

- 2025 විදෙස්ගත වූ ශ්‍රමිකයන් සංඛ්‍යාව 310,951ක්
- විදෙස්ගත වූවන් අතරින් සියයට 76.2ක්ම පුහුණු ශ්‍රමිකයන්
- 2024 ට සාපේක්ෂව 2025 දී ශ්‍රමිකයන් විදෙස් ගතවීමේ මාසික සාමාන්‍ය පහළට
- 2026 ජනවාරියේදී ශ්‍රමිකයන් 25,245ක් විදෙස්ගත වෙලා
- 2026 ජනවාරියේ හිමි වූ විදෙස් මුදල් ප්‍රේෂණ සියයට 31කින් ඉහළට
භානුක අමරසිංහ
පසුගිය 2025 වසරේදී විදේශ රැකියා සඳහා මෙරටින් පිටත්ව ගිය ශ්‍රමිකයන්ගේ සංඛ්‍යාව 310,915ක් ලෙස සටහන්ව තිබේ. මෙය 2024 වසරේදී විදෙස් ගත වූ ශ්‍රමිකයන් සංඛ්‍යාව වන 314,786 හා සැසඳීමේදී ශ්‍රමිකයන් 3,871 ක එනම් සියයට 1.2 ක අඩුවීමකි.
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් 2025 සිව්වැනි කාර්තුව සඳහා නිකුත් කළ විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ සහ ශ්‍රම සංක්‍රමණයෙහි කාර්තුමය විවරණිකාව - 2025 හතරවැනි කාර්තුව තුළ මෙම කරුණු ඇතුළත්ව තිබේ.
මෙම වාර්තාවට අනුව කාර්තුමය වශයෙන් ගත් විට 2025 පළමු කාර්තුවේදී 69,720ක්, දෙවැනි කාර්තුවේදී 76,324ක්, තෙවැනි කාර්තුවේදී 90,252ක් සහ සිව්වැනි කාර්තුවේදී 74,619ක් ලෙස මෙම ශ්‍රමිකයන් විදෙස් ගත වී තිබේ.
ඒ අනුව 2025 වසරේදී විදෙස් රැකියා සඳහා සිදු කළ මාසික විදෙස් ගතවීම්හි සාමාන්‍ය ශ්‍රමිකයන් 25,910 ක් ලෙස සටහන්ව ඇති අතර, එය 2024 වසරේ සාමාන්‍ය වූ 26,232 හා සැසඳීමේදී 322 ක අඩුවීමකි.
මෙලෙස 2025 වසරේදී විදෙස් ගත වූ ශ්‍රමිකයන් අතරින් සියයට 76.2ක්ම පුහුණු ශ්‍රමිකයන් වීමත් විශේෂත්වයකි. ඉතිරි සියයට 23.8 අඩු පුහුණුවක් සහිත ශ්‍රමිකයන්ය.
“විදෙස් රැකියා සඳහා පිටත්ව ගිය පිරිමි සහ ගැහැණු ශ්‍රමිකයන් අතරින් සියලු දෙනාම පාහේ පුහුණු කාණ්ඩය යටතට අයත් වී තිබෙනවා.’’ මහ බැංකුව පවසයි.
මෙලෙස විදෙස්ගත වූ පිරිමි ශ්‍රමිකයන් අතරින් වැඩිම ප්‍රතිශතය වන සියයට 19ක් වයස අවුරුදු 25-29ත් අතර වයසේ පසුවන්නන්ය. එසේම ගැහැනු ශ්‍රමිකයන්ගෙන් වැඩි ප්‍රතිශතය වන සියයට 18 ක් අවුරුදු 30-34 ත් අතර වයසේ පසුවන්නන්ය.
මේ අතර පසුගිය වසරේදී විදෙස් ගත වූ ශ්‍රමිකයන් වැඩි වශයෙන්ම තෝරාගෙන ඇත්තේ මැදපෙරදිග කලාපයයි. එය සමස්තයෙන් සියයට 80.2ක ප්‍රතිශතයක් ගනී. ඊට අමතරව ආසියාව (දකුණු ආසියාව සහ මැදපෙරදිග රටවල් හැර) සියයට 7.4ක්ද, යුරෝපය වෙත සියයට 7.4ක්ද, දකුණු ආසියාව වෙත සියයට 3.8ක්ද, ඔස්ට්‍රේලියාව සහ අනෙකුත් රටවල් වෙත සියයට 0.8ක්ද ලෙස එම ගමනාන්ත සටහන්ව තිබේ.
“ගමනාන්තයක් ලෙස මැදපෙරදිග කලාපයේ රටවල් අතරින් පිරිමි ශ්‍රමිකයන් තුළ වැඩිම කැමැත්ත එක්සත් අරාබි එමීරයට, කටාරයට, ක්වේටයට, සෞදි අරාබියට සහ ඊශ්‍රායලයට හිමිව තිබෙනවා. කාන්තාවන් තුළ වැඩිම කැමැත්ත ක්වේටයට හිමියි. ඒ වගේම එක්සත් අරාබි එමීරය, සෞදි අරාබිය වෙතද කැමැත්ත පවතිනවා.
