් දුරට සාර්ථක කරගැනීමට හැකිවේ ද යන්න පැහැදිළි නැත. මැදපෙරදිග කලාපයේ ඇති වී පවතින යුදගැටුම් හේතුවෙන් අපනයන, විදේශ ප්‍රේෂණ, සංචාරක පැමිණීම් මෙන්ම ආනයන වියදම් ඉහළයාම ද සිදු වෙමින් පවතින වටපිටාවක දේශීය විදුලි සහ ඉන්ධන මිල ගණන් ඉහළයාම යහපත් තත්වයක් නොවේ.
පවත්නා තත්වය තුළ ඉතා ඉක්මනින් අවධානය යොමු කළ යුතු කරුණක් වන්නේ විදේශ වෙළෙඳාම මත පදනම්ව වේගවත් ආර්ථික වර්ධනයක් ඇති කිරීම සඳහා කඩිනමින් ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ සිදුවිය යුතු බවයි. නව වෙළෙඳපොළ අවස්ථා ලබාගැනීම සඳහා කඩිනමින් තම ද්වි-පාර්ශවීය සහ කලාපීය වෙළෙඳ ගිවිසුම්වලට ඇතුළත්වීම සඳහා ඉඩප්‍රස්ථා ඇතිකර ගැනීම කෙරෙහි අවධානය යොමුවිය යුතුව පවතී.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd