ජාතියේ මහා පහන් ටැඹ ලංකා බැංකුව, ගෝලීය බැංකු ක්ෂේත්‍රය තුළ ශ්‍රී ලාංකේය නාමය මනා ලෙස ස්ථාන ගත කරමින්, 2026 වසරට අදාළ කීර්තිමත් Brand Finance ශ්‍රේණිගත කිරීමෙහි ලොව විශිෂ්‍ටතම බැංකු සන්නාම 500 අතරට නම් කෙරුණු අතර, ලංකා බැංකුව එම ශ්‍රේණිගත කිරීම ලැබූ එක ම ශ්‍රී ලාංකේය බැංකුව වීම ද විශේෂත්වයකි.
මෙරට මූල්‍ය ඉතිහාසය තුළ බැංකුවක් මෙම කීර්තිමත් ගෝලීය ශ්‍රේණිගත කිරීමෙහි ස්ථාන ගත කෙරුණු ප්‍රථම අවස්ථාව මෙය වන අතර, මෙම පිළිගැනීම හරහා ලංකා බැංකුවේ ශක්තිය මෙන් ම ශ්‍රී ලංකාවේ මූල්‍ය ආයතන කෙරෙහි දිනෙන් දින වර්ධනය වන ගෝලීය පිළිගැනීම ද පිළිබිඹු වේ.
Brand Finance ආයතනය විසින් වාර්ෂික ව සම්පාදනය කෙරෙන මෙම ශේණිගත කිරීමේ දී සන්නාම වටිනාකම සහ සන්නාම ශක්තිය යන ද්විත්වය ම මැන බැලීම සඳහා ජාත්‍යන්තර ව පිළිගත් ක්‍රමවේද භාවිත කරමින් ලොව පුරා බැංකු සන්නාම ඇගයීමට ලක් කරන අතර, මෙම ශේණිගත කිරීම සඳහා මූල්‍ය වර්ධනය, සන්නාම දැක්ම, ගනුදෙනුකරුවන්ගේ ප්‍රතිචාර හා භාවිතය, පාර්ශ්වකරුවන් තුළ සන්නාමය පිළිබඳ දැක්ම හා සබැඳියාව, කොටස්කරුවන්ගේ විශ්වසනීයත්වය ඇතුළු පුළුල් පරාසයක සාධක සලකා බැලීම සිදු කෙරෙයි. දශක අටකට වැඩි කාලයක් ශ්‍රී ලංකාවේ මූල්‍ය පද්ධතිය ශක්තිමත් කිරීම වෙනුවෙන් ලංකා බැංකුව ලබා දෙන දායකත්වය පිළිබඳ ජාත්‍යන්තර දෘශ්‍යතාව මෙවර මෙම ගෝලීය ශ්‍රේණිගත කිරීමට සඳහා ලංකා බැංකුව ඇතුළත් වීම තුළින් පිළිබිඹු වේ.
වර්තමානය වන විට, 660 කට අධික ශාඛා සහ 2,500 කට අධික ගනුදෙනුකාර සේවා මධ්‍යස්ථාන ජාලයකට හිමිකම් කියන ලංකා බැංකුව, නාගරික, අර්ධ නාගරික සහ ග්‍රාමීය ප්‍රදේශවල මිලියන 16 කට අධික ගිණුම් හිමියන් සඳහා සේවා සලසමින් තනි පුද්ගල, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර, ආයතනික, ආනයන හා අපනයන, ව්‍යවසාය, සංවර්ධනය, කෘෂිකාර්මික ක්ෂේත්‍රය සහ රාජ්‍ය ආයතන ආදී පුළුල් ක්ෂේත්‍ර ආවරණය කරමින් මූල්‍ය සේවා සඳහා ලබා දෙයි. මෙම පුළුල් සේවා පරාසය හරහා ලංකා බැංකුව, රටේ පුළුල් සංවර්ධන ඉලක්කවලට සහාය වෙමින් ශ්‍රී ලාංකික ජනතාවගේ දෛනික ආර්ථික අවශ්‍යතා ඉටු කිරීම වෙනුවෙන් තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරන බව ද සඳහන් කළ යුතු ම කරුණකි. එමෙන් ම ලංකා බැංකුව, ජාත්‍යන්තර වශයෙන් ද සුවිශේෂී ව්‍යාප්තියක් පෙන්නුම් කරමින් එක්සත් රාජධානියේ ලන්ඩන් නුවර සිය අනුබද්ධිත ආයතනයක් පවත්වා ගෙන යන අතර, මාලදිවයිනේ මාලේ හා හුල්හුමාලේ, ඉන්දියාවේ චෙන්නායි සහ සීෂෙල්ස් යනා දී වශයෙන් සිය විදේශීය ශාඛා ජාලය ව්‍යාප්ත කර ඇත. 
මෙම ජයග්‍රහණය ලංකා බැංකුවේ ශක්තිය ඇගයීමක් මෙන් ම සමස්ත ශ්‍රී ලාංකේය ජාතියට ම ආඩම්බර විය හැකි අවස්ථාවක් බව පවසමින් අදහස් දැක්වූ ලංකා බැංකුවේ සභාපති කාවින්ද ද සොයිසා මහතා ප්‍රකාශ කළේ, “ලෝකයේ විශිෂ්ටතම බැංකු සන්නාම 500 අතරට ලංකා බැංකුව නම් කිරීම පිළිබඳ ව අප සිහිපත් කරන්නේ මහත් අභිමානයෙන්. ඉතිහාසයේ ප්‍රථම වරට ශ්‍රී ලාංකේය බැංකුවක් මෙම කීර්තිමත් ගෝලීය ශ්‍රේණිගත කිරීමෙහි ස්ථානයක් ලබා ගත් අවස්ථාව මෙය වන අතර, ලොව ප්‍රමුඛ බැංකු සන්නාම සමඟ තීව්‍ර තරඟයක යෙදීමට අප සතු ශක්තිය, විශ්වසනීයත්වය සහ ස්ථාවරත්වය මෙම ජයග්‍රහණය තුළින් පිළිබිඹු වෙනවා.”‍ යනුවෙනි.
එහි දී වැඩි දුරටත් අදහස් දක්වමින් ද සොයිසා මහතා ප්‍රකාශ කර සිටියේ, “මෙම ජයග්‍රහණය, මිලියන සංඛ්‍යාත ගනුදෙනුකරුවන් අප කෙරෙහි තබා ඇති විශ්වාසයට, අපගේ ශක්තිමත් විනිවිද භාවයෙන් යුත් පාලන ක්‍රමවේදය (Strong Governance Framework) සහ අපගේ කාර්ය මණ්ඩල සාමාජික සාමාජිකාවන්ගේ නො සැලෙන කැපවීමට හොඳ ම උදාහරණයක්. ජාතියේ බැංකුකරු ලෙස, දේශීය වශයෙන් ප්‍රමුඛතම බැංකුව බවට පත් වීමේ අරමුණින් ඔබ්බට යමින්, අපගේ ජාත්‍යන්තර සබඳතා පුළුල් කර ගැනීමට සහ ගෝලීය මූල්‍ය වෙළෙඳපොළ තුළ ශ්‍රී ලංකාවේ පැවැත්ම ශක්තිමත් කිරීම වෙනුවෙන් අපි නිරන්තරයෙන් කැප වෙනවා. ලංකා බැංකුවේ ආයතනික සාර්ථකත්වය ජාතික ප්‍රගතියේ පරිවර්තනීය යුගයක් නිර්මාණය කිරීම වෙනුවෙන් දායක කර ගත යුතු බව අපි තරයේ විශ්වාස කරනවා. මෙම ජයග්‍රහණය රටට අර්ථවත් ලෙස දායක කර ගනිමින්, ශ්‍රී ලාංකේය නාමය ගෝලීය වශයෙන් ශක්තිමත් ලෙස ප්‍රචලිත කිරීම වෙනුවෙන් අපි නිරන්තරයෙන් කැප වෙනවා.”‍ යනුවෙනි.