ඊශ්‍රායලය වෙත කාන්තා ශ්‍රමිකයන් අතර කැමැත්ත අඩුයි. ඕමානය වෙත පිරිමි සහ කාන්තා දෙපාර්ශ්වයේම කැමැත්ත අඩුයි.“ වාර්තාව පෙන්වා දෙයි.
මැදපෙරදිග හැර රුමේනියාව, ජපානය, මාලදිවයින සහ දකුණු කොරියාව සිය ගමනාන්තය ලෙස තෝරා ගන්නා පිරිමි ශ්‍රමිකයන්ගේ සංඛ්‍යාව, කාන්තා ශ්‍රමිකයන්ට වඩා කැපී පෙනෙන ලෙස ඉහළ අගයක් ගන්නා බවත් වාර්තාව පවසයි.
මේ අතර 2024 වසරේදී මෙන්ම 2025 වසරේදීද රැකියා සඳහා ශ්‍රමිකයන් වැඩියෙන්ම විදෙස් ගත වීමේ ඝනත්වයක් පවතින්නේ මඩකළපුව දිස්ත්‍රික්කයෙනි. එය 100,000 ක ජනගහනයෙන් 3,023ක් විදෙස් රැකියා සඳහා පිටත්ව යාමකි. 2024 දී එය 3,121ක් විය.
දෙවැනියට වැඩිම විදෙස් ශ්‍රමිකයන් පිටත්ව යාමේ ඝනත්වය ලක්ෂයකට 2,314ක් වන අම්පාර වෙත හිමිව ඇත. එසේම ත්‍රිකුණාමලය, පුත්තලම සහ මාතලේ යන දිස්ත්‍රික්ක තුළ එය පිළිවෙළින් 2,342ක්, 2,041ක් සහ 1,739ක් ලෙස සටහන්ව තිබේ.
“විදෙස් ශ්‍රමිකයන් පිටත්ව යාමේ ඝනත්වය අනුව 2024 සහ 2025 වසරවලදී අඩුම අගය හිමිව ඇත්තේ කිලිනොච්චිය දිස්ත්‍රික්කයටයි. එය පිළිවෙළින් ලක්ෂයකට 418ක් සහ 408ක් වී තිබේ. එසේම 2025 වසරේදී මුලතිව්, මන්නාරම, යාපනය, මොණරාගල සහ බදුල්ල යන දිස්ත්‍රික්කවලදී එය පිළිවෙළින් ලක්ෂයකට 507ක්, 509ක්, 518ක්, 602ක් සහ 847ක් ලෙස සටහන්ව තිබේ.
මෙලෙස විදෙස්ගතව රැකියාවේ නිරත ශ්‍රමිකයන් හරහා 2025 වසරේදී මෙරටට හිමි වුණු ප්‍රේෂණ ආදායම එක්සත් ජනපද ඩොලර් මිලියන 8,076.2ක් බව මෙම වාර්තාව පෙන්වා දෙයි.
එහිදී එම ආදායම් අතරට දිට්වා සුළි කුණාටුව සඳහා ලැබුණු විදේශ ප්‍රේෂණද ඇතුළත්ව ඇතැයි මහ බැංකුව පවසයි.
මෙහිදී කාර්තුමය වශයෙන් ප්‍රේෂණ හිමිවීම පළමු කාර්තුවේදී ඩොලර් මිලියන 1,814.4ක්, දෙවැනි කාර්තුවේදී ඩො.මි. 1,923.5ක්, තෙවැනි කාර්තුවේදී ඩො.මි. 2,073.8ක් සහ සිව්වැනි කාර්තුවේදී ඩො.මි. 2,264.5ක් ලෙස සටහන්ව තිබේ.
මේ අතරින් 2025 සිව්වැනි කාර්තුව වන විට වැඩිම විදේශ ප්‍රේෂණ මුදලක් හිමි වූ රටවල් ලෙස එක්සත් අරාබි එමීරය, ක්වේටය, එක්සත් රාජධානිය සහ සෞදි අරාබිය සටහන්ව තිබේ.
2025 වසරේ මාසික ප්‍රේෂණ හිමි වීමේ සාමන්‍ය අගය එක්සත් ජනපද ඩොලර් මිලියන 673කි. එය 2024 වසරේ වාර්තා වූ ඩොලර් මිලියන 547.9ක මාසික සාමාන්‍ය අගය හා සැසඳීමේදී සියයට 22.8 ක වර්ධනයකි.
මේ අතර මහ බැංකුව නිකුත් කළ මෙම වාර්තාවට අනුව 2026 ජනවාරි මාසයේදී විදෙස්ගත වූ ශ්‍රමිකයන් සංඛ්‍යාව 25,245ක් වන අතර, විදෙස් ගත ශ්‍රමිකයන් හරහා ජනවාරියේදී හිමි වූ ආදායම ඩොලර් මිලියන 751.1කි. මෙය 2024 වසරේ ජනවාරියේදී හිමි වූ ඩොලර් මිලියන 573 හා සැසඳීමේදී සියයට 31ක වර්ධනයකි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd