කරන්දෙණිය එම්.සුසිල් ප්‍රියන්ත


මෙරට පත්වී පැමිණි නව තානාපතිවරුන්ට සහ දූත මණ්ඩල ප්‍රධානීන්ට ලාංකීය දෑතින් නිමවෙන තේ නිෂ්පාදන පිළිබඳව දැනුම්වත් කිරීමේ වැඩසටහනක් ශ්‍රී ලංකා තේ මණ්ඩල ශ්‍රවණාගාරයේදී පැවැත්විණ. ශ්‍රී ලාංකීය හස්ත කර්මාන්ත තේ ලෝක වෙළෙඳපොළට හඳුන්වාදීම මෙහි අරමුණ විය. 
ශ්‍රී ලංකා තේ මණ්ඩලය සංවිධානය කරන ලද මෙම වැඩසටහන “2nd Ceylon Artisanal Tea Orientation නමින් නම් කර තිබූ අතර සිය තේ නිෂ්පාදන පිළිබඳව තානාපතිවරුන්ට සහ දූත මණ්ඩල ප්‍රධානීන්ට හඳුන්වාදීමට ශ්‍රී ලංකා තේ වතු හිමියන්ගේ සංගමය (TEOA) අවස්ථාව සලසා දී තිබුණි.එම අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජනය ගැනීමට ශ්‍රී ලංකා තේ වතු හිමියන්ගේ සංගමයේ සාමාජිකයෝ සමත්වූහ. එම අවස්ථාවට අවසර ලත් එම සංගමයේ සාමාජිකයෝ සෑම දෙනාම පාහේ සහභාගිවී සිටියහ.
ශ්‍රී ලාංකේය දෑතින් නිමවෙන  තේ ලොවට හඳුන්වාදීමට ශ්‍රී ලංකා තේ මණ්ඩලය ගෙන තිබූ පියවර ඉතා සුවිශේෂී සහ කාලෝචිත වැඩසටහනක් බව ශ්‍රී ලංකා තේ වතු හිමියන්ගේ සංගමය කියයි. ඒ සම්බන්ධයෙන් සිය සංගමය ශ්‍රී ලංකා තේ මණ්ඩලයට ප්‍රණාමය පුද කරන බවද එම සංගමය කියයි.
පිරිසුදු ප්‍රමිතියක් සහිතව එක් වත්තකින් (Single Estate) ලබාගන්නා උසස්ම ”‍දලු‍ දෙකයි අංකුරයයි”‍ (Two leaves and a bud පමණක් භාවිත කරමින්, දැඩි අධීක්ෂණය යටතේ සිය වතු ඒකක තුළ දෑතින් නිමවෙන  තේ නිෂ්පාදනය කරනු ලබන බවද ශ්‍රී ලංකා තේ වතු හිමියන්ගේ සංගමය කියයි.
ස්වාභාවික අනන්‍යතාවකින් සහ කිසිදු බාහිර මිශ්‍ර කිරීමකින් ( (Blending) තොරව, පිරිසුදු තේ දල්ලේ ගුණය සහ සුවඳ උපරිමයෙන් සුරකින ලද සැබෑ ලාංකීය රසය ලොවට ලබාදීමට සිය සංගමය ඇපකැපවී සිටින බවද එම සංගමය කියයි.
පරිසරය, ඵලදායිතාව සහ සාමූහිකත්වයෙන් නවීකරණය වෙමින් ලෝකය ජය ගැනීම”‍ යන්න සිය සංගමයේ තේමාව බවද තේ වතු හිමියන්ගේ සංගමය කියයි. 2014 වසරේදී ‘‘මධ්‍යයට පරිමාණ වතු හිමිකරු”‍ (Middle-Scale Estate Owner) සංකල්පය හඳුන්වා දෙමින් ආරම්භ කළ අපගේ ගමන, අද වන විට Ceylon Estate Owners (Pvt) Ltd හරහා සමස්ත වතු ප්‍රජාවම බලගන්වන තිරසාර ව්‍යාපාරික ආකෘතියක් බවට පත්ව තිබෙන බවද එම සංගමය කියයි.
මේ සාමූහික වෑයම සහ අපගේ නිෂ්පාදන ජාත්‍යන්තරයට රැගෙන යාමට තේ මණ්ඩලයේදී පැවති වැඩමුළුවට ලැබුණු රාජ්‍ය තාන්ත්‍රික සහයෝගය ඉතා අගය කර සලකන බවත් ඒ සඳහා සහයෝගය සහ අනුබලය දුන් ආයතනවලට සිය කෘතඥතාව පළකරන බවද ශ්‍රී ලංකා තේ වතු හිමියන්ගේ සංගමය කියයි.