ලංකා බැංකුව 2025 වසරේ දී රුපියල් බිලියන 57.4 ක සන්නාම වටිනාකමක් සමග Brand Finance Lanka විසින් ශ්‍රී ලංකාවේ වටිනාම සන්නාමය ලෙස පිළිගැනීමට ලක් වූ අතර, ලංකා බැංකුව හිමි කරගෙන තිබූ කීර්තිමත් Superbrand තත්ත්වය මෙම ජයග්‍රහණයත් සමග යළි තහවුරු කිරීමට හැකි වූ බව ද සඳහන් කළ යුතු ම කරුණකි. එම ජයග්‍රහණය සමග රටේ වඩාත් විශ්වසනීය මෙන් ම බලවත් ම සන්නාමවලින් එකක් ලෙස ලංකා බැංකුවේ කීර්තිය තවදුරටත් වර්ධනය වන බව ද සඳහන් කළ යුතු ම ය.
මෙහි දී අදහස් දක්වමින් ලංකා බැංකුවේ මහා කළමනාකරු / ප්‍රධාන විධායක නිලධාරි වයි. ඒ. ජයතිලක මහතා පැවසුවේ, “මෙම ජයග්‍රහණය ලංකා බැංකුවේ ශක්තිය, නවෝත්පාදන සහ ගනුදෙනුකාර කේන්ද්‍රීය පරිවර්තනය සඳහා කැපවීම යන සුවිශේෂිතා පිළිබිඹු වෙනවා. ලෝකයේ විශිෂ්ටතම බැංකු සන්නාම 500 අතරට ශ්‍රේණි ගත කිරීම ලංකා බැංකුවේ ශක්තිය, ස්ථාවරත්වය සහ දිගු කාලීන සේවාවට හොඳ ම සාක්ෂියක්. ගෝලීය බැංකු ක්ෂේත්‍රය පුළුල් ලෙස අඛණ්ඩ ව ව්‍යාප්ත වන වර්තමානයේ, මෙම ජයග්‍රහණය හිමි කර ගැනීම තුළින් ශ්‍රී ලාංකේය ආයතනයක් වන ලංකා බැංකුවට ගෝලීය මූල්‍ය ක්ෂේත්‍රය තුළ පවතින තරගකාරිත්වයට විශ්වාසයෙන් යුතු ව මුහුණ දීමේ හැකියාව පෙන්නුම් කරනවා.”‍ යනුවෙනි. 
”‍දශක අටක් පුරා විහිදුණු අපගේ ශක්තිය පිළිබඳ ව අප සිහිපත් කරන්නේ මහත් අභිමානයෙන්. ඒ වගේ ම අපි අනාගතයේ දීත් ශ්‍රී ලාංකේය ජාතියේ ප්‍රගමනය වෙනුවෙන් කැප වන බව අවධාරණය කිරීමට මෙය අවස්ථාවක් කර ගන්නවා. ලංකා බැංකුව ඩිජිටල් නවෝත්පාදනය, ගනුදෙනුකාර කේන්ද්‍රීය සේවා සහ BOC Flex යෙදුම වැනි නවීන ඩිජිටල් බැංකු සේවා හරහා අඛණ්ඩ ව පරිවර්තනය වෙමින් සිටින බව වගේ ම එමගින් අපගේ ගනුදෙනුකරුවන් වෙත වැඩි පහසුවක් සහ බැංකු සේවා වෙත ප්‍රවේශ වීමේ වැඩි හැකියාවක් ලැබෙන බවත් පැවසිය යුතු ම යි. 2025 වසරේ දී ලංකා බැංකුව රුපියල් බිලියන 120.8 ක බදු පෙර ලාබයක් වාර්තා කිරීමට සමත් වූ අතර, එහි දී බදු වශයෙන් රුපියල් බිලියන 76.7 ක දායකත්වයක් ජාතික ආර්ථිකය වෙත ලබා දීමට අපට හැකි වුණා. එය ජාතික ආර්ථිකයේ වර්ධනයට උර දෙන ප්‍රධාන දායකයකු ලෙස අපගේ කාර්යභාරය නැවතත් තහවුරු කළ අවස්ථාවක් විදියට හැඳින්වීමට පුළුවන්. මූල්‍ය ප්‍රතිඵලවලට අමතර ව ව්‍යාපාර බල ගන්වන, ජනතාව ශක්තිමත් කරන සහ ශ්‍රී ලංකාවේ දිගු කාලීන ආර්ථික වර්ධනයට දායක වන තිරසාර මූල්‍ය හා ප්‍රජා සංවර්ධන වැඩසටහන් හරහා ජාතික 
ප්‍රමුඛතාවලට සහයෝගය ලබා දීමට අපි නිරන්තරයෙන් කැප වී සිටින බවත් අවධාරණය කිරීමට කැමැතියි.”‍ යනුවෙන් වැඩි දුරටත් අදහස් දක්වමින් ඒ මහතා ප්‍රකාශ කළේ ය.
ලංකා බැංකුව ශ්‍රී ලාංකේය ජාතිය ශක්තිමත් කිරීම වෙනුවෙන් ලබා දෙන දායකත්වය මූල්‍ය සහයෝගය ඉක්මවා විහිදෙන අතර, දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් වූවන්ට සහයෝගය ලබා දීම වෙනුවෙන් රජය විසින් ආරම්භ කළ ‘Re Building Sri Lanka’  අරමුදලට රුපියල් මිලියන 500 ක් පරිත්‍යාග කිරීම සහ එම ව්‍යසන අවස්ථාවේ දී සිය කාර්ය මණ්ඩලය සමග එක් ව, රට පුරා පීඩාවට පත් ජනතාවට හදිසි සහන ආධාර වශයෙන් රුපියල් මිලියන 50ක් වටිනා වියළි ආහාර තොග පරිත්‍යාග කිරීම ඒ සඳහා මෑත කාලීන උදාහරණ ලෙස දැක්විය හැකි ය.
 ලංකා බැංකුව, තිරසාර සංවර්ධනය සඳහා සිය කැපවීම තවදුරටත් ශක්තිමත් කරමින්, ශ්‍රී ලංකාවේ විශාලතම තිරසාර බැඳුම්කර නිකුතුව වන රුපියල් බිලියන 20 ක Basel III- compliant Tier II තිරසාර බැඳුම්කරයක් නිකුත් කිරීමට කටයුතු කළ අතර, එමඟින් ලැබෙන ආදායම පුනර්ජනනීය බලශක්තිය, සෞඛ්‍ය සේවා, අධ්‍යාපනය, තරුණ හා කාන්තා සවි බල ගැන්වීමේ වැඩසටහන්, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සහ අත්‍යවශ්‍ය යටිතල පහසුකම් සංවර්ධනය ඇතුළු ජාතික සංවර්ධනය සඳහා වැදගත් අංශ වෙත යොමු කිරීමට කටයුතු කෙරිණි.
Brand Finance ආයතනයට අනුව, 2026 වසරේ දී ගෝලීය බැංකු ක්ෂේත්‍රයේ සමස්ත සන්නාම වටිනාකම ඇමරිකානු ඩොලර් ට්‍රිලියන 1.8 ක් වූ අතර, එය අඛණ්ඩව 5වන වසරත් වර්ධනය සනිටුහන් කර ඇති බව අදාළ තොරතුරු විශ්ලේෂණයේ දී පෙනී යයි. මෙම දැඩි තරඟකාරී ගෝලීය පරිසරය තුළ, ලොව ඉහළ ම බැංකු සන්නාම 500 අතරට ලංකා බැංකු සන්නාමය ඇතුළත් වීම බැංකුවට මෙන් ම රටට ද අත් වූ සුවිශේෂී විජයග්‍රහණයකි.