භානුක අමරසිංහ


 සෙන්ට්‍රල් ඩිපෝසිටරි සිස්ටම්ස් (පෞද්) සමාගමේ ප්‍රධානී 
නදීර අතුකෝරාල

කොළඹ කොටස් හුවමාරුවේ ආයෝජනය සඳහා ආයෝජකයන් විසින් ස්ථාපිත කළ යුතු CDS ගිණුම් සංඛ්‍යාව ලක්ෂ 10 ඉක්මවා ඇතැයි එහි පරිපාලිත සමාගමක් වන සෙන්ට්‍රල් ඩිපෝසිටරි සිස්ටම්ස් (පෞද්) සමාගම (CDS – Central Depository Systems) පවසයි. 

එම සමාගම මගින් මාසිකව නිකුත් කරන වාර්තාවට අනුව, පසුගිය 2025 නොවැම්බර් 25 වැනිදා වන විට මෙම සාර්ථකත්වය අත්පත් කරගැනීමට එම සමාගමට හැකි වීමත් කැපී පෙනෙයි. 

ඒ අනුව වසර අවසන් වනවිට සමස්ත CDS ගිණුම් සංඛ්‍යාව 1,006,499ක් බවට පත්ව තිබේ. ඒ අතරින් දේශීය තනි ආයෝජකයන් සතු ගිණුම් සංඛ්‍යාව 737,735කි. විදේශීය තනි ආයෝජකයන් සතු ගිණුම් සංඛ්‍යාව 5,290 කි. එසේම දේශීය සමාගම් සතු ගිණුම් සංඛ්‍යාව 14,490ක් වන අතර, විදේශීය සමාගම් සතු ගිණුම් සංඛ්‍යාව 6,072 කි. 

මේ අතර 2025 වසර තුළදී පමණක් නව CDS ගිණුම් 57,456ක් ලියාපදිංචි කෙරී ඇති අතර, එය 2024 වසරේ සිදු වුණු ගිණුම් ලියාපදිංචි කිරීම් 19,019 හා සැසඳීමේදී අලුත් ගිණුම් 38,437ක ඉහළ යාමකි.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන සෙන්ට්‍රල් ඩිපෝසිටරි සිස්ටම්ස් (පෞද්) සමාගමේ ප්‍රධානී නදීර අතුකෝරාල මහතා,“කොළඹ කොටස් හුවමාරුව දියත් කළ ඩිජිටල්කරණ වැඩසටහනත් සමගින් ආයෝජකයන් අතර ඇති වූ උනන්දුව පසුගිය වසර තුළදී CDS ගිණුම් සංඛ්‍යාවේ කැපී පෙනෙන ඉහළ යාමට හේතු වුණා.’’ යනුවෙන් පවසා සිටියි. 

ඒ අනුව කොළඹ කොටස් හුවමාරුව සිය 35 වැනි සංවත්සරය සමරන මෙම වසරේදී ලියාපදිංචි CDS ගිණුම් සංඛ්‍යාව ලක්ෂ 10ක් ඉක්මවීමට හැකිවීමත් සුවිශේෂී සන්ධිස්ථානයක් බවත් අතුකෝරාල මහතා වැඩිදුරටත් සඳහන් කළේය. 

මෙම ලියාපදිංචි CDS ගිණුම් සතු කොටස් ප්‍රමාණය බිලියන 200.15ක් වන අතර එහි සමස්ත වටිනාකම රුපියල් ට්‍රිලියන 7.54 කි. එසේම එම ගිණුම් සතු සාංගමික ණය බිලියන 3.61ක් වන අතර එහි සමස්ත වටිනාකම රුපියල් බිලියන 367 කි.