- මෙය වසරේ රජයේ බදු ආදායමෙන් සියයට 4ක් බව පවසයි
ලංකා දුම්කොළ සමාගම (සිලෝන් ටොබැකෝ කම්පැනි පීඑල්සී) 2025 වසර සඳහා රජය වෙත ගෙවා ඇති සමස්ත බදු ප්‍රමාණයේ වටිනාකම රුපියල් බිලියන 173.4 ක් බව පවසයි. 2025 දෙසැම්බර් 31 වැනිදායින් අවසන් වූ මූල්‍ය වර්ෂය සඳහා එම සමාගම නිකුත් කළ වාර්ෂික වාර්තාවේ මෙම කරුණු සඳහන්ව තිබේ.
ඒ අනුව ශ්‍රී ලංකා රජය වෙත බදු ගෙවන විශාලතම තනි බදු ගෙවන්නකු ලෙස ලංකා දුම්කොළ සමාගම ගෙවා ඇති මෙම බදුවල වටිනාකම පසුගිය වසරේ රජයේ සමස්ත බදු ආදායමෙන් සියයට 4ක් වන බවත් සමාගම පවසයි.
මෙම වාර්ෂික වාර්තාව වෙත අදහස් දක්වන ලංකා දුම්කොළ සමාගමේ සභාපති සුරේෂ් ෂා මහතා, 2025 වසරේ ජනවාරි මාසයේදී සුරා බද්දේ සිදු වූ සියයට 6ක ඉහළ යාමත් සමගින් දුම්වැටියක සිල්ලර මිල ඉහළ ගිය බවත්, ඒ හරහා ඉල්ලුමේ යම් පීඩනයක් ඇති වූ බවත් සඳහන් කරයි. ඒ අතරම නීතිවිරෝධී දුම්වැටි වෙළෙඳපොළෙන් එල්ල වන තර්ජනය එලෙසින්ම පවතින බවත්, නීත්‍යානුකූල දුම්වැටියක මිල සහ නීතිවිරෝධී ව්‍යාජ නිෂ්පාදනවල මිල අතර පවතින පරතරය පසුගිය වසර පුරාම සිය ව්‍යාපාරය වෙත තර්ජනයක් වූ බවත් ඒ මහතා වැඩිදුරටත් සඳහන් කර තිබේ.
මෙම වාර්ෂික වාර්තාවට අනුව 2025 වසරේදී ලංකා දුම්කොළ සමාගමේ ආදායම රුපියල් බිලියන 66.5 ක් දක්වා පෙර වසරට සාපේක්ෂව සියයට 6කින් ඉහළ ගොස් ඇති අතර, බදු පෙර ලාබය රුපියල් බිලියන 53.9ක් ලෙස සියයට 10ක වර්ධනයක් පෙන්නුම් කර ඇත.
කෙසේ වෙතත් බදු පසු ලාබය රුපියල් බිලියන 29.1 ක් දක්වා සියයට 2කින් පහළ බැස තිබේ.
“එහිදී මූලිකවම සාංගමික බදු අනුපාතය සියයට 40ක සිට 45ක් දක්වා ඉහළ දැමීම හේතු වුණා.
ඒ අනුව 2025 වසරේදී රජය වෙත ගෙවූ සාංගමික බදුවල වටිනාකම සියයට 28 කින් ඉහළ ගොස් තිබෙනවා’’ යනුවෙන්ද සභාපතිවරයා මෙහිදී වැඩිදුරටත් පවසා තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